කරුමක්කාර දවස...

දවසක් මනුස්සයෙක් බාර් එකකට වෙලා අරක්කු වීදුරුවක් අතේ තියාගෙන දුකෙන් කල්පනා කරමින් ඉන්නවා. බාර් එකට බොන්න ආපු තවත් මනුස්සයෙක් මෙයාව දකිනවා. ඒ මනුස්සයත් බොන ගමන් අර මනුස්සයා දිහා බලාගෙන ඉන්නවා. දැන් පැය භාගයක් විතර අර මනුස්සයා අරක්කු වීදුරුව අතේ තියාගෙන ඒක දිහා බලාගෙන ඔහේ ඉන්නවා. 

දැන් අර මනුස්සයා දිහා බලාගෙන හිටිය මනුස්සයට මේක හරිම ප්‍රශ්ණයක්. මිනිහා හිටපු තැනින් හිමිහිට නැගිටලා මේ මනුස්සයා ඉන්න තැනට එනවා. ළගට ආපු ගමන්ම එකපාරම අර මනුස්සයගේ අතේ තිබුණ අරක්කු වීදුරුව උදුරලා ගන්නවා. ඒ අරගෙන එක හුස්මට බීගෙන බීගෙන යනවා.

එතකොටම අර මනුස්සයා අඩන්න පටන් ගන්නවා. මේ මිනිහට ඒ මනුස්සයා ගැන දුක හිතෙනවා. 

" ඇයි තමුසේ අඩන්නේ... මම තමුසේ දිහා පැය භාගයක් විතර තිස්සේ බලාගෙන හිටියා. තමුසේ වීදුරුව අතේ තියාගෙන බොන්නේ නැතුව හිටිය නිසයි මම ඒක තමුසෙගෙන් උදුරලා අරන් බිව්වේ... හරි... හරි... තමුසේ දුක් වෙන්න ඕනි නෑ... මම බෝතලයක් ගන්නම් අපි දෙන්නම එකතුවෙලා ඒක බොමුකෝ..." කියලා වේටර් කොළුවට කතා කරලා බෝතලයකුයි, බයිට් පිගානකුයි ඕඩර් කරනවා. ඊට පස්සේ ඒ මිනිහත් අර මනුස්සයත් එක්ක ඒ මේසෙම ඉඳගන්නවා.

" හරි... දැන් මට කියනවා ඇයි තමුසේ ඔය විදියට අඬන්නේ..? ඇයි මෙච්චර වෙලාවක් බොන්නේ නැතුව ඒ විදියට වීදුරුව අතේ තියාගෙන කල්පනා කර කර හිටියේ..."

අත් දෙකෙන්ම කදුළු පිහදාගත්ත ඒ මනුස්සයා කතා කරන්න පටන් ගන්නවා.

" මේ දවස්වල මම හරිම කරදර ගොඩක් මැද ජීවත් වෙන්නේ ඕයි... මේ දවස් ටිකේම මම ගෙදර තියෙන එක එක ප්‍රශ්ණ නිසා පරක්කු වෙලා තමයි වැඩට ගියේ... අදත් වැඩට ගියේ පරක්කු වෙලා... අද වැඩට යනකොට මාව රස්සාවෙන් අස් කරලා... ඒ දුකෙන් ඇවිල්ලා ගෙදර යන්න බලනකොට ෆිනෑන්ස් ගෙවලා නැති නිසා මගේ මෝටර් බයිසිකලේ උන් ඇවිල්ලා උස්සගෙන ගිහිල්ලා... පොලීසියට ගිහිල්ලා කිව්වම ඒකට එයාලට කරන්න දෙයක් නෑ කිව්වා... ඊට පස්සේ ගෙදර යන්න බස් එකේ නැගලා හංදියෙන් බැහැලා බලනකොට මගේ පර්ස් එකට කවුද විදලා... හංදියේ ඉදලා කිලෝමීටර් දෙකක් විතර පයින්ම ගෙදර ඇවිල්ලා බලනකොට ගෙදර ගෑණී අල්ලපු ගෙදර මනුස්සයත් එක්ක ඉන්නවා අතටම අහුවුනා... කරන්නම දෙයක් නැති තැන ගෙදර හංගලා තිබ්බ සල්ලි ටිකත් අරගෙන ආපහු පයින්ම මේ බාර් එකට ආවා. එනගමන් ගත්ත වහ කුප්පිය අරක්කු වීදුරුවට දාලා ඒක බොනවද නැද්ද කිය කිය කල්පනා කර කර ඉන්නකොට තමුසේ ඇවිල්ලා ඒක උදුරගෙන බිව්වා..." 

" අද මහ කරුම දවසක් ඕයි..." කියලා ආයෙත් අඩන්න පටන් ගත්තා...


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...