කේන්දරේ...

මැදිවියේ කාන්තාවක් දවසක් උදේ පාන්දරින්ම යනවා ටිකක් දුර බැහැරක ඉන්න ජෝතිෂ්‍යවේදියෙක් ළඟට තමන්ගේ හඳහන බලාගන්න කියලා. මේ ජෝතිෂ්‍යවේදියා ටිකක් රටේ ප්‍රසිද්ධ කෙනෙක් නිසා මේ කාන්තාව යන වෙලාව වෙනකොටත් සාමාන්‍ය සෙනඟක් ජෝතිෂ්‍යවේදියා හම්බවෙන්න ඇවිල්ලා ඉන්නවා.

පෝලිමේ ඉඳලා මේ කාන්තාවගේ වාරේ ආවාම ඔන්න ඉතිං මෙයා අර ජෝතිෂ්‍යවේදියා ඉස්සරහින් ගිහින් වාඩිවෙලා හඳහන ඔහු අතට දෙනවා. ඔහු මේක ටික වෙලාවක් හොඳින් කියවා බලා...

" ඔබතුමියගේ නම චමිලා නේද...?"

" ඔව්... ඔව්... මහත්තයෝ..." 

" චමිලා දන්තනාරායන" එහෙම නේද..?

" ඔව්... ඔව්... මහත්තයෝ..." කියලා උත්තර දෙනවා.

මේක අහපු ගමන් අර කාන්තාවට කිසි දෙයක් හිතාගන්න බැරි වෙනවා. කවදාවත්ම දැකලත් නැති තමන්ගේ ගම් පළාතෙත් නොවන කවදාවත්ම කතා කරලවත් නැති කෙනෙක් එකපාරම තමන්ගේ නම කිව්වම මේ කාන්තාවට හරිම පුදුමයි. මේ ජෝතිෂ්‍යවේදියා එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ. නියම වැඩකාරයෙක්, නැත්නම් කොහොමද මම ගැන කිසි දෙයක් දන්නේ නැතුව මගේ සම්පූර්ණ නම කිව්වේ. හඳහන් පොතේ මගේ නම ලියලත් නෑ... එළියේ කවුරුත් මගේ නම ඇහුවෙත් නෑ... මම කාටවත් මගේ නම කිව්වෙත් නෑ... මෙයා නම් නියම වැඩකාරයෙක්. අනාගතය ගැන හොඳට මෙයාගෙන් දැන ගන්න පුළුවන් වෙයි. කියලා දැන් මෙයා හිත හිතා ඉන්නවා... 

" එතකොට ඔබතුමිය කසාද බැඳලා... නේද..?"

" ඔව්... ඔව්... මහත්තයෝ..."

" ඔබතුමියගේ සැමියාගේ නම වසන්ත ජීව දන්තනාරායන... මම හරිද..?

" ඔව්... මහත්තයෝ..." 

" එයා රජයේ සේවකයෙක්... වයස අවුරුදු 42 යි..."

" ඔව්... ඔව්..."

දැන්මේ කාන්තාවට හරිම පුදුමයි වගේම හරිම සතුටුයි. කියන හැම දෙයක්ම හරියටම හරි... මෙයා නම් සුපිරි කෙනෙක් වෙන්න ඕනි කියලා මෙයා ආයෙත් හිතනවා...

" ඔබතුමියට දරුවන් දෙදෙනෙක් ඉන්නවා..."

" ඔව්... ඔව්... මහත්තයෝ..."

" දෙන්නම ගැහැණු දරුවන් නේද...?"

" ඔව්... ඔව්..."

" එක්කෙනෙක්ගේ නම 'තෙමුණි මෙතනදී'... 

" එයාගේ වයස අවුරුදු 10 යි... හරිද..?"

" හරි... හරි... මහත්තයෝ..." 

" අනිත් එක්කෙනා 'පායනා දහවලී'... 

" එයාගේ වයස අවුරුදු 7 යි... හරිද..?"

" ඒකත් හරියටම හරි මහත්තයෝ..."

දැන් මේ කාන්තාවට මාර පුදුමයි. තමන්ගේ ස්වාමිපුරුෂයාගෙයි දරුවෝ දෙන්නගෙයි සියළුම විස්තර තමන්ටත් වඩා හොඳින් මෙයා කියනවා. මෙයා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. කොච්චර දුරක ඉඳලා ආවත්, මෙයාට දෙන මුදලවත් කිසිම පාඩුවක් නෑ. හැමදේම බලාගෙන ඉන්නවා වගේ කියනවා. මෙහෙම හිතමින් මෙයා ඉන්නවා.

මේ අතර ජෝතිෂ්‍යවේදියා මෙයාගේ හඳහන තවමත් ඉතා හොඳින් නිරීක්ෂණය කරමින් ඉන්නවා මෙයා දකිනවා.

" ඔයාලට සමූපකාරයෙන් හැම මාසෙම නොමිලේ බඩු මල්ලක් ලැබෙනවා නේද..?

" ඔව්... ඔව්... මහත්තයෝ..."

" මේ මාසේ බඩු මල්ල මීට දවස් තුනකට කළින් ගිහිල්ලා ගත්තා නේද..?"

" ඔව්... ඔව්..."

දැන් මේ කාන්තාවට සෑහෙන සතුටුයි... කියන හැමදේම හරි.

" මේ මාසේ හාල් කිලෝ දහයයි, පරිප්පු කිලෝ එකයි, සීනි කිලෝ එකයි, තේකොළ ග්‍රෑම් 500යි, පාන්පිටි කිලෝ තුනයි, කරවල, මිරිස්, තුනපහ, ලූණු වගේ වියළි දේවල් නේද හම්බවුනේ..?

" ඔව්... ඔව්... මහත්තයෝ... ඔය කිව්ව විදියටම බඩු ටික ලැබුණා..."

මේ කාන්තාවට දැන් ඉතිං මේ ජෝතිෂ්‍යවේදියා පේන්නේ දෙවියෙක් වගේ... කන්න බොන්න හම්බවෙන දේවලුත් මෙයා හරියටම ටක්කෙටම කියනවා. මගේ අනාගතය ගැනත් වෙන්න තියෙන දේවලුත් මෙයා හරියටම කියයි... දැන් මෙයා හිතනවා...

" වෙන මොනවද ඔබතුමියට මගෙන් දැනගන්න ඕනි..."

" අනේ මහත්තයෝ... මට මගේ අනාගතය ගැන, මට අපල උපද්‍රවයක් එහෙම තියෙනවා නම් ඒවා... එවාට කළයුතු ප්‍රතිකර්ම වගේ දේවල් දැන ගත්තනම් හොදයි..." 

" ආ... ඒවගේ දේවල් මේක බලාගෙන කියන්න බෑ... ඒ වගේ දේවල් දැනගන්න නම් මට ඔබතුමියගේ හඳහන අවශ්‍ය වෙනවා...

" මම ඔබතුමාට දුන්නේ ඒක මගේ හඳහන තමයිනේ..."

" මොන හඳහනක්ද... මේ මට දීලා තියෙන්නේ ඔබතුමියගේ සමූපකාර කාඩ් එකනේ... මේකෙන් කියන්න පුළුවන් ටික තමයි මම දැන් ඔය කිව්වේ... හරියටම දේවල් දැන ගන්න ඕනි නම් ඔබතුමියගේ හඳහන අරගෙන එන්න...

මෙහි එන නම් සියල්ල මනංකල්පිත බව සළකන්න...


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...