ඡායාරූපයේ කතාව...

ප්‍රවීණ බංග්ලාදේශ ඡායාරූප ශිල්පී GMB Akash...

අපේ විවාහයෙන් ටික කාලෙකට පස්සේ මගේ සැමියාට අපිට දරුවෙකු සිටිය යුතුයි කියලා ලොකු ඕනකමක් තිබුණා. ඔහුට ඒ ගැන ලොකු පිස්සුවක් තිබුණා. අපිට මොනවා තිබුණත්, නැතත් පවුලට දරුවෙක් සිටිය යුතුයි කියා ඔහු තරයේ කියා සිටියා. "අපේ දරුවා, අපි දෙන්නගේ ප්‍රේමයේ සංකේතයක් වනු ඇති බව" ඔහු නිතරම මට කියා සිටියා..!

මෙසේ ආදරයෙන් අපි සිටිනවිට මාස කිහිපයකින් පසු මම ගැබ් ගත්තා, අපි දෙන්නා ගොඩාක් සතුටු වුනා වගේම අපි අපේ පළමු දරුවා සඳහා සියළුම සැලසුම් සකස් කරමින් සිටියා..!

 මෙහෙම ඉඳලා මම මාස තුනක ගැබිනියක්ව ඉන්න කාළෙදි මගේ නැන්දම්මා මාව බලන්න අපේ ගෙදර ආවා. ඇය මාව දැකලා ගොඩාක් සතුටු වුනා. " දුවේ උඹ මට ලස්සන මුණුබුරෙක් දෙනවා නේද..? " කියා නැන්දම්මා මගෙන් ඇසුවා. ඒ වෙලාවේ අපි තුන්දෙනාම සතුටින් සිනාසුනා. මගේ මහත්තයා ඔහුගේ මවගේ අදහසට එකඟ වී සිනාසුණු අතර පසුව ඔවුන් දෙදෙනාම මාත් සමඟ එකතුවී අපේ පුතාට දැමීමට නමක් සෙවීමට පටන් ගත්තා..!

ටික වෙලාවකට පස්සේ මට යමක් තේරුම් ගියා. මීට පෙර ඔහු කවදාකවත් එහෙම දෙයක් ගැන හිතලා තිබුණේ නෑ. ඒ ගැන කිසිම උනන්දුවක් ඔහුට තිබුණෙත් නෑ..!  මම ටිකක් නොසන්සුන් වුනා, " මට ලැබෙන්න ඉන්නේ ගැහැණු දරුවෙකු නම් අපි කුමක් කළ යුතුද..?" කියලා මම ඔහුගෙන් විමසුවා. මගේ මහත්තයා ඒ පාර තවත් හයියෙන් හිනාවෙන්න පටන්ගත්තා. “ නෑ... එහෙම වෙන්න කොහොමත් බැහැ... ඔයාට ලැබෙන්න ඉන්නේ පිරිමි දරුවෙක්ම තමයි...” හිනාවෙන ගමන් ඔහු මට අවධාරණයෙන් කිව්වා..!

තවත් මාස කිහිපයක් මේ විදියට අපි සතුටින් සිටියා. පසුව රෝහලෙන් කරන ලද පරීක්ෂණ වළින් පසුව මට ලැබෙන්න ඉන්නේ ගැහැණු දරුවෙක් බව අපි දැනගත්තා. ඉන්පසු අපි දෙන්නා අතර අඩදබර ඇතිවෙන්න පටන්ගත්තා. ඔහු නිතරම ගබ්සාවක් කරගන්න කියලා මට බලපෑම් කළා... නැත්නම් ඔහු මාව දික්කසාද කරන බවට තර්ජනය කළා..!

මම දෙලොවක් අතර තනිවුනා... ලැබෙන්න ඉන්න මගේ ගැහැණු දරුවා හෝ මගේ සැමියා යන දෙදෙනාගෙන් කෙනෙක් මට තෝරාගත යුතුව තිබුණා..!  මම දිවා රෑ කල්පනා කළා අන්තිමට මම මගේ ඉපදීමට ඉන්න දරුවාව තෝරාගෙන ඔහුව දික්කසාද කිරීමට තීරණය කළා..! ඒක මම ගත්ත පහසු තීරණයක් නොවන බව මම දැනගත්තා... ඒත් මගේ හිතට එකඟව එදා මම හොඳ තීරණය ගත් බව මම අදත් පිළිගන්නවා..!

අපේ දික්කසාදයෙන් පස්සේ මම ආයෙත් විවාහ වෙන්න ගියේ නෑ. විවාහ වීම ඉතා වැදගත් දෙයක් කියලා මට කවදාවත් හිතුණේ නෑ... මම මගේ දියණිය වෙනුවෙන් අහළ පහළ මිනිස්සුන්ගේ ගෙවල්වල වැඩ කරලා කීයක් හරි හොයාගන්නවා. ඒ වගේම මම හැමදාම සතුටින් මගේ මාතෘත්වය භුක්ති විඳිනවා..!

හැම අම්මා කෙනෙක්ම තම දරුවන්ට කොන්දේසි විරහිතව ආදරය කළ යුතු බව මම නිතරම විශ්වාස කරනවා. ප්‍රසූත කාමරයේ මම මගේ දියණිය ලැබෙනතෙක් පැය 52 ක් පමණ වෙලාවක් වේදනාවෙන් පොරබදමින් සිටියා..!  මම දන්නවා ඒක දීර්ඝ පැය ගානක්. නමුත් මේ පැය ගණන් මොන විදියට අඩු වැඩි උනත් සියළුම දරුවන් අපේක්ෂිත මව්වරුන්ටත් මෙම වේදනාව එක විදියටම අත්විඳීමට සිදුවෙනවා.

ඕනෑම තරාතිරමක මවක් උනත් තම දරුවෙකු බේරා ගැනීමට තමා ඉදිරියට එන දුම්රියක් ඉදිරියට පනින්න දෙපාරක් හිතන්නේ නෑ... පනිනවා...

සමහරවිට මම ආත්මාර්ථකාමී මවක් කියලා ඔබ කියයි... මම ඔබ සමඟ ඒකට එකඟ වෙනවා.  ඔව්... මම ආත්මාර්ථකාමී මවක් තමයි...

 මම රෝජිනා...


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...