ධවල මන්දිරයේ ටෙන්ඩර් එක...

බැරක් ඔබාමගෙන් පස්සේ ඇමරිකාව භාරගත්ත ඩොනල්ඩ් ට්‍රම්ප් කාරයා ඔන්න ඉස්සෙල්ලාම ධවල මන්දිරය පැත්තේ රවුමක් ගහලා ඒකේ අලුත්ම තත්වය නිරීක්ෂණය කරනවා. ඔබාමාගේ කාලේ හරියට පාවිච්චි කරලා නොතිබුණ නිසා බිල්ඩිමේ තැන් තැන්වල ජරාවාස වෙලා තියෙනවා මනුස්සයා දකිනවා. ට්‍රම්ප්ට හිතෙනවා මේකේ පදිංචියට එන්න ඉස්සරවෙලා පොඩි අලුත් වැඩියාවක් කරලා සුදු තීන්ත ගෑවොත් හොඳයි කියලා. ඔන්න ඉතිං මෙයා නිළධාරීන් ගෙන්නලා මේ වැඩේට කොන්ත්‍රාත්තුව බාරදෙන්න ඉස්සරවෙලා ටෙන්ඩර් කැදවීමක් කරන්න කියලා උපදෙස් දෙනවා. ඔහුගේ උපදෙස්වලට අනුව නිළධාරීන් ටෙන්ඩර් කැඳවනවා. ඒත් මේ බාරදූර වැඩේ කරන්න ඉදිරිපත් වෙලා තිබුණේ කොම්පැණි තුනක් විතරයි.

පළමුවෙන්ම අයදුම්කරලා තිබුණේ චීන ජාතික කොම්පැණියක්. ඔවුන් මෙම වැඩේ හොඳින්ම කරලා නිම කරන්න ඩොලර් මිලියන 3 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබුණා.

දෙවෙනියට ටෙන්ඩරය සඳහා අයඳුම් කරලා තිබුණේ ජපන් ජාතික ප්‍රසිද්ධ වගේම හොඳම කොම්පැණියක්. ඔවුන් මේ වැඩේ ඉතාමත්ම හොඳින් නිමකර දෙන්න ඩොලර් මිලියන 5 ක් වියදම් වෙන බව කියා ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබුණා.

තුන්වෙනියට ඉදිරිපත් වෙන්නේ අපේ ලංකාවේ පොරක් ඒ කියන්නේ ලාංකිකයෙක්. මෙයාගේ විශේෂත්වය උනේ පොරට කිසිම පිළිගත් කොම්පැණියක්වත් වැඩේ කරන්න පිරිසක්වත් පෙන්නන්නේ නැතුව නිකම්ම තමන්ගේ නම ගහපු කොළයක ටෙන්ඩරයට අයඳුම් කරලා තිබුණා. ඒකේ සඳහන් වෙන විදියට සම්පුර්ණ වැඩ කටයුතු නිම කිරීම සඳහා ඩොලර් මිලියන 10 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබුණා.

ට්‍රම්ප් ලොක්කා බිස්නස් කාරයා හින්දා දවසක් මේ තුන්දෙනාටම එන්න කියලා පොඩ්ඩක් විස්තර කතාකරන්න තීරණය කළා.

පළවෙනියටම ට්‍රම්ප් චීන කොම්පැණියේ ලොක්කට එයාව හම්බවෙන්න එන්න කියලා මෙයත් එක්ක ආගිය තොරතුරු එහෙම කතා කර කර ඉඳලා අන්තිමට චීනගෙන් ටෙන්ඩරය ගැන විස්තර අහනවා.

" හරි දැන් මට ඔයා කියන්න බලන්න ඔයා කොහොමද ඩොලර් මිලියන 3 කට මේ වැඩේ ඇස්තමේන්තු කළේ කියලා..."

එතකොට චීනා මෙහෙම කියනවා. 

" සර් ඩොලර් මිලියන 1.5 ක් විතර යනවා මේක සුද්ධ පවිත්‍ර කරලා අලුත්වැඩියා කරන්න සහ තීන්තවල වියදම් සඳහා... ඩොලර් මිලියන 1.0 විතර යනවා ගමන් වියදම්, කෑම බීම සහ සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා... ඉතිරි ඩොලර් මිලියන 0.5 තමයි අපේ කොම්පැණියට තියෙන ලාභය... චීනා සියළු ලියකියවිළි ඉදිරිපත් කරමින් ට්‍රම්ප්ට පැහැදිළි කරලා දෙනවා..."

ඊට පස්සේ ජපන් ජාතික කොම්පැණියේ ලොක්කට කතා කරනවා. ආගිය තොරතුරු පොඩ්ඩක් කතා කරලා එයාගේ අයදුම්පත ගැන විස්තර අහනවා. එතකොට ජපන් කොම්පැණියේ ලොක්කා ලියකියවිලි ඉදිරිපත් කරමින් විස්තර කරනවා... 

" අපිට ඩොලර් මිලියන 2 ක් විතර යනවා තීන්ත සහ සුද්ධ පවිත්‍ර කරලා අලුත්වැඩියා කටයුතු කරන්න... ඩොලර් මිලියන 2 ක් විතර යනවා සේවක වැටුප්, ගමනා ගමන වියදම්, කෑමබීම සහ වෙනත් අමතර කටයුතු සඳහා... ඊට පස්සේ ඉතිරිවන ඩොලර් මිලියන 1 තමයි අපේ කොම්පැණියට තියෙන ලාභය... ඔක්කොම එකතුව ඩොලර් මිලියන 5 යි අපේ ඇස්තමේන්තු සම්පූර්ණ මුදල..."

මේ දෙන්නම ගියාට පස්සේ ට්‍රම්ප් අපේ ලාංකික පොරට කතා කරනවා. අපේ මිනිහා මෙතෙනට එන්න කළින් චීනගේ සහ ජපනගේ ගණන් කළින්ම නිළදාරියෙකුට පගාවක් දීලා දැනගන්නවා. කිසිම ලියකියවිළ්ලක් නැතුව ඔහේ අත්දෙක වන වනා මිනිහා ඇවිල්ලා ට්‍රම්ප් ඉස්සරහින් ඉදගන්නවා. ට්‍රම්ප්ට අපේ මිනිහත් එක්ක ටිකක් තද වෙනවා. 

" තමුසෙට මේ වැඩේ කරන්න කිසිම කොම්පැණියකුත් නෑ... ගාන වියදම් කරන හැටි මට පැහැදිලි කරන්න කිසිම ලියකියවිළිවත් නෑ... තමුසෙගේ කිසිම පිළිවෙලකුත් නෑ... බලනවා මාව හම්බවෙන්න ඇවිල්ලා තියෙන්නෙත් හෝටලේට කන්න යනවා වගේ..." 

ට්‍රම්ප්කාරයා අපේ මිනිහට බැනගෙන බැනගෙන යනවා... 

මේක ටිකවෙලාවක් අහගෙන හිටපු අපේ මිනිහා...

" හරි... හරි... මගේ පිළිවෙලක් නැති උනාට මේ වැඩේ ජපනට වඩා පිළිවෙලට කරගන්න ඔබතුමාට ඕනිද නැද්ද කියලා විතරක් මට කියන්නකෝ..." කියලා අපේ පොර කියනවා...

" හරි... තමුසේ දැන් කියනවකෝ කොහොමද මේක කරන්නේ කියලා... අනික තමුසේගේ ගාන ඩොලර් මිලියන 10ක්... අර මිනිස්සුන්ගේ කොම්පැණිවලටත් වඩා ගාන වැඩියි... අපේ භාණ්ඩාගාරයෙන් මේකට යන මුදල ගැන කිසිම ප්‍රශ්ණයක් නැතිවුනත් මේ වැඩවල පිළිවෙලක් තියෙන්න ඕනි... හොඳයි කියනවා කොහොමද තමුසේ ඩොලර් මිලියන 10 ක් මේ වැඩේට ඇස්තමේන්තු කලේ කියලා..?"

 " හරි... ඕකට ඔච්චර කළබල වෙන්න ඕනි නෑ සර්... මගේ ඔය ඇස්තමේන්තුවට අනුමැතිය දීලා මට වැඩේ හම්බවුනොත් මම ඒ සල්ලි වලින් ඔබතුමාට මිලියන 4 ක් දෙන්නම්... (ට්‍රම්ප් කාරයගේ ඇස් ගෙඩිදෙක උඩ යනවා) ඊට පස්සේ ඒකෙන් ඉතුරුවෙන එකෙන් මිලියන 3 ක් මම ගන්නවා මගේ ලාභය... ඊටත් පස්සේ අපි දෙන්නා එකතු වෙලා මිලියන 3 ක් චීනට දීලා ඒ වැඩේ ජපනටත් වඩා හොඳට කරන්න කියමු..." 

මේක අහපු ට්‍රම්ප් ගොයියගේ දුඹුරුපාට ඔළුවේ රතුපාට මල් හතක් පිපෙණවා... වෙන කිසිම වචනයක්වත් කතා නොකර කොන්ත්‍රාත්තුවට අනුමැතිය දීලා අත්සන් කරලා අපේ මිනිහගේ අතට වැඩේ බාරදීලා බදාගෙන උම්මා එකකුත් දෙනවා...


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...