උඩු ගුවනේ ඔට්ටුව...
මගේ අතිජාත මිත්‍රයෙක් වෙන බිනර මහත්තයා තම වෘත්තීය නීතිඥ ජීවිතයේ 27 වන ජයග්‍රාහී වසර පසුගිය දවසක උත්සවශ්‍රීයෙන් සමරණු ලැබුවා. ඔහු මේ රටේ ඉන්න දක්ෂ නීතීඥයෙක් වගේම, වයසට ගියත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස ක්ෂේත්‍රයේ තවමත් නමක් දිනාගෙන ඉන්නවා. නීතීඥ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කාළයක් කටයුතු කරපු ඔහු නවසීලන්තයේ පැවති නීතීඥවරුන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගි වීම පිණිස නවසීලන්තය බලා පියාසර කරන අතරතුර ඔහුට මුහුණ දීමට සිදුවු ඇබැද්දියක් පිළිබඳව කතාවක් ඔහුට කරන උපහාරයක් විදියට මෙන්න මෙහෙම ලියන්න ඕන කියලා හිතුවා.
කොහොමින් කොහොම හරි පිටත්වීමට නියමිතව තිබූ දවසේ තම කණ්ඩායමත් එක්ක නවසීලන්තය බලා පිටත්වීමට මෙයාට නොහැකිවෙලා, කොහොමහරි දවසකුත් පරක්කුත්වෙලා, තනිවම තමන්ගේ ගුවන් ගමන යාමට මෙයාට සිදුවෙනවා. කොයි පැත්තෙන් ගියත් නවසීලන්තයට යන්න පැය 10ක් 12ක් පමණ දීර්ඝ පියාසර කාලයක් ගතවෙන නිසා අපේ නීතීඥ මහත්තයා මේ ගමන අතරතුර මුලින්ම දීලා තියෙන සඟරා සියල්ලම පෙරළ පෙරලා බැලුවා... ඊට පස්සේ අකමැත්තෙන් උනත් චිත්‍රපටි කීපයකුත් බලන්න සිද්ධවුනා... ෆෝන් එකේ ටික වෙලාවක් උඩට පහළට ගියා... මේ හැම දෙයක්ම කළත් ටික වෙලාවක් යනකොට ඔහුට මේ සේරම දේවල් එපා වෙන්න පටන් ගත්තා.
ඈණුමක් එහෙම ඇරලා වටපිට ටිකක් බලනකොට මෙයාට එහා පැත්තෙන් හිටපු මැදිවියේ ලස්සන නවසීලන්ත නෝනා කට කපලා නිදාගෙන ඉන්නවා මෙයාට දැකගන්න ලැබෙනවා. ටික වෙලාවක් මෙහෙම යනකොට ඔන්න ඒ නෝනා හදිසියේම නින්දෙන් අවදිවෙලා මෙයාට පොඩි හිනාවකුත් දාපු නිසා කම්මැලිකම යන්නත් එක්ක මේ මැදි වියේ නෝනාත් එක්ක පොඩි කථාවක් දාගෙන යන්න අපේ නීතීඥ මහත්තයට පොඩි ආසාවක් ඇතිවෙනවා...
කොහොමින් කොහොම හරි දන්න ශිල්ප, වැඩ කෑලි ඔක්කොම දාලා අපේ නීතඥ මහත්මයා මේ නෝනව කතාවට අල්ලගන්නවා..
"ආයුබෝවන් නෝනා... හරිම දීර්ඝ ගුවන් ගමනක් නේද..? ඔබට ගොඩාක් මහන්සියි වගේ... ඔබට කම්මැලි නැද්ද..?
"ඔව් මහත්මයා මහන්සියයි, කම්මැලිකමයි දෙකම තියෙනවා... ඒක තමයි මම ටිකක් නිදාගන්න කියලා බැලුවේ..."
"ටිකක්... හොඳ ටික... මම දැක්කා ඔබ පැය ගානක් එක දිගට නිදාගෙන ඉන්නවා... ඔබ කැමති නැද්ද මේ කම්මැලි කම යන්නත් වගේම පොඩි දැණුමකුත් ඔළුවට දාගන්නත් එක්ක මගෙත් එක්ක පොඩි විනෝද ක්‍රීඩාවක් කරන්න..? "
"අනේ මට සමාවෙන්න මහත්මයා... මම කැමතියි තව ටිකක් වෙලා නිදා ගන්න..."
"අනේ ප්ලීස් එහෙම කරන්න එපා නෝනා... මටත් හරිම කම්මැලියි... නින්ද යන්නෙත් නෑ... හරිම බෝරිං... අපි මෙහෙම වැඩක් කරමු... මම ඔබෙන් ප්‍රශ්ණයක් අහන්නම්... ඔබට ඒකට උත්තරයක් දෙන්න බැරි උනොත් ඔබ ඒ වෙනුවෙන් මට ඩොලර් 5ක් ගෙවිය යුතුයි...
ඊට පස්සෙ ඔබේ වාරේ... ඔබට මගෙන් ප්‍රශ්ණයක් අහන්න පුළුවන්... ඔබ මගෙන් අහන ප්‍රශ්ණයට මට උත්තරයක් දෙන්න බැරි උනොත් මම ඔබට ඩොලර් 100ක් දෙනවා...
"මොකක්ද හිතන්නේ නෝනා... ඔබතුමිය වැඩේට කැමතිද..?"
"හොදයි ඔබතුමාගේ කැමැත්තනේ... නිදිමත යන්නත් එක්කලා අහන්නකො බලන්න ඔයාගේ ප්‍රශ්ණය..."
"හරි මෙන්න එහෙනම් මම ඔබෙන් අහන පළමු ප්‍රශ්ණය...
එහෙනම් කියන්නකො බලන්න... පෘතුවියේ ඉඳලා හඳට ඇති දුර ප්‍රමාණය කොපමණද..?"
ටිකක් වෙලා කල්පනා කරපු ඒ කාන්තාව වචනයක් වත් කථා නොකරම තම බෑගයෙන් ඩොලර් 5ක් අරගෙන අපේ නීතීඥ මහත්තයාට දුන්නා.
ඒක සතුටින් අරගෙන... "පෘතුවියේ ඉඳලා හඳට කිලෝ මීටර 384,400 ක් තියෙනවා..."
කියා උත්තර දුන් අපේ නීතීඥ මහත්තයා ජයග්‍රාගි හිනාවක් මුහුණට ගනිමින් කාන්තාව තමන්ගෙන් ඇසීමට නියමිත ප්‍රශ්නයට සුදානම් උනා..
"හරි දැන් මගේ වාරේ මහත්මයා... මම මෙහෙම ප්‍රශ්ණයක් ඔබතුමාගෙන් අහන්නම්... කියන්න බලන්න කකුල් තුනෙන් කන්දක් නැඟලා කකුල් හතරෙන් බහින සතා මොකාද කියලා..??
අපේ නීතීඥ මහත්මයා පොඩ්ඩක් කල්පනා කලා... ගුවන් යානයේ ඇති වයිෆයි වලින් ගූගල් සර්ච් කලා... ඒත් ඔහුට පිලිතුරක් හොයා ගන්න බැරි උනා...
අන්‍තිමේදී උත්තරයක් දීගන්න බැරි තැන තමුන්ගේ පසුම්බිය එලියට අරන් ඩොලර් 100 ක නෝට්ටුවක් කාන්තාවට දුන්නා...
"හොදයි මහත්මිය ඔබ දැන් මට කියන්න බලන්න එහෙනම් කකුල් තුනෙන් කන්දක් නැගලා කකුල් 4න් බහින සතා මොකාද කියලා... "
ආයෙත් සැරයක් තමන්ගේ හෑන්ඩ් බෑගයට අත දැමූ කාන්තාව ඩොලර් 5ක් අරගෙන අපේ නීතීඥ මහත්තයට දුන්නා...
අපේ නීතීඥ මහත්තයට හීන් දාඩිය දැම්මා... තරඟය එතනින්ම ඉවර උනා....
ඩොලර් 90 වක ලාභයක් ලැබූ ඒ මැදිවියේ කාන්තාව අනිත් පැත්තට හැරිලා ආයෙමත් නින්දට වැටුණා... අපේ නීතීඥ මහත්තයා නවසීලන්තයට යනකංම උනේ මොකද්ද කියලා හිතාගන්න බැරුව කල්පනා කර කර විස්කි වීදුරු කීපයක් ම හිස්කලා...
බිනරගේ 27 වන සංවත්සරය වෙනුවෙන් ගැසූ මඩ කතාවක් මිස... මෙහි එන සිදුවීම මනංකල්පිතයක් බව කරුණාවෙන් සළකන්න...
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...
Comments
Post a Comment