පෑඩ්ස්...
මම නං කියන්නේ ඔය පෑඩ්ස් වලට බදු පනවන උදවියට පෑඩ්ස් ගැනවත් ඒවායෙන් තරුණ කාන්තාවන්ට තියෙන අවශ්‍යතාවය ගැනවත් කිසිම දැණුමක් අවබෝධයක් නෑ... එක්කෝ ඒ අයට ගැහැණු දරුවෝ නෑ... එහෙමත් නැත්නම් මේ අය ගැහැණු දරුවෝ ඉන්න සහ මේ වගේ බදු පිට බදු ගැහුවත් එයාලගේ දරුවන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් පෑඩ්ස් කොම්පැණියම උනත් අරගෙන දෙන්න තරම් වත්කමක් තියෙන උදවියයි...
ඒ වගේම මේ බදු පනවන උදවියගේ එයාලා ඉන්න වයස දිහා බැලුවම, එයාලගේ කසාද බැදපු නෝනාවරුන්ටත් දැන් පෑඩ්ස්වල තියෙන අවශ්‍යතා කාලේ ඉවරවෙලා... ඒ නිසා දැන් ඒවා සහ ඒ ප්‍රශ්ණ එයාලට අදාලම නෑ...
එහෙම උනත් මේ තීන්දු තීරණ ගන්න සමහර අය තරුණ කාන්තාවන් අනන්තවත් අනියමින් ඇසුරු කරනවනේ... එතකොටවත් මේ අය මේ ගැන දැණුවත් වෙන්නේ නැද්ද..? නෑ... එහෙම ආශ්‍රය කලත් ඒ අය පෑඩ්ස් ගැන වැඩිය දන්නේ නෑ... මොකද ඒ වගේ තරුණ කාන්තාවන් පෑඩ්ස් පාවිච්චි කරන කාලෙට මෙයාලා ඒ පැත්ත පළාතෙවත් යන්නෙත් නෑ... ඒ නිසා ඒ ගැන දැණුමක් කොහෙත්ම එයාලට නෑ...
එතකොට මේ තීන්දු ගන්න අය යන්තම් වැස්සකට හරි ඉස්කෝලෙකට ගිහිල්ලා ඇති කියලා පොඩ්ඩක් හිතමුකෝ... එතකොටවත් ඒ අය මේ වගේ අවශ්‍යතා ගැන ඉගෙනගෙන නැද්ද..? නෑ... එහෙම වෙන්නෙත් නෑ... අපේ මේ තියෙන අධ්‍යාපන ක්‍රමය අස්සේ ඕවා උගන්වනවා තියා සාමාන්‍ය ලිංගික අධ්‍යාපනය ගැනවත් හරියට ඉගැන්වීමක් අපේ ඉස්කෝලවල්වල කරන්නේ නෑනේ... ඒ හින්දා මෙයාලා තියා බහුතරයක් රටේ කොයි පිරිමියෙක් උනත් මේ ගැන වැඩි යමක් දැනගෙන ඉන්න විදියක් නෑ...
ඒ නිසා කාන්තාවන්ට අවශ්‍ය කරන මේ පෑඩ්ස් එක්තරා විදියක අධි සුඛෝපභෝගී භාණ්ඩයක් කියලා තමයි බදු පනවන අය වගේම රටේ බහුතරයක් පරිමි හිතාගෙන ඉන්නේ...
එතකොට පෑඩ්ස් කියන්නෙත් තරුණ කාන්තාවන්ට අත්‍යාවශ්‍ය භාණ්ඩයක්, මේකෙන් සාමාන්‍ය දුප්පත් ශිෂ්‍යාවකට, දුප්පත් තරුණ කාන්තාවකට තියෙන අවශ්‍යතාවය ගැන පැහැදිලි කරලා දෙන්නවත් පාර්ලිමේන්තුවේ හරිහමන් කාන්තා නියෝජනයක්වත් පේන්න නෑනේ... මමනං හිතන්නේ එහෙම හිටියත් වැඩක් වෙන්නේ නෑ... එයාලත් දැන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ පෑඩ්ස්වල අවශ්‍යතාව තියෙන වයස පහුකරලයි ඉන්නේ... ඒ නිසා බදු පිට බදු ගැහුවත් එයාලට මේ ප්‍රශ්ණය අදාලම නෑ...
එහෙම නෙවෙයි... අල, ලූණු, පරිප්පු, සැමන් වගේම පෑඩ්ස් කියන්නෙත් කාන්තාවන්ගේ අත්‍යාවශ්‍ය භාණ්ඩයක් කියලා මේවට බදු හදන අයට දැන්වත් කියලා දෙන්න ඕනි... ඡන්දේ කාලෙට ඡන්ද කඩාගන්න එහෙම කියන්න එහෙම අය ඉදිරිපත් උනත් දැන් එහෙම කියන්නවත් පුළුවන් බලධාරියෙක් තවමත් මේ සඳහා ඉදිරිපත් නොවීම ප්‍රශ්ණයක්...
ඉස්සර වගේ නෙවෙයි ගමේ ගොඩේ හැම ගෙදරකම වගේ දැන් ටෙලිවිෂනය ඕනෑම වෙලාවක ක්‍රියාත්මකව තියෙනවා... ගම්වල ඉන්න තරුණ ළමයි දැන් නිතරම ටෙලිවිෂන් බලනවා. ඒවාගේ යන බොළඳ ටෙලිකතා අස්සේ ලස්සනට මවපු සුරංඟනා ලෝකවල්වල, සුරංගනා කතා මවා පෙන්නලා මේ පෑඩ්ස් ගැන වෙළඳ දැන්වීම් නිතරම යනවා... ඉතිං මේවා බලලා තාක්ෂණික දියුණුවත් එක්ක එන මෙච්චර හොඳ දේවල් තියෙද්දී පරණ පුරුදු වලින් මිදෙන්න ආසා කරන ගමේ ඉන්න තරුණ දූවරු මේවා අරගෙන දෙන්න කියලා නිතරම අම්මට බල කරනවා... ඉතිං දෙමව්පියන්ට සිද්ධවෙනවා මොන ආර්ථික ප්‍රශ්ණ තිබුනත් තමන්ගේ ගැහැණු දරුවන්ට මේවා අරගෙන දෙන්න...
නිකමට හිතන්න ආර්ථික අමාරුකමත් එක්ක ජීවත්වෙන තරුණ ගැහැණු දරුවන්ම දෙතුන් දෙනෙක් ඉන්න පවුලක් ගැන... අනිත් වියදම් වගේම ඒවගේ පවුලකට මේ ගැහැණු දරුවන්ගේ පෑඩ්ස් වලටත් මාසෙකට සෑහෙන මුදලක් අයින් කරන්න වෙනවා...
මීට කාළයකට ඉහතදී අපේ අසල්වැසි ඉන්දියාවටත් මේ ප්‍රශ්ණයම මේ විදියටම මුහුණ දෙන්න සිදුවුනා. ඉන්දියානු රජය පෑඩ්ස් වලට 12% බද්ධක් පනවපු වෙලාවේ ඒ වෙනුවෙන් සෑහෙන විරෝධතාවයක් එරට කාන්තා සමාජයෙන් ගොඩනැගුණා... කාන්තාවන් පාරට බැහැලා උද්ඝෝෂණය කරා. අන්තිමට ඉන්දියානු ආණ්ඩුවට සිද්ධවුනා පෑඩ්ස් වලට පනවපු බද්ධ අකුලාගන්න... ඒ වගේම ගණන් බලලා තියෙන විදියට තවමත් ඉන්දියාවේ සෑම ගැහැණු ළමුන් හතර දෙනෙකුගෙන් දෙදෙනෙකුටම පෑඩ්ස් මිළදීගන්න තරම්වත් වත්කමක් නෑ... ඒ නිසා තමයි ඒ උද්ඝෝෂණත් එක්කම ඒවගේ ප්‍රතිඵලයක් විදියට තනි මිනිහෙක් සමාජයේ ගැරහුම් එක්ක ඒ ප්‍රශ්ණයට ගත්ත විසදුමක් ගැන සත්‍ය කතාවක් ඇසුරින් පෑඩ්මෑන් කියලා චිත්‍රපටයක් පවා බිහිවෙන්නේ...
ඉන්දියාවේ එහෙම උනත් අවාසනාවකට අපේ රටේ ඒ විදියට, එහෙම වෙන්නේ නෑ... අපේ රටේ මේකට විරෝධය දක්වන්න බහුතරයක් කාන්තාවන් ඉදිරිපත් වෙන්නේ නෑ... පවතින සමාජ ක්‍රමයත් එක්ක ඒ ගැන කතාකරන්න ලැජ්ජාවෙන් ඉන්නවා... අපේ රටේ සල්ලි යහමින් තියෙන කාන්තාවන්ට මේ බද්ධ ප්‍රශ්ණයක් නෙවෙයි... එයාලට මේ සඳහා බදුත් සමඟම මේකට වියදම් කරන්න සල්ලි තියෙනවා... ඒ වගේම සල්ලි තියෙන ගෙවල්වල බහුතරයක් පිරිමියාට පෑඩ්ස් බද්ද ඒ තරම් ප්‍රශ්ණයක් වෙන්නෙත් නෑ... මොකද මෙයාලත් අර කළින් කිව්වා වගේම පෑඩ්ස් ප්‍රශ්ණය තියෙන දවස්වලට ගෑණිගේ පැත්ත පලාතටවත් යන්නේ නෑ... කොහොම ඒවා ගන්නවද... කොච්චර ඒවා පාවිච්චි කරනවද... එවා කඩේ කීයක් වෙනවද... මේ කිසිදෙයක් මේ කියන පිරිමියා දන්නේ නෑ... මෙයා මේක ගැන ඉගෙන ගෙනත් නෑ... මේක ගැන මෙයාට අවබෝධයකුත් නෑ... මේක ගැන දැනගන්න මෙයාට උනන්දුවකුත් නෑ...
ඉතිං මේ ගැන හොඳින් දැනගන්න... ඉන්දියාවේ වගේම මේ ප්‍රශ්ණයේදී ලංකාවේ තත්වයත් ඉන්දියාව හා සමානයි... මේකට පනවන බදු ප්‍රශ්ණය බලපාන්නේ දුප්පත් මිනිස්සුන්ට... දුප්පත් පාසැල් සිසුවියන්ට... දුප්පත් තරුණ කාන්තාවන්ට... තරුණ දූවරුන්ම දෙතුන් දෙනෙක් ඉන්න දුප්පත් දෙමව්පියන්ට... දෙමව්පියන් නැතිව වැඩෙන අසරණ තරුණ ගැහැණු දරුවන්ට...
ඉතිං ඔබ හැම වගේම බදු පණවන අයත් මේ කාන්තාවන්ගේ පෑඩ්ස් බදු ප්‍රශ්ණය ගැන ටිකක් දැණුවත් වෙන්න ඉන්දියාවේ හදපු පෑඩ්මෑන් චිත්‍රපටය බැලුවේ නැත්නම් හොයාගෙන බලන්න... බැලුවානම් ඒත් දැන් ඒක අමතකයි නම් ආයෙත් පාරක් අරගෙන බලන්න... ප්‍රශ්ණය තේරුම් ගන්න...
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...
Comments
Post a Comment