BMW රථයක අවසන් ගමන් යාම...
සාමාන්‍යයෙන් මනුස්සයෙක් මැරුණම අපි ඒ ගෙදර දකින්නේ සාම්ප්‍රදායික මළ ගෙයක්නේ. භූමදානය දවසේ දකින්නේ මියගිය තැනත්තාගේ පෙට්ටිය සමඟ පිටුපසින් ගමන් කරන ශෝකයෙන් පෙළෙන්නන්, නෑදෑයින් සහ හිතවතුන් සහිත සාම්ප්‍රදායික අවමඟුල් පෙරහැරක්නේ. ඉන් පස්සේ සාම්ප්‍රදායික අදාහණයක් හෝ භූමදාණයක්නේ.
ඒත් දැන් කාලේ යහමින් මුදල් ඇති සහ ගෙදර දොරේ ඉඩකඩ මදි උදවිය මේ සඳහා අවමංගල්‍යයාගාරයේම සකස් කර ඇති කුඩා ශාලාවක් වැනි තැනක් මේ සඳහා යොදා ගෙන වැඩ කටයුතු නිමා කර ගන්නවා.
මේ දෙකටත් අමතරව ඊටත් එහා ගිය දෙයක් අගනුවර කේන්ද්‍රස්ථානය කරගෙන VIP ලේබලය යටතේ කෙරෙනවා. එහිදී කෙරෙන්නේ මේ අවමංගල්‍යය වැඩකටයුතු සඳහා තමන්ටම කියා නිවසක් මේ දවස් දෙක හෝ තුන සඳහා කුලියට ගැනීමට පුළුවන් වීමයි. එහි පහසුකම් අතර සනීපාරක්ෂක පහසුකම් සහිත කාමර වලින් සමන්විත ගෙයකට සමාන ඉඩ පහසුකම් හා සියළුම අවශ්‍ය කරන බඩු බාහිරාදිය සහිත ශාලාවක් ලැබෙනවා. ඊට අමතරව වාහන නැවතීමේ පහසුකම් සහිත විශාල මිදුලක්ද මේ නිවසේ තිබෙනවා. නමුත් අදාහණය හෝ භූමදාණය සිදුවන්නේ එකම සාමාන්‍ය විදියටමයි. සමහරවිට මුදල් තිබෙන ආකාරයට සහ මැරුණු පුද්ගලයාගේ වටිනාකම අනුව ඔහු බහාලන පෙට්ටියේ වටිනාකම වෙනස් වෙනවා. ඒ වගේම ඒ වටිනාකම වගේම තිබුණු ආදරය සිහිවීමට පසුව වැළලූ තැන මතක ස්මාරකයක් පවා ඉදිවෙනවා. ඉතිං මේක තමයි ලංකාවට ආවේනික සහ දැනට පවතින සාමාන්‍ය අවමංගල්‍යය ක්‍රමවේදයන්.
මීට හාත්පසින්ම වෙනස් අවමංගල්‍යය උත්සව කීපයක් අපට මීට වසර කීපයකට ප්‍රථම දැනගන්නට ලැබුණා. ඉන් එකක් අපිට ආරංචි වෙන්නේ නයිජීරියාවෙන්. එම අවමංගල්‍යය උත්සවය එවකට බොහෝ රටවල සමාජ මාධ්‍ය කැළඹූ ප්‍රවෘත්තියක් මෙන්ම බටහිර අප්‍රිකානු රටවල අන්තර්ජාලය තුළ බෙහෙවින් කතාබහ වුනු සිද්ධියක් බවටද පත්වුනා.
මුදල් වලින් අගහිග නොවුනු නයිජීරියානු ජාතික පුතෙක් වන අසුබුයික් විසින් තම පියාගේ අවසන් කටයුතු වෙනුවෙන් ඔහුට කෙසේ වෙතත් ලෝකයාට පෙනෙන අපූරු අවසන් ගෞරවයක් කළා. ඔහු ඩොලර් මිලියන නවයක් වටිනා ( නයිජිරියානු නයිරා මිලියන 32) වටිනා අලුත්ම අලුත් BMW රථයක තම පියාගේ දේහය තැන්පත්කර මෙසේ භූමදාණය කළා. තම පියාට බෙහෙවින් ආදරය කල අසුබුයික් තම පියාගේ තත්වයට ගැලපෙන සමුදීමක් ඔහුට ලබාදීමට අවශ්‍ය නිසා මෙසේ කළ බව පුවත්පත් වලට පවසා තිබුණා. මේ වෙනුවෙන්ම මෙම අලුත්ම BMW රථය මිළදී ගත් බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.
මෙවැනිම තවත් සිදුවීමක් 2015 වසරේදී එරටින්ම වාර්ථා උනා. එරට සිටි තවත් කෝටිපතියෙක් මියගිය තම මවට ඇති ආදරය ලොවට පෙන්වීමට ඩොලර් මිලියනයක් (ඩොලර් 10,000) ගෙවා මිළදීගත් අලුත්ම හම්මර් (Hummer) රථයක තම මවවගේ දේහය තැන්පත්කර භූමදාණය කරණු ලැබුවා.
එම වසරෙම මෙවැනිම සිද්ධියක් චීනයෙන්ද වාර්ථා උනා. එහිදී මියගිය එම පුද්ගලයාගේ ප්‍රියතම මෝටර් රථයේ ඔහුව තැන්පත්කර භූමදාණය කරණු ලැබු බව පැවසෙනවා. චීනයේ ෂැන්සි පළාතේ සිදු වූ මෙම ‘විකාර’ සහගත අවමංගල්‍යයේදී එම මිනිසාගේ දේහය තැන්පත් කළ ස්ටේෂන් වැගන් මෝටර් රථය දොඹකරයකින් ඉතාමත් පරිස්සමෙන් ආරක්ෂාකාරි ලෙස සොහොනට බැස්සවූ බව Mirror.co.uk වැඩිදුරටත් වාර්තා කර තිබුණා...
එමෙන්ම 1988දී අමෙරිකාවේ විසූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ ‘මැසරටි රික්’ කාටර් තම නිවසේ නිදා සිටියදී පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කරනවා. ඉන්පසු ඔහුගේ අවමංගල්‍යයත් අමුතුම ආකාරයේ උමතු එකක් වෙනවා. මිලියන 1.6ක( ඩොලර් 16000) කට වඩා වැඩි මුදලක් වියදම් කර රන් ආලේප කරණ ලද මර්සිඩීස් බෙන්ස් රථයක් තුළ ආකෘතියක් මේ සඳහාම නිර්මාණය වෙනවා. මෙම ආකෘතියට යොදාගත් බෙන්ස් රථයත් මියගිය ඔහුගේ ප්‍රියතම රථය වනවා.
ඒ වගේම ඔහු මිය යන විට ඔහුගේ වටිනාකම ඩොලර් බිලියන දෙකක් ( ඩොලර් මිලියන 20)ක් වන අතර මෙම නිර්මාණය ඔහුගේ ජීවිතයේ දිදුලන ජීවන රටාව සහ ජීවිතයේ සියුම් දේවල් සඳහා ඔහු දැක්වු කැමැත්ත පැහැදිලිව පෙන්වීමක් කරනවා යැයි ඔහුගේ පවුලේ උදවිය ප්‍රකාශ කර තිබෙනවා.
ඉතිං අපිත් අනාගතය දෙස බලාගෙන ඉමු... මොනවා නැතත් අපේ රටේත් මෙවැනි කෝටිපතියන්ගෙන් නම් අඩුවක් නැති නිසා කොයි වෙලාවේ, කොයි මොහොතේ හෝ මෙවැනි ප්‍රවෘත්තියක් අපිටත් අසන්නට දකින්නට ලැබුණොත් අපිත් මොනතරම් වාසනාවන්ත වේවිද..?
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...



Comments
Post a Comment