මිළියන පතියෙකු වූ සපත්තු ඔප දමන්නා...
ඇමරිකාවේ මෑන්හැටන් නගරයෙහි පිහිටි ප්‍රධාන පෙලේ විශාල බැංකුවක හිටිය එහි ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වරයා හැමදාම වැඩට ආපු ගමන්ම බැංකුව අසල තිබෙන කුඩා සපත්තු ඔප දමන තැනට ගිහිල්ලා තමන්ගේ සපත්තු දෙක හොඳටම ඔපදමා ගැනීම පුරුද්දක් කරගෙන හිටියා.
මෙසේ හැමදාම ඔහු තම සපත්තු ඔප දැමීම කර අවසන්වන තෙක් එහි ඇති පුටුවක වාඩිවී එරට පුවත්පතක් බලමින් ඉන්නවා. ඒ අතර සපත්තු මදින්නා හැමදාම හොඳ බැබළීමකින් යුක්තව ඔහුගේ සපත්තු දෙකට විශිෂ්ට පෙනුමක් ලබා දෙනවා.
ඔන්න ඉතිං එක දවසක් සුපුරුදු විදියට වැඩේ නිමකරන සපත්තු මදින්නා ඔහුගෙන් මුදල් ලබාගන්නා ගමන් ඔහුගෙන් මෙසේ විමසනවා...
"මහත්මයාණෙනි... මේ දවස්වල කොටස් වෙළඳපොලේ තත්වය ගැන ඔබ මොනවද හිතන්නේ...?"
"තමුසේ මොකද ඔච්චර ඒ ගැන උනන්දු වන්නේ... මොකක්ද තමුසෙට කොටස් වෙළදපොලත් එක්ක තියෙන ගණුදෙනුව..?" අධ්‍යක්ෂවරයා සපත්තු මදින්නාව වැඩිය ගාණකට ගන්නේ නැතුව අහනවා...
" එහෙම කියන්න එපා මහත්මයා... ඔබතුමා දන්නේ නැති උනාට මට ඔබතුමාගේ බැංකුවේ ඩොලර් මිලියනයක තැන්පතුවක් තියෙනවා.., මම කල්පනා කළා ඒකෙන් යම් මුදලක් කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්න... ඒකයි මම ඒ ගැන ඔබතුමාගෙන් ඇහුවේ..." සපත්තු මඳින්නා පැවසුවා...
මේක ඇහුවම විධායක අධ්‍යක්ෂවරයගේ ඇස් දෙක ලොකු වෙනවා...
"හරි... මට තමුසෙගේ නම කියනවද..?"
"මම ජෝන් ස්මිත්..." සපත්තු මදින්නා පවසනවා...
අධ්‍යක්ෂවරයා ආපහු බැංකුවට ඇවිත් පාරිභෝගික අංශයේ කළමනාකරුගෙන් මේ ගැන විමසනවා...
"අපේ බැංකුවේ ජෝන් ස්මිත් කියලා ගණුදෙනුකරුවෙක් ඉන්නවද..?"
"ඔව් සර්... එහෙම කෙනෙක් ඉන්නවා ඔහු අපිට ඉන්න ඉතා වටිනා, ගෞරවණීය ගණුදෙනුකරුවෙක්... ඔහුගේ ගිණුමේ ඩොලර් මිලියනයක් තියෙනවා..."
ඒක අහපු අධ්‍යක්ෂවරයා නැවත වරක් එළියට ඇවිත් සපත්තු මඳින්නාව සොයාගෙන යනවා...
"ස්මිත් මහත්මයා... මේච්චර කාළයකට ඔබව ගනන් නොගෙන සිටියාට මට සමාවෙන්න... මම ඔබ ගැන විස්තර හොයාගත්තා... මම ඔබගෙන් එක ඉල්ලීමක් කරන්නයි ආවේ... ලබන සඳුදා අපේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම තියෙනවා... මම ඔබෙන් ඉල්ලා සිටින්නේ එදාට අපේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ ගෞරවණීය ආරාධිත අමුත්තා ලෙස පැමිණිලා ඔබේ ජීවිත කතාව අපි හැමෝටම කියන්න... මට විශ්වාසයි ඔබේ ජීවිත කතාවෙන් සහ ඔබ දියුණුව කරා ගමන් කරපු ආකාරය ගැන අහලා අපට යමක් ඉගෙනගන්න පුළුවන් වෙයි කියලා..."
එම ආරාධනාව සතුටින් පිලිගත්ත සපත්තු මඳින්නා කියපු දිනයට අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට සහභාගි උනා... බොහෝම ගරු සරුව ඔහුව පිළිගන්නා විධායක අධ්‍යක්ෂ විසින් ඔහුගේ අනික් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්හට මෙම සපත්තු මදින්නා හඳුන්වා දෙනවා...
"මේ ඉන්නේ හැමදාම අපේ සපත්තු හොඳින් බැබළෙන්න පොලිෂ් කරන ස්මිත් මහත්තයා... අපි කවුරුත් හොඳින් ඔහුව දන්නවා... නමුත් ඔබ දන්නවාද... සපත්තු මඳින්නෙකු විදියට අපි දන්න මේ ස්මිත් මහත්තයා කියන්නේ, අපේ බැංකුවේ, ඔහුගේ ගිණුමේ ඩොලර් මිලියනයක් සතුව ඇති අපගේ ගෞරවනීය ගණුදෙනුකරුවෙකු බව... මම අද ඔහුට ආරාධනා කළා අපගේ ප්‍රධාන ආරාධිතයා විදියට මෙතනට ඇවිල්ලා ඔහුගේ ජීවිත කතාව සහ ඔහුගේ දියුණුවේ රහස අපට කියන්න කියලා... මට ගොඩාක් විශ්වාසයි අපට ඔහුගෙන් ඉගෙන ගන්න සෑහෙන දෙයක් තියෙන බව..."
ඔන්න ඉතිං මේ සපත්තු මඳින්නා එහෙමත් නැත්නම් ස්මිත් මහත්තයා නැගිටලා එයාගේ දියුණුවේ රහස සමග ජීවිත කතාව කියන්න පටන් ගන්නවා...
"මම මීට අවුරුදු තිහකට විතර ඉස්සරවෙලා යුරෝපයේ ඉඳලා ආපු තරුණ සංක්‍රමණිකයෙකු විදියට නොසිතූ විදියට මේ රටට පැමිණියා... ඒ එනකොට මා සන්තකයේ සතයක්වත් නැතිව තමයි මම මේ රටට නැවෙන් බැස්සේ... රටට ආපු ගමන් මම මුලින්ම කළේ මගේ නම ස්මිත් කියලා වෙනස්කර ගත්ත එකයි... ආපු ගමන්ම මට බඩගිනි හා වෙහෙස හොඳටම දැනුණා... මම මොකක් හරි රස්සාවක් සොයමින් ඉබාගාතේ යන්නට පටන් ගත්තත් එකෙන් මට වැඩක් උනේ නෑ... මම ඔහොම ඇවිදගෙන යනකොට හදිසියේම මට පදික වේදිකාවේ වැටිලා තිබිලා ඩොලර් එකක් හමුවුනා... මම ඒ ඩොලර් එකෙන් ඇපල් ගෙඩි ටිකක් මිලදී ගත්තා... මට තෝරාගන්න විකල්ප දෙකක් තිබුණා... බඩගින්නට ඇපල් ගෙඩි කාලා මගේ බඩගින්න නිවාගන්නවද..? නැත්නම් මේ ඇපල් වලින් පොඩි ව්‍යාපාරයක් ආරම්භ කරනවද කියන එක... මම ඇපල් ගෙඩි ටික ඩොලර් දෙකකට විකුණා ඒ මුදල් වළින් තවත් ඇපල් මිළදී ගත්තා... ටිකෙන් ටික මමත් ඒවා විකුණාලා ව්‍යාපාර කටයුතු ටිකෙන් ටික දියුණුකර ගත්තා. මම මෙහෙම ඩොලර් ටිකෙන් ටික රැස් කරගෙන පාවිච්චි කරපු සපත්තු මඳින බුරුසු සහ සපත්තු ඔප දැමීමේ කට්ටලයක් මිලදී ගත්තා... ඊට පස්සේ මම මේ විදියට සපත්තු ඔප දැමීමේ රස්සාව පටන්ගත්තා... මම මගේ විනෝදාස්වාදයකට හෝ ඇඳුම් පැළඳුම් සඳහා හෝ සතයක්වත් වියදම් කළේ නැ... මම යන්තම් ජීවත්වෙන්න විතරක් පාන් සහ චීස් ටිකක් මිලට ගත්තා... මම ඒකෙනුත් මුදල් ඉතිරි කරගෙන ටික කාළයකට පස්සේ එක එක පාටවළින් එක එක හැඩවළින් යුත් නව සපත්තු බුරුසු සහ ආලේපන කට්ටල මිල දී ගෙන මගේ ගණුදෙනුකරුවන් පුළුල් කර ගත්තා... මම ඉතාමත් සරළව ජීවත් වූ අතර පුළුවන් පුළුවන් හැම වෙලාවෙම මුදල් ඉතිරි කර ගත්තා... තව ටික කාළයක් යනකොට මට මගේ ගණුදෙනුකරුවන්ට ඔවුන්ගේ සපත්තු පිරිසිදු කරන අතරතුර සුවපහසු ලෙස වාඩි වී සිටීම සඳහා පුටුවක් මිලදී ගැනීමට හැකිවුනා... මගේ ජීවිතයේ සතුට වෙනුවෙන් මම සතයක්වත් වියදම් කළේ නෑ... මම හැම සතයක්ම ඉතිරි කළා... මීට වසර කිහිපයකට කළින්, මේ වීදියේ කෙළවරේ තියෙන මම දැන් ඉන්න තැන කළින් සිටි සපත්තු ඔප දමන්නා විශ්‍රාම යෑමට තීරණය කළ විට, ඔහුගෙන් උපකරණ සියල්ලම සමඟ එම ස්ථානය මිලදී ගැනීමට ප්‍රමාණවත් තරම් මුදලක් මම ඉතිරි කරගෙන හිටියා... ඒ තැන අද වෙනකම් මම සතුටින් මේ රස්සාව කරගෙන යනවා...
ඔහොම ඉන්න අතරතුර මීට මාස තුනකට විතර කළින් මේ පළාතේ ප්‍රසිද්ධ ගණිකාවක් වූ මගේ එකම සහෝදරිය මියගියා... ඇය මියයන මොහොතේ මගේ නමින් ඔබලාට අයත් මේ බැංකුවේ ඩොලර් මිලියනයක් මා වෙනුවෙන් ඉතිරි කර ඇති බව ඇය මට පැවසුවා....
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...
Comments
Post a Comment