ගණිකාවෝ...
දවසක් හවස් වරුවක තරුණ කාන්තාවක් තමන්ගේ වයස අවුරුදු 10 විතර වෙන තම පුත්‍රයත් එක්ක ත්‍රීවීල් එකක නැගලා නගරය මැදින් තමන්ගේ ගෙදර බලා එනවා. ත්‍රීවීල් එක මෙහෙම ඇවිත් නගරය එක්තරා වීදියකට හරවා දිගටම ගමන් කරනවා. සවස් වරුවට ගණිකාවන් බෙහෙවින් ගැවසෙන වීදියක් ලෙස නම් දරා තිබෙන මෙම වීදියේ එක එක විච්චූරණ ජාතියේ ඇඳුම් ඇඳගත් ගණිකාවන් තැනින් තැන ඉන්නවා මේ පොඩි කොල්ලා දකිනවා. මෙහෙම ඉන්න ගණිකාවන් දිහා එබිකම් කර කර ටිකක් ඕන කමකින් මේ කොල්ලා බලනවා.
මෙහෙම බලාගෙන ගිහින් කොල්ලා එකපාරම අර අම්මගෙන් මෙහෙම අහනවා.
" අර ලස්සනට ඇඳුම් ඇදලා ඉන්න ඇන්‍ටිලා පාර අයිනට වෙලා මොනවද අම්මේ කරන්නේ...? අර සමහරු යන එන වාහනවලට අත දානවා... සමහර වාහන නවත්තලා ඒ ඇන්ටිලාව දාගෙන යනවා..."
කොල්ලා අහපු දේට අර අම්මට කට උත්තර නැති වෙනවා. මොකක් හරි බොරුවක් කියලා කොල්ලව ශේප් කරගන්න හිතාගෙන අම්මා මෙහෙම කියනවා.
" ආ... පුතා ඒ ඉන්න ඇන්ටිල වැඩ ඇරිලා ගෙදර යන්න ඉන්න කට්ටිය... මේ පාරේ බස් වැඩ කරන්නේ නැති නිසා එයාලා ගෙදර යන්න ලිෆ්ට් එකක් ඉල්ලගන්න තමයි ඒ වාහනවලට අත දාන්නේ... සමහරවිට එයාලගේ හස්බන්ඩ්ලා වාහනවලින් ඇවිල්ලා එයාලව එක්කන් යනවා. සමහර ඇන්ටිලා එයාලගේ හස්බන්ඩ්ලා ඇවිත් එයාලව එක්කන් යනකම් පාර අයිනට වෙලා බලාගෙන ඉන්නවා..."
මේයාලා යන මේ ත්‍රීරෝද රථය පදවන්නේ තරුණ කටකාර කොළු ගැටයෙක්. මිනිහා අම්මගෙයි පුතාගෙයි මේ කතාව හොඳින් අහගෙන ඉන්නවා. මිනිහටත් මොනවා හරි කියන්න කට නලියනවා. ඉවසගෙන ඉන්න බැරිමතැන මිනිහා කට අරිනවා.
" ඇයි නෝනා, නෝනගේ පුතාට බොරු කියලා දෙන්නේ..? මෙයාලා මේ වයස වෙනකොට මේවා තේරුම් ගන්න ඕන... මෙයාලා දැන් පොඩි නැහැනේ... අනික මෙයාලා දැන් ඉස්සර ළමයි වගේ නෙවෙයි... මෙයාලට අද සමාජේ ගැන හරියට කියලා දෙන්න ඕනි... නැත්නම් මෙයාලා මේ දේවල් කවදාවත් ඉගෙන ගන්නේ නෑ... කියලා කණ්නාඩියෙන් පොඩි කොල්ලා දිහා බලලා මෙහෙම කියනවා...
" පොඩි මහත්තයෝ මේ පාරවල් අයිනේ ඉන්නේ ගණිකාවෝ... එයාලා ඔය පාර අයිනට වෙලා ඉදලා කවුරු හරි මනුස්සයෙක් හොයාගෙන ඒ මනුස්සයත් එක්ක ගිහින් සෙක්ස් කරනවා. ඊට පස්සේ ඒ මනුස්සයාගෙන් මෙයාලා සල්ලි ගන්නවා. ඒක තමයි මෙයාලගේ රස්සාව. මෙයාලට නගර සෝබණියෝ කියලත් කියනවා... මේක තමයි ලෝකේ තියෙන පරණම රස්සාව..."
ත්‍රීවීල් රියදුරා මේ කියපු කතාවට අර තරුණ අම්මාට හොඳටම කේන්ති යනවා. ඊටත් එහා ලැජ්ජාව. තමන්ගේ දරුවා හොඳ ගුණ යහපත් විදියට සංවරව හදලා තියෙන නිසා මේ රියදුරා අනවශ්‍යය දේවල් කියලා තම පුත්‍රයාගේ ඔළුව නරක් කළා කියලා මේ අම්මා තරහින් පුපුර පුපුර යනවා...
වටපිට බල බල යන මේ කොළු පැටියා ටික වෙලාවකින් අම්මගෙන් මෙහෙම අහනවා...
" දැන් අම්මේ මේ විදියට මේ ඇන්ටිලා එක එක අංකල්ලා එක්ක ගියාට පස්සේ මෙයාලට ළමයි එහෙමත් හම්බවෙනවා ඇතිනේ... එතකොට ඒ ළමයින්ට මොකද කරන්නේ..? එයාලා ලොකු උනාම මොනවද කරන්නේ..?"
" ආ... පුතා එහෙම උන් තමයි සමහර වෙලාවට ලොකු වෙලා ඇවිල්ලා මේ වගේ ත්‍රීවිල් එලවන ගමන් ඔයාලා වගේ පොඩි ළමයින්ගේ ඔළුව නරක් කරන්නේ..." කියලා පොඩ්ඩක් අර ත්‍රීවීල් කොල්ලත් එක්ක තිබුණු තරහ නැතිකර ගත්තා...
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...

Comments
Post a Comment