ඡායාරූපයක කතාව...
බංග්ලාදේශ ප්‍රවීණ ඡායාරූප ශිල්පී Gmb ආකාෂ්ගේ ඡායාරූපයේ කතාව...
මගේ නම රනා. මේ පැත්තේ උදවිය ඒ නමෙන් තමයි මට කතාකරන්නේ. මට දෙමාපියන් හෝ සහෝදර සහෝදරියන් නෑ. මගේ දෙමාපියන් ජීවතුන් අතර ඉන්නවාද නැද්ද කියලවත් මම දන්නේ නෑ. මම මේ රටේ, මේ නගරයේ, මේ වීදියේ, දැන් මේ ඉන්න තැන කොහොම හරි ජීවත්වෙනවා. විශේෂයක් තියෙන්නේ මම අනාථයෙක් නිසා, එහෙම කියලා මේ පැත්තේ මිනිස්සු හිතන නිසා ඔවුන් මට ආදරය කරනවා.
මගේ දෙමව්පියන් ජීවතුන් අතරද නැද්ද, නැත්නම් ඔවුන් මියගොස් ඇති බවට ඔවුන්ට සහතික විය හැක්කේ කෙසේදැයි මම ඔවුන්ගෙන් අසන හැම වෙලාවෙම ඔවුන් මට පිළිතුරු දෙන්නේ නෑ. ඒ ගැන අහනකොට සමහර වෙලාවට ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මගෙන් අහනවා මට බඩගිනීද.., යමක් කන්න අවශ්‍යද කියලා. මේ පැත්තේ මිනිස්සු හරිම හොඳයි හැම වෙලේම මට හොඳින් සළකනවා.
මම දැන් මේ කරන රැකියාව ලැබුණෙත් ඔවුන්ගේ මේ තියෙන හොඳ ගතිගුණ නිසයි. රැකියාවට ආපු පළමු දවසෙම මේ තැන අයිති මගේ සර් මගෙන් ඇහුවා මෙහේ නවතින්න පුළුවන්ද කියලා. මොකද මේ පළාතේ ජීවත්වෙන බොහෝමයක් පිරිමි ළමයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න නිසා තැන් තැන්වල, පාරවල්වල ජීවත් වෙන්න එපා කියලා ඔහු මට අවවාද කළා. මගේ මෙතෙක් ජීවිතයේ මට හමුවූ සියලුම මිනිසුන් ඉතාමත් ගුණ යහපත් අය. ඔවුන් හැම අවස්ථාවකම මට ආදරය කරනවා.
ඒවා කොහොම උනත් මට අමුතු ප්‍රශ්ණයක් තියෙනවා. මම නිතරම සිතනවා මගේ අම්මා මාත් එක්ක ඉන්නවා නම් ඇය මට කුමක් කියයිද කියලා. මගේ තාත්තා මාත් එක්ක හිටියොත් එයා මට මොනවා කියයිද කියලා. මට ඕනෑම වේලාවක යා හැකි මා ඉපදුණු ගමක්, අපේම කියලා ගෙයක් තිබුණා නම් කොච්චර හොඳයිද. හැම වෙලාවේම මම, මගෙන් අහනවා මගේ දෙමව්පියන් තවමත් ජීවතුන් අතරද කියලා. නැත්නම් ඔවුන්ට මාව අමතක වෙලා වත්ද කියලා. මම දැනට මගෙත් එක්ක ඉන්න කිසිම යාළුවෙකුට මේ දේවල් කවදාවත් කියලා නෑ. ඔවුන් සියළුදෙනා මගෙත් එක්ක එක පවුලක් වගේ ජීවත්වෙමින් මට ආදරය කරන නිසා මේ ගැන ඔවුන්ට කිව්වොත් ඒක මම එයාලට කරන නරකක් වෙන්නත් පුළුවන්.
මීට මාසයකට විතර කළින් මගේ හොඳම යාළුවා එයාගේ ගමට ගිහින් එන්න ගියා. යන්න කළින් ඔහුගේ ගෙදර කට්ටියට බඩු ගන්න ඔහුත් සමඟ මමත් වෙළඳපොළට ගියා. එයා එයාගේ පවුලේ කට්ටිය වෙනුවෙන් ගොඩාක් දේවල් මිලදී ගත්තා. ඔහුට බඩු තෝරා ගන්න මමත් උදව් කළා.
එදා ඒ බඩු තෝරන වෙලාවේ දැකපු සාරියට මම ගොඩක් කැමතියි. මට ඒක මගේ අම්මා වෙනුවෙන් මිලදී ගන්න අවශ්‍ය උනා. ඒ සාරිය මිළදී ගත්තත් දීමට කෙනෙක් නොමැති බවත් ඒ නිසා නිකරුණේ සල්ලි නාස්ති නොකරන ලෙසත් මගේ යාළුවා මට මතක්කර දුන්නා. අපි ආපසු අපේ නවාතැනට ඇවිත් ඔහු මිළදී ගත් සියළු දේවල් ඇසුරුම් කළා. මිළදී ගත් බඩු වලින් ඔහුගේ බෑගය පිරී ඉතිරී ගියා.
යාළුවා ගමට ගියාට පස්සේ මට දවස් කීපයක් තනිවම නවාතැනට වෙලා ඉන්න සිද්ධවුනා. එක දවසක් මම ඒ කඩේට ආපහු ගිහින් මගේ හිත ගිය ඒ සාරිය සල්ලි දීලා අරන් මගේ ඇඳුම් එක්ක තියාගත්තා. මගේ එක සතියක ආදායම ඒ සාරිය වෙනුවෙන් වියදම් කළේ ඇයි කියලා තවමත් මට හිතාගන්න බෑ. ඒත් මම හැමදාම මගේ බෑගය ඇරලා ඒ සාරිය අතගානකොට හැම වෙලාවේම මගේ අම්මා මගේ ළගින් ඉන්නවා වගේ දැනෙනවා. මට මගේ අම්මා නැතුව හරිම පාලුයි. මට දැනෙනවා, මම හිතනවා ඇය කොහේ හරි ජීවතුන් අතර ඉන්නවා කියලා.
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...

Comments
Post a Comment