රිටි පන්න...

මේ ඡායාරූපය මම ගත්තේ 2014 වර්ෂයේ ඒ කාළේ මගේ ළඟ තිබුණ ස්මාර්ට් දුරකථනයකින්. ඒ ඇමෙරිකානු ජනප්‍රිය රූපවාහිණී වැඩසටහන් කිරීමට පෙර එහි ගිය අවස්ථාවකයි. 

මේ ඡායාරූපයේ තිබෙන හබරාදුව, කොග්ගල රිටි වළින් මාළු අල්ලන තැන ඔබ හැමෝම දන්නවා වගේම දැකලත් ඇති. මෙතැන ලංකාවේ වගේම ලෝකයේ හැම රටකම වගේ සංචාරකයින් අතර සෑහෙන ජනප්‍රිය තැනක්. විශේෂයෙන්ම මෙතැනට ඇළුම් කරන මෙතැනම හොයාගෙන එන දේශීය වගේම විදේශීය සංචාරකයන් බොහෝමයක් ඉන්නවා. ඒ වගේම ලංකාවටම ආවේනික වුනු මේ මසුන් අල්ලන ක්‍රමය, මිනිසුන් සහ මෙම ස්ථානයට අදාලව විවිධ ජාතියේ කළාත්මක ඡායාරූප ලෝකය පුරාම ඉමහත් ජනප්‍රියත්වයක් ලබාගෙන තිබෙනවා. ලංකාවේ සංචාරක කර්මාන්තය වගේම ලංකාව ගැන හඳුන්වන ඕනෑම ලිපියක හෝ ඡායාරූප එකතුවක මෙතැන සහ මේ මිනිසුන්ගේ ඡායාරූපයක් වරදින්නේ නම් නෑ... ඒ තරමටම මෙතැන ලෝකය පුරාම ජනප්‍රිය තැනක්.

ඇමරිකාවේ තවමත් ජනප්‍රිය 'රියැලිටි ට්‍රැවල් ප්‍රෝගෑම්' එකක් වන Amazing Race වැඩසටහන කාළයක් යනකොට ලෝකයේ වෙනත් රටවලත් ජනප්‍රිය වීමට පටන් ගන්නවා. ඉන්පසු ඔවුන් මෙම වැඩසටහන රූපගතකිරීම් ලෝකයේ අනෙක් රටවලටත් ව්‍යාප්ත කරනවා. එහි ප්‍රතිඵලයක් විදියට Amazing Race in Asia වැඩසටහන් මාලාව නිෂ්පාදනය කිරීමේදී එහි සියළුම නිෂ්පාදන කටයුතු පැවරෙන්නේ අපිට. ඉතිං මේ වැඩසටහන් මාලාවේ එන විවිධ තරඟ අතරින් එක් තරඟයක් පවත්වන ස්ථානයක් විදියට අපි මේ තැන තෝරාගන්නවා.

අතීතයේදී මේ තැන, මේ අවට වෙසෙන ධීවරයන් විසින් ඔවුන්ගේ ජීවනෝපාය වෙනුවෙන් මේ ක්‍රමයට මෙතැනින් අල්ලාගන්නා කුඩා මසුන් විකිණීම කරගෙන හිටියත් ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු වීමත් එක්කම කාළයක සිට මොවුන් මෙතැන සංචාරකයින් සඳහා පමණක් සහ ඡායාරූප ගන්නන් සඳහා පමණක් මසුන් ඇල්ලීම කරගෙන යනු ලබනවා. දහවල් කාළයට මාරුවෙන් මාරුවට වෙරළේ තිබෙන කුඩා පැල්පත්වල විවේකිව සිටින මොවුන් සංචාරකයින් රැගෙන එන කිසියම් සංචාරක රථයක් පැමිණි විගස මෙතැනට පැමිණෙනවා. ඉන් පසු ඔවුන් සමඟ ගණුදෙනු සාකච්ඡා කර සංචාරකයින්ට අවශ්‍ය පරිදි, ඔවුන්ගේ ඡායාරූප වලට අවශ්‍ය පරිදි රඟපෑම ඉටුකරදී මුදල් ලබාගන්නවා. ඉතිං සංචාරක කර්මාන්තයත් දියුණුවත් එක්කම දැන් කාලයේ මෙම ප්‍රදේශයේ ධීවරයන්ගේ දින චර්‍යාව ගෙවෙන්නේ මෙන්න මේ විදියටයි.

ඔන්න ඉතිං නියම කරගත්ත විදියට අපිත් රාජ්‍ය ආයතනය වල අණුමැතිය ඇතිව මෙතැනට ගොස් මේ ධීවරයන් හා සාකච්ඡා කර මෙතැන අපේ වැඩසටහන කිරීමට දින වකවානු යොදාගන්නවා. නමුත් මේ ඡායාරූපයට අනුව ඔවුන් නැග සිටින, මේ සිටුවා තිබෙන සියළුම රිටි පරණ කැඩී බිදී ගිය ඒවා නිසා වැඩසටහන් අධ්‍යක්ෂවරයාට අවශ්‍ය වෙනවා මෙම සියළුම පැරණි රිටි ගලවා දමා අලුතෙන්ම රිටි මෙතැන සිටුවන්න. ඒ සඳහා යන සියළුම වියදම් වැඩසටහන කරන නිෂ්පාදකවරුන් වන අප විසින් දැරීමට එකඟවෙනවා. ඒ එකඟවූ ආකාරයටම මේ රිටි සඳහාම ගනු ලබන ගස් විශේෂය කැපීම සඳහා යන වියදම, ඒවා මෙතැනට ප්‍රවාහනය කිරීමට යන වියදම, සිටුවීමට යන මිනිස් ශ්‍රමිකයන් හට දෛනික වැටුප් ඇතුළු මේ තැන මේ විදියටම ප්‍රතිනිර්මාණය කිරීමට යන සියළුම වියදම් වැඩසටහනේ නිෂ්පාදකයින් වන අපි විසින් දරනු ලැබුවා. කෙසේ හෝ වැඩසටහන පටිගත කරන දවසට පෙර මේ ආකාරයේ අළුතින්ම සකසන ලද රිටි 100කට අධික ප්‍රමාණයක් මුහුදේ සිටුවා වැඩේ ඉතා හොඳින් නිම කිරීමට අපිට මාසයකට අධික කාළයක් ගතවුනා. 

ඒ වගේම ඉන්පසු නියමිත දිනයේ පැය දෙක තුනක වගේ මෙතැන කෙරුණු රූපගත කිරීමත් ඉතාමත් සාර්ථකව නිමකිරීමට අපට හැකිවුනා. ඉතිං දැන් ඔබ මෙතැනින් යනවිට ඔබ දකින්නේ අපි විසින් එම ධීවරයන්හට අපගේ වැඩසටහනේ අවශ්‍යතාවය වෙනුවෙන් එම ස්ථානයේම ප්‍රතිනිර්මාණය කර දුන් රිටි සහිත ප්‍රදේශයයි... 

ඒ වගේම මෙතැන තිබෙන විශේෂත්වය ගැනත් යමක් සඳහන් කළ යුතුයි. විශාල මුහුදෙන් වෙරළ පැත්තට වෙන්න ගල් පර්වතයකින් ආවරණය වී ස්වාභාවිකව නිර්මාණයවී තිබෙන මෙම කුඩා මුහුදු තීරයේ බහුලව ජීවත්වෙන්නේ කුඩා මසුන් පමණයි. කිසිම වර්ගයක විශාල ප්‍රමාණයේ මසුන් මෙම කුඩා කළාපයේ ජීවත් වෙන්නේ නෑ. එයට හේතුව කළින් සඳහන් කළ ආකාරයට මෙම ස්ථානයේ මුහුද විශාල ගල් වැටියකින් ආවරණය වෙලා තිබීමයි. එම ගල් වැටිය අතරින් මෙම කළාපයේ කුඩා තීරුවට මෙම කුඩා මසුන්ට විතරක් පැමිණිය හැකි ලෙස කුඩා ඉඩක් තිබෙනවා. මේ ඉඩ අතරින් ලොකු මාළුන්ට මෙම තීරුවට පැමිණීමට නොහැකියි. ඒ නිසා දහවල් කාළයට විශාල මත්සයින්ට ගොදුරුවීමෙන් වැලකීමට සියළුම කුඩා මසුන් අර කුඩා ඉඩෙන් මේ පැත්තට පැමිණ සිටිනවා. රාත්‍රිය එළැබෙන විට මෙම කුඩා මත්සයින් ආපහු අර කුඩා ඉඩෙන් රිංගා ගැබුරු මුහුදට යනවා. අනික් පහුවෙනිදා එළිය වැටීගෙන එනවිට ඔවුන් ආපසු මේ පැත්තට රිංගා ගන්නවා. සෑම දිනකම මේ දෙය මේ විදියට සිද්ධ වෙනවා.

ඉතිං ඔබ දහවල් කාලයට මේ ස්ථානයට ගිහිල්ලා බැලුවොත් ඔබට මෙම ස්ථානයේ කුඩා මසුන් විශාල ප්‍රමාණයක් ඉන්නවා දැක ගන්න පුළුවන්. නමුත් ඔබට එම මසුන් නැරඹීමට පමණක් අවස්ථාව ධීවරයින් විසින් උදාකර දුන්නත් කවදාවත් උන් බිළිබා ගැනීමට හෝ වෙන ක්‍රමයකින් උන් ඇල්ලීමට ඔබට එතැනින් අවසර ලැබෙන්නේ නෑ. මොකද එතැන සිටින ධිවරයින් විසින් ඔවුන්ගේ මෙම කුඩා මත්ස්‍ය සම්පත දිනපතාම නිරන්තරයෙන්ම ආරක්ෂා කරනවා. ඔබේ ආසාවට උන්ව බිළිබාන්න ඔබට ආසාවක් තියෙනවා නම් ඒ සඳහා ඔබට ඔවුන්ට යම් මුදලක් ගෙවිය යුතු වෙනවා. 

ඒ වගේම ඔවුන් මෙම කුඩා මසුන් අල්ලන බිලී පිත්තත් ටිකක් අමුතුම ජාතියේ එකක්. එහි නූල අග තිබෙන්නේ සාමාන්‍යයෙන් මසුන් අල්ලන පිත්තක රඳවන බිළි කොක්කක් නම් නොවේ. එහි අග තිබෙන්නේ තරමක කුඩා ඊයම් කැබැල්ලක්. මෙය වතුරට දැමූ පසු ඉර එළියට මෙම ඊයම් කැබැල්ල දිළිසීමට ලක්වෙන නිසා කුඩා මසුන් පැමිණ මෙය ගිළිනවා. ඉන් පසු එය ගිලූ මත්ස්‍යාට එය ආපසු වමෑරිය නොහැකි ලෙස උගුරේ හිරවෙනවා.

හබරාදුව, කොග්ගල, රිටිපන්න කියන මෙම ප්‍රදේශයේ සිටින දුප්පත් ධීවරයන්ගේ එකම ආදායම් මාර්ගය තිබෙන්නේ මෙතැනයි. ඒ නිසා ඔවුන් මෙම මසුන්ව සහ මෙම ස්ථානය නිරන්තරයෙන්ම ආරක්ෂා කරනවා. සමහර අවස්ථාවලදී ඔවුන් මෙහි සිටින මසුන් ආහාරය ගැනීම කරන්නෙත් නෑ. ඔවුන්ට එසේ කිරීමට අවශ්‍ය වුවොත් ඔවුන් අල්ලන්නේ ඔවුන්ගේ එදා වේලකට සරිළන මසුන් ප්‍රමාණයක් පමණයි. ඒ තරමට ඔවුන්, ඔවුන්ගේ මෑතකාලීන ජීවිකාව වෙනුවෙන් මෙතැන සහ මේ සතුන්ව ආරක්ෂා කරනවා.


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...