නවක වදය...
නවක වදය කියන එක විශ්ව විද්‍යාල වල දරුණුවට කෙරුනට සමහර ලංකාවේ තියෙන උසස් පාසැල් වලත් මේක සුළු සුළු වශයෙන් කෙරීගෙන යනවා. ඒ වගේම කෙනෙක් පාසැලෙන් හෝ විශ්ව විද්‍යාලයෙන් අයින්වෙලා රැකියාවකට අලුතෙන් ගියාමත් සමහරවිට මේ නවක වදය කියන එක ටිකක් හීනියට ඒ ඒ ආයතන වලට අදාල විදියට ඒ ආයතනවල ඉන්න එවුන් ඒ එන අලුත් අයට කරනවා.
මම අද කියන්න යන්නේ අපි වැඩකරපු මාධ්‍ය ආයතනයේ අපේ අය හීනියට කරගෙන ගිය නවක වදයක් නොවුනත් අපේ අයතනයට එන අලුත් නංගිලා මල්ලිලාව පොඩ්ඩක් මඩවලා ගන්න කරපු පොඩි බයිට් කිරීල්ලක් ගැනයි.
අපි වැඩකරපු මාධ්‍ය ආයතනය බොහෝදුරට කළේ මුළු ආසියාවේම වගේම යුරෝපයේ වෙනත් රටවලත් පාසැල් හැරයන එහෙත් මාධ්‍ය ක්ෂේත්‍රයට ඇල්මක් දක්වන තරුණ තරුණියන්ට ජනමාධ්‍ය පිළිබඳ මූලික දැණුමක් ලබාදීලා එයාලව පොරවල් කරන එකයි. ඉතිං වෙන රටවල වගේම ලංකාවෙත් ජනමාධ්‍ය සඳහා උණක් තියෙන පාසැල් හැරයන පොෂ් කෙල්ලෝ කොල්ලෝ නිතරම වගේ මේ ට්‍රේනින් එක ගන්න අපිත් එක්ක සම්බන්ධ වෙනවා. මෙයාලා ඉතිං අපිත් එක්ක සම්බන්ධ උනාට මුලදි මාධ්‍ය ගැනවත් තාක්ෂණය ගැනවත් මෙලෝ හසරක් දන්නේ නැතුව තමයි මේකට එන්නේ.
ඉතිං මේ එන හැමෝම පළමුවෙන්ම ඉගෙන ගන්නේ ලංකාවේ මොකක්හරි කතාවක් හෝ සිදුවීමක් හොයාගෙන ඒකට තිර පිටපතක් ලියන එකයි. ඉතිං තටමලා තටමලා තිර පිටපතක් ලියාගෙන ඒක බළධාරීන්ට පෙන්නලා ඒක අනුමත කරගත්තාට පස්සේ මෙයාලගේ එකම ආසාව වෙන්නේ මේ තිර පිටපත අයත් වැඩසටහනට අයත් සියළුම පෙර නිෂ්පාදන කටයුතු සූදානම් කරලා පුළුවන් ඉක්මණින් මේක රූපගත කරන්න ලෑස්තිවෙන එකයි.
ඔන්න ඉතිං වැඩසටහන් අධ්‍යක්ෂගෙන් මේ අනුමත වෙච්ච පිටපතත් අරගෙන මෙයාලා යනවා තාක්ෂණික අංශයේ අධ්‍යක්ෂව හම්බවෙන්න. ඉතිං එයත් මේ පිටපත බලලා එයාගේ උපදෙසුත් මේකට එකතුකරලා මෙයාව යොමු කරනවා තාක්ෂණික අංශයේ තාක්ෂණික ශිල්පීන් සහ උපකරණ බාරව ඉන්න ඊළග ලොක්කා ගාවට. ඊට පස්සේ එයා කරන්නේ මේ පිටපත පොඩ්ඩක් බලලා ඒ පිටපත රූගත කරන පළාත, දර්ශණ තල ආදිය ගැන පොඩ්ඩක් අධ්‍යනය කරලා මේ රූපගතකිරීම් සඳහා කැමරා ශිල්පියෙකු ඇතුළුව කණ්ඩායමක් පත් කරන එකයි.
ඔන්න ඊට පස්සේ මේ ළමයා යනවා අර පත් කරපු කැමරා ශිල්පියාව මුණ ගැහෙන්න. ඊට පස්සේ කැමරා ශිල්පියා ඇතුළු ඒ තාක්ෂණික කණ්ඩායම එක්ක මේයා මේ පිටපත ගැන පොඩි සාකච්ඡාවක් තියෙනවා.
මේ සාකච්ඡාව තියෙන තැනට එනකම්ම මේ ළමයා හමුවෙන්න යන හැම කෙනෙක්ගෙන්ම මේ ළමයාට අවශ්‍ය විෂයයන් වලට අදාලව යම් යම් දේවල් ඉගෙන ගන්නවා. ඒකත් මෙයාලගේ මේ පුහුණුවේම එක කොටසක් විදියට තමයි ආයතන විසින් මේ හැම වැඩ කටයුත්තක්ම යොදවලා තියෙන්නේ.
දැන් ඉතිං අලුත් ළමයා තාක්ෂණික කණ්ඩායමත් එක්කත් සාකච්ඡා කරනකොට එයාලගෙනුත් යම් යම් දේවල් ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගත්තත් අන්තිමට මෙතෙන ඉන්න එවුන් ටික තමයි මේ අලුත් ළමයව බයිට් කරන්න පටන් ගන්නේ. මේ එන ළමයා තරමක් ඇහැට කනට පේන හොඳ ගැටිස්සියෙක් උනොත් අපේ එවුන් බයිට් එක ටිකක් සැරේටම දෙනවා.
ඔන්න ඉතිං පිටපත කියවලා ඒකේ තියෙන කරුණු කාරණාවල සාකච්චාවෙන් පස්සේ කැමරා අධ්‍යක්ෂතුමා මේ ළමයත් එක්ක ඒක රූපගතකිරීම් සඳහා දිනයක් දාගන්නවා. මේ ළමයා මේ ඉගෙන ගත්ත දේවලුත් එක්ක හා හා පුරා කියලා රූපගතකිරීම් වලට ලක ලෑස්ති වෙනවා. ඉතිං මෙහෙම ගිහිල්ලා රූපගතකිරීම් වලට දවසකට දෙකකට විතර කළින් ආයෙමත් අර ටීම් එක මේ ළමයව සකච්ඡාවකට ගෙන්වනවා. ඊට පස්සේ කැමරාව ගැන සහ අනෙකුත් උපකරණ ගැන මේ ළමයට පොඩි ට්‍රේනින් එකක් දෙනවා. ඊට පස්සේ තමයි බයිට් කරන වැඩේ පටන් ගන්නේ.
මෙයාලා මේ ළමයට කියනවා රූපගතකිරීම් වලට කළින් කැමරාවට දාන්න 'කලර්බාස්' (Colour Bars) ගේන්න කියලා. වැඩසටහනේ පිටපතට අනුව දර්ශණ රූපගතකිරීම් සඳහා ගෙන ආයුතු කලර්බාස් ප්‍රමාණය සහ ඒ සඳහා යන මුදලද මේ ළමයට කියනවා. ඉතිං අර ළමයා කලර්බාස් ගැන මෙලෝ හසරක් දන්නේ නැති නිසා ඒ ගැනත් මෙයාලගෙන් අහනවා. ඊට පස්සේ කලර්බාස් කියන්නේ මොනවද කියලා කැමරාව ඔන් කරලා TV එකකින් පෙන්නනවා. කැමරාවෙන් කලර් පින්තූර රූපගත කරන්න ඒ තියෙන එක එක පාට වෙන වෙනමම හාඩ්වෙයාර් එකකින් රූපගතකිරීම් කරන දවසට අරගෙන එන්න කියලා මේ ළමයට කියනවා.
ඊට පස්සේ ඒවා මිලදී ගැනීමට මුදල් ලබාගන්න මේ ළමයාව ගිණුම් අංශය වෙත යොමු කරනවා. එතනට යනකොට ඒ උන්දැලත් මේ ළමයව මඩවන්න මේකට ලෑස්ති වෙලයි ඉන්නේ. මේකටම හදපු හොර ඇණවුම්පතක් මෙයාලා හොර රහසෙම හදාගෙන ඉන්නවා. මේකේ අහලා තියෙන දේවල්වලට පිළිතුරු පුරවගෙන ඒක වැඩසටහන් අධ්‍යක්ෂගෙන්ද, තාක්ෂණික අධ්‍යක්ෂගෙන්ද, තාක්ෂණික අංශය බාර ලොක්කාගෙන්ද, කැමරා අධ්‍යක්ෂගෙන්ද අනුමත කරවා අත්සන් අරගෙන එන ලෙස මේ ළමයට දැණුම් දෙනවා. ඒ වගේම මේ වෙනකොට මේ හැම ලොක්කෙකුම මේ ළමයාට කරන බයිට් කිරිල්ල දැනගෙන ඉන්නවා වගේම මෙයාලත් මේකට මේ ළමයට දැනෙන්නේ නැති වෙන්න කරන අයට බොක්කෙන්ම සහයෝගය දෙනවා.
කලර්බාස් ගන්න අයදුම් කරන්න මේ දෙන ඇණවුම්පතේ මේ ළමයාට සෑහෙන විස්තර ප්‍රමාණයක් සඳහන් කර පිරවිය යුතුව තිබෙනවා. ඇත්තම කියනවානම් මේක දෙවෙනි වෙන්නේ ආයතනයකට රස්සාවකට එන්න අයදුම් කරන අයදුම් පතකට විතරයි. පදිංචිය, දෙමව්පියන්ගෙ නම්, වයස, ඉගෙන ගත් පාසැල, කතාකරන භාෂා ගණන, පවුලේ සාමාජිකයින් ගණන අදී නොයෙකුත් පෞද්ගලික විස්තරත් එක්ක අවශ්‍ය කලර්බාස් ප්‍රමාණය සහ අවශ්‍ය මුදල ද මේකේ සඳහන් කළ යුතුව තිබෙනවා.
ඉතිං මේ ළමයා මේ සියළුම දේවල් පුරවගෙන අර කියපු අයගෙන් අත්සන් අරගෙන ගිණුම් අංශයට ආපසු යනවා. ඊට පස්සේ එතනින් මෙයාට අවශ්‍ය කරන මුදල කිසිම පැකලීමක් නැතුව ලබාදෙනවා.
ඊට පස්සේ මේ ළමයට කරන්න තියෙන්නේ ප්‍රවාහන අංශයට ගිහිල්ලා මේ කලර්බාස් ගේන්න යන්න වාහනයක් වෙන්කරවාගන්න එකයි. එතනට ගියාම එතන ඉන්නෙත් හොඳම අන්ඩපාලයෝ සෙට් එකක්. එතන බාරව ඉන්න ලොක්කා වෙනමම වාහන 'බුකිං ෆෝම්' එකක් මේ ළමයට දෙනවා. ඒකෙත් අහලා තියෙන අපබ්‍රන්ස වලට උත්තර ලියලා ආපහු වටයක් ලොක්කෝ ළගට ගිහිල්ලා ඒකෙත් තියෙන අනුමත අත්සන් ටික ගහගෙන ප්‍රවාහන අංශයට ගිහින් දෙනවා.
ඔන්න ඉතිං යොදාගත්ත වෙලාවට වාහනයේ රියදුරුත් එක්ක හාඩ්වෙයාර් එකක්, හාඩ්වෙයාර් එකක් ගානේ ගිහිල්ලා මේ ළමයා කලර්බාස් හොයනවා. ඒ එකකවත් මෙයා හොයන කැමරාවට දාන කලර්බාස් හොයාගන්න බැරිවෙනවා. පැය ගාණක් කිලෝමීටර් ගාණක් රවුම් ගහලා නැතිම තැන හති දාගෙන, දාඩිය පෙරාගෙන ආයෙමත් මේ ළමයා අර කැමරා කොරන එකා හම්බවෙන්න එනවා. එහෙම කැමරාවට දාන කලර්බාස් කිසිම හාඩ්වෙයාර් එකක නැති බවත් නිපොලැක්, මල්ටිලැක්, ඩියුලැක්ස් වගේ ඒවානං ඕන තරම් තොග පිටින් උනත් ගන්න හැම තැනකම වගේ තියෙන බවත් අපේක්ෂා භංගත්වයෙන් මේ ළමයා කියනවා. ඒත් අරූ නෙවෙයි වැරැද්ද හදන්නේ... එහෙනම් ඉතිං මොනවා කරන්නද... කැමරාවේ ඉතුරු වෙලා තියෙන ටිකෙන්වත් මේ වැඩේ කරමු කියලා... අර ළමයගේ හිත ටිකක් හදලා හරවලා යවනවා.
මේ ළමයා ඉතිං ආපහු ගිහින් ගිණුම් අංශයට ආපහු සල්ලි භාරදීලා ඊට පස්සේ රූපගතකිරීමත් හොඳින්ම කරලා, වැඩසටහනත් හොඳටම ඉවර කරලා, ඒවා කරන විදියත් ඒකෙන්ම හොඳට ඉගෙනගෙන, ඒක විකාශණය වෙන කාලය වෙනකොට කලර්බාස් එහෙමත් නැත්නම් වර්ණ තීරු කියන්නේ ප්‍රින්ටරයට දානවා වගේ කැමරාවට දැමිය යුතු තීන්ත වර්ගයක් නොවන බවත් ඒවා කැමරාවේ ඇති තාක්ෂණය තුළින්ම නිපදවෙන, වර්ණ තීරු කියන්නේ වීඩියෝ තාක්ෂණයේ ප්‍රමිතිය සඳහා භාවිතා කරන රූපවාහිනී පරීක්ෂණ රටාවක් බවත් පස්සේ මේ ළමයා දැනගන්නවා...
එහෙම කරපු කට්ටියවයි... ඒ පරිප්පුව කාපු කට්ටියවයි ඔක්කොම මේකේ ටැග් කරනවා...
මතකයන් අලුත්කර ගන්න...
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...
Comments
Post a Comment