Monkey Business...
තම සහායකයාත් එක්ක හොඳ වෙළදාමක් හොයාගෙන යන වෙළෙන්දෙක් එක්තරා ගමක් අසලට පැමිණෙනවා... මේ ගම අසළ කැළෑවේ අයාලේ යන වඳුරන් විශාල ප්‍රමාණයක් ජීවත් වෙන බව ඔහු දකිනවා... මේක දැක්කට පස්සේ ඔහු මුළින්ම කරන්නේ ගමට ටිකක් ඈතින් කැළෑව අසළට වෙන්න තිබෙන ඉඩමක් සහිත නිවසක් කුළියට ගන්න එකයි...
ඊට ටික දවසකට පස්සේ අර වෙළෙන්දා සහායකයත් එක්ක ගම පැත්තේ ටිකක් ඇවිදින්න යනවා... වෙළෙන්දා ගමේ තැන් තැන් වලට ඇවිදිමින්, මිනිසුන් හමුවෙමින්, ඔවුන් සමඟ මිත්‍ර වෙමින්, ඔහුට වඳුරන් මිලදී ගැනීමට අවශ්‍ය බව ඔවුන්ට පවසනවා... ඉතා විශාල ප්‍රමාණයක් වඳුරන් තමාට මිළදී ගැනීමට අවශ්‍ය බවත් එක් වඳුරෙක් සඳහා ඩොලර් සියයක් ගෙවීමට තමා සූදානම් බවත් ඔහු ඔවුන්ට පවසනවා... මේක අහපු ගමේ සමහර අය හිතන්නේ මේ මිනිහට පිස්සු කියලයි... මේ හැමතැනම ඉන්න, අයාලේ යන වඳුරන් එච්චර වටිනවද..? එක වඳුරෙකුට ඩොලර් 100 ගානේ ගෙවන්න මේ මිනිහට කොහෙන්ද එච්චර සල්ලි..? ඔවුන් කතාවෙන්න පටන්ගන්නවා...
ටික දවසක් යනකොට ගමේ දුප්පත්ම මිනිසුන් දෙතුන් දෙනෙක් විතර කෑළෑවට ගිහිල්ලා වඳුරන් දෙතුන් දෙනෙක් අල්ලාගෙන මේ වෙළෙන්දාට ගිහින් දෙනවා...වෙළෙන්දා ඒ ගෙනියන හැම වඳුරෙක්ම එක් වඳුරෙකුට ඩොලර් 100 බැගින් ගෙවා මිළදී ගන්නවා...
ඔහොම ටික දවසක් යනකොට මේ වඳුරු බිස්නස් එක ලැව් ගින්නක් වගේ ගමේ පැතිරිලා යනවා... ගමේ මිනිසුන් එකින් එකා කැළෑවට ගිහිල්ලා වඳුරන් අල්ලලා මේ වෙළෙන්දාට විකුණන්නට පටන් ගන්නවා...
ඔහොම ටික කාළයක් ගත වෙනකොට කැළෑවේ වඳුරු ගහනය පොඩ්ඩක් අඩුවෙන්න පටන්ගන්නවා... වෙළෙන්දාට ලැබෙන වඳුරන් ප්‍රමාණයත් එන්න එන්නම අඩුවෙන්න පටන් ගන්නවා... මේ හේතුව නිසා එක වඳුරෙක් වෙනුවෙන් ඩොලර් 200 ක් බැගින් ගෙවා මිලදී ගන්නා බව වෙළෙන්දා ගමේ ප්‍රචාරය කරනවා... ඊට පස්සේ මේක කණ වැටුණු ගමේ හිටපු කම්මැලි ගැමියෝත් කැළෑවට වැදිලා ඉතුරු වඳුරන් ටිකත් අල්ලන්න පටන් ගන්නවා... ගැමියන් කැළේ ඉතිරිව සිටි සීමිත වඳුරන් ප්‍රමාණයත් අල්ලලා අර වෙළෙන්දාට ඩොලර් 200 ගානේ විකුණනවා...
ඔහොම ටික දවසක් යනකොට කැළේ හිටපු වඳුරන් නැත්තටම නැතිවෙලා යනවා...තවත් වඳුරන් අඩුවෙන බව දැනගන්න අර වෙළෙන්දා ගැමියන් දිරිගන්වන්නත් එක්ක, එක් වඳුරෙක් වෙනුවෙන් ඩොලර් 500 ක් ගෙවා වඳුරන් මිළදී ගන්නා බව ගමේ ප්‍රචාරය කරනවා... මේක අහපු ගමන් ගම්මුන්ට නිදිමත නැතිවෙන්න පටන් ගන්නවා... ඔවුන් දිවා රෑ මහන්සි වෙලා තරඟෙට කැළෑව පීරලා අමාරුවෙන් ඉතුරුවෙලා හිටපු අන්තිම වඳුරන් හය හත් දෙනාත් අල්ලාගෙන උන් එකා ඩොලර් 500 ගානේ අර වෙළෙන්දාට ගිහින් විකුණනවා...
දැන් මුළු කැළෑවම පීරලා හෙව්වත් වඳුරෙක් බෙහෙතකටවත් හොයාගන්න බැරිවෙනවා... වඳුරන් ඔක්කොම පළාතෙන්ම වඳවෙලා ගිහින්...
ටික දවසකින් මේ වෙළෙන්දා ආපහු ගමට එනවා... ඇවිල්ලා ගමේ මිනිස්සුන්ට කතා කරනවා... තමා සතියකට නිවාඩුවක් ගත කරන්නට වෙනත් ප්‍රදේශයකට යන බවත්, ඔහු ආපසු පැමිණි විට නැවතත් ඔහුට වඳුරන් අවශ්‍ය බවත්, මෙදා සැරේ එක් වඳුරෙක් වෙනුවෙන් ඩොලර් 1000 ක් බැගින් උනත් ගෙවලා වඳුරන් මිලදී ගන්නා බවත් ඔහු ගම්මුන්ට පවසනවා...
ඒ එක්කම, මෙච්චර කාළයක් තමන් මිළදී ගත් වඳුරන් සියල්ලන්ම කූඩූකර තම සේවකයා භාරයේ ඉතා හොඳින් ඉන්නා බවත්, ඔහු නිවාඩුව ගතකර ආපසු පැමිණෙන තෙක් මිලදී ගත් වඳුරන් තම සේවකයා රැකබලා ගන්නා බවත් වැඩිදුරටත් ඔහු ගම්මුන්ට පවසනවා... එහෙම කියලා වෙළෙන්දා තම නිවාඩුව ගත කරන්න යනවා...
ගම්මුන් පිස්සුවෙන් වගේ කැළෑව පීරලා වඳුරන් හෙව්වත් ඔවුන්ට එකම වඳුරෙක්වත් හොයාගන්න බැරිවෙනවා... වඳුරන් නැති නිසා ගම්මුන් ඉතා කණගාටුවෙන් කාළය ගත කරනවා...
මෙහෙම දවස් දෙකක් විතර පහු උනාට පස්සේ අර වෙළෙන්දාගේ සහායකයා ගම පැත්තේ පොඩි රවුමක් ගහන්න යනවා... ගමේ මිනිස්සු දෙන්නෙක් තුන්දෙනෙක් විතර හමුවෙන මේ සහායකයා තමන්ට මුදල් හදිස්සියක් තියෙන නිසා කූඩූවල ඉන්න වඳුරන් කීපදෙනෙක් අර වෙළෙන්දාට හොරෙන් විකුණන බවත් එක් වඳුරෙක් සඳහා ඩොලර් 700 ක් තමන්ට අවශ්‍ය බවත් පවසනවා...
අර වෙළෙන්දා සතියකින් ආපසු ඇවිත් පොරොන්දු උන විදියට එක් වඳුරෙකු ඩොලර් 1000 බැගින් මිලදී ගන්නා නිසා ඩොලර් 700ක් ගෙවලා සහායකයාගෙන් වඳුරන් අරගෙන ආපහු වෙළෙන්දාටම උන් ඩොලර් 1000 ගානේ විකුණන්න පුළුවන් බවත් ඉන් තමන්ට ඩොලර් 300ක ලාබයක් තියෙන බවත් දැනගන්න අර ගැමියන් කීපදෙනා සහායකයාගේ යෝජනාවට කැමතිවෙලා ඉතාමත් රහසිගතව වඳුරන් කීපදෙනෙක් ඩොලර් 700 ගානේ ඔහුගේ කූඩුවෙන් මිළදී ගන්නවා... රහසින් වැඩේ උනත් ටික වෙලාවකින් මේ ආරංචිය ලැව් ගින්නක් වගේ ගමේ පැතිරෙන්න පටන් ගන්නවා...
ඊට පස්සේ අර සහායකයා හොරෙන් හොරෙන් ඔහුව හොයාගෙන එන හැමෝටම එක් වඳුරෙක් ඩොලර් 700 ගානේ විකුණනවා...
ගමේ ඉන්න ධනවත් ගැමියන් වඳුරන් විශාල වශයෙන් මිලදී ගන්නවා...
සල්ලි නැති දුප්පත් ගැමියන් ගමේ ණය දෙන මුදලාලිලාගෙන් සල්ලි ණයට අරගෙන වඳුරන් මිලදී ගන්නවා...
මෙහෙම යනකොට අර වෙළෙන්දා ගමේ මිනිස්සුන්ගෙන් මිළදී ගත් සියළුම වඳුරන් අර සහායකයා විසින් නැවතත් අර ගැමියන්ට විකුණා අවසන් කරනවා...
ඊට පස්සේ ගමේ හැම ගෙදරකම වගේ කූඩූ හදලා, ඔවුන් සල්ලි වලට ගත්ත වඳුරන් ඒවට දාලා වෙළෙන්දා ආපසු එනතුරු හොඳින් කෑම බීම දීලා උන්ව රැක බලාගනිමින් ඉන්නවා...
ඔන්න දැන් සතියක් පහුවෙලා වෙළෙන්දා ගමට පැමිණෙන දවස උදාවෙනවා... ගම්මුන් වෙළෙන්දා එනතුරු මඟ බලාගෙන ඉන්නවා... එදා වෙළෙන්දා ගමට එන්නේ නැති වෙනවා... ගම්මු තව දවසක් දෙකක් මඟ බලාගෙන ඉන්නවා... ඒත් වෙළෙන්දා ගමට එන පාටක් පේන්න නැති වෙනවා...
මෙහෙම දවස් දෙක තුනක් යනකොට ගම්මු ටික එකතුවෙලා අර වෙළෙන්දාගේ සහායකයා හොයාගෙන යනවා... එහෙම ගියත් ඔවුන්ට, ඔහුවත් හොයාගන්න බැරිවෙනවා... ඒ සහායකයාත් එම ගෙදර අතහැරලා ගිහිල්ලා කියලා මෙයාලට තේරුම් යනවා...
තමන්ටත්, ගමටත් වැඩකට නැතිව කැළෑවේ අයාලේ හිටපු වඳුරන්, ඩොලර් 700 ගානේ මේ කොහේවත් යන එකෙකුගෙන් සල්ලි වලට අරගෙන මුළු ගමේම මිනිස්සු රැවටීලා ඉන්න බවත්, දැන් මේ වඳුරන් කාටවත් විකුණා ගන්නට නොහැකි බවත් මුන් ටික ආපහු කැළෑවට අතහරිනවා හැරෙන්නට වෙන කරන්නට දෙයක් නැති බවත් ගමේ මිනිස්සු තේරුම් ගන්නවා...
ඉතිං මේ වගේ වඳුරු බිස්නස් ඕනෑම රටක ඕනෑම ගමක, දැන් තියෙන තාක්ෂණික දියුණුවත් එක්ක එක එක මූණුවර වලින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්... මේ වඳුරු බිස්නස් වලින් වෙන්නේ දුප්පත් මිනිස්සු අසරණව බංකොලොත් වෙනවාත් එක්කම මේ වගේ කපටියෝ ටික දෙනෙක් විතරක් අසීමිතව ධනවත් වෙන එකයි... ඒ නිසා පරිස්සමෙන්...
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...
😍😍❤️❤️👍👍🤩🤩
ReplyDelete