පුරාවෘත්තාන්ත සිතුවම...
නෙදර්ලන්තයේ තිබෙන මෙම අමුතුම ආකාරයේ ඓතිහාසික අල්මා-ටඩෙමා සිතුවම දෙස මොහොතක් බලන්න.
එකවරම දුටු විගස තේරුම් ගත නොහැකි මෙම සිතුවම පැරණි ඕලන්දය එහෙමත් නැත්නම් පැරණි ලන්දේසි පුරාවෘත්තාන්තයක් නිරූපණය කරයි. වසර 1421 නොවැම්බර් මස අවසානයේ ඕලන්දයේ නොනවතින වර්ෂාවක් සමඟ විශාල ගංවතුරක් ඇතිවිය. එරට තිබෙන ඓතිහාසික විවිධ දත්ත වලට අනුව එකළ මෙම කාළගුණ ව්‍යසනයට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව දෙදහසක සිට දසදහසක් පමණ වූ අතර මේ ව්‍යසනයට සම්බන්ධ පුරාවෘත්තාන්තයක් මෙම සිතුවමේ සිද්ධියට පාදක විය.
එම පුරාවෘත්තාන්තය මෙසේය... වැසි ඇද හැලීමෙන් පසුව ඇතිවූ මහා ගංවතුරෙන් පසු දිවි ගලවාගැනීම සඳහා තැන් තැන්වල සිටි ජනයා තමන්ට සතුව තිබූ බඩු භාණ්ඩ අතරින් හොඳ තත්වයේ ඉතිරිව ඇති දේ සෙවීමට සහ ව්‍යසනයෙන් දිවි ගලවා ගත් අය සෙවීමට පටන් ගත්තා. මෙසේ යන ඔවුන් අතරින් කිහිප දෙනෙකුට තරමක් ඈතින් ගලාගෙන එන ජලයේ තොටිල්ලක් වැනි ඇඳක් පාවෙමින් තිබෙන බව දක්නට ලැබුණා. එම ඇඳ පාවෙමින් ඔවුන් සිටින වෙරළට ළඟා වන විට ඔවුන්ට, ඔවුන්ගේ ඇස් අදහාගත නොහැකි දෙයක් එම තොටිල්ල තුළ සිදුවෙමින් තිබෙණු දුටුවා. ඇඳ මත සිටි බළලෙකු එම ඇඳේ එක් කෙළවරක සිට අනික් කෙළවරටත් ඒ කෙළවර සිට අනික් කෙළවරටත් පිස්සුවෙන් මෙන් දෙපැත්තට වේගයෙන් ගමන් කරමින්ද විටෙක පනිමින්ද සිටිනවා ඔවුන් දකිනවා. ඔවුන්ට පෙනුණ විදියට මෙම බළලා එසේ කරනු ලබන්නේ එම ඇඳ වතුරේ ගිලී නොයා සමබරව වතුරේ පාවෙමින් තබා ගැනීමටයි.
මේ බළලා එය කෙතරම් සාර්ථකව මෙපමණ වෙලාවක් එම ක්‍රියාව ඉටුකර තිබෙනවාද කියනවානම් එම තොටිල්ල තුළ ඒ මොහොත වනවිටත් ඉතාමත් සුවසේ නිදා සිටින ළදරුවා එයට සාක්ෂි දරමින් සිටියා. එපමණක්ද නොව තොටිල්ලේ තිබුණු කොට්ට, ඇඳ ඇතිරිළි සහ දරුවාගේ පොරෝවණය පවා වතුරෙන් තෙත් නොවී නිතරම වියළිව තබා ගැනීමටද මෙම බළලා සමත්වී තිබුණා...
ඉතිං දැනටමත් ඔබ එම සිතුවමේ පුරාවෘත්තාන්තය හොඳින් දන්නා අයෙකු වන නිසා, ඔබ ලොව වටා සංචාරය කරන විටකදී කොහේදී හෝ මෙම ඓතිහාසික සිතුවම දුටුවහොත් එය ටිකක් ඕනෑ කමකින් නරඹන්න... අධ්‍යනය කරන්න... විස්තරය නිවැරදි දැයි බලන්න...
#StoriesTerrorAndMore...
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...
Comments
Post a Comment