එතකොට මම සියඹලා ගෙනල්ලම නැද්ද...?
ගමක හිටියා දුප්පත් මනුස්සයෙක්. මිනිහගේ ජීවිකාව උනේ කැලේ ගස්වල ඉදිලා තියෙන සියඹලා එකතු කරලා ගෙනල්ලා ගෝනි වලට පුරවලා ගමේ කඩේට විකුණන එක.
ඉතිං සියඹලා වාරෙට සෑහෙන සියඹලා ගෝනි ගානක් මිනිහා ගමේ කඩේට විකුණනවා.
ඒත් මුදලාලි කට්ටයා... අර මනුස්සයා ගෙනෙන ගෝනි මුදලාලි එකින් එක කිරනවා. ඊට පස්සේ ඒ එක් එක් ගෝනියකින් කිලෝ දෙකක් විතර ඒ ගෝනියේ බරට කියලා හැම ගෝනියකින්ම අඩු කරනවා. අර මනුස්සයත් ඉතිං සද්ද නැතිව මුදලාලිට එකඟ වෙලා සියඹලා ටික දීලා සල්ලි අරගෙන යනවා. සියඹලා යහමින් තියෙන කාලෙට මනුස්සයට ඒ ගැන ගානක් නැති උනත්, සියඹලා හිඟ කාලෙට මේක හරි අසාධාරණයක් බව මේ මනුස්සයට තේරුණත්, කට වහගෙන ඉන්නේ සියඹලා ටික විකුණ ගන්න ගමේ වෙන තැනක් නැති හින්දයි.
ඔන්න දවසක් මේ මනුස්සයා ඇවිදලා, ඇවිදලා අමාරුවෙන් සියඹලා ටිකක් ඇහිඳ ගෙන ගෝනියක දාගෙන කඩේට අරගෙන ආවා...
මුදලාලි සියඹලා ටික කිරුවා... කිරපු ගෝනිය කඩේ ඇතුලෙන් ගිහින් තිබ්බා...
දැන් අර මනුස්සයට සල්ලි දෙන පාටක් නෑ... මනුස්සයා සල්ලි දෙනකම් බලාගෙන ඉන්නවා...
මුදලාලිට ගානක්වත් නෑ... මුදලාලි වෙන වැඩක...
බැරිම තැන අර මනුස්සයා මුදලාලිගෙන් සල්ලි ඉල්ලනවා...
මුදලාලි මගේ සියඹලා වල සල්ලි..?
උඹ අද හරි පොඩ්ඩයිනේ ගෙනත් තියෙන්නේ...
ඒක තමයි මුදලාලි දැන් අවාරෙනේ... ඇවිදලා ඇවිදලා අමාරුවෙන් ඔය ටික තමයි හොයා ගන්න පුළුවන් උනේ... කොච්චර තිබ්බද මුදලාලි..?
කිලෝ දෙකයි...
කමක් නෑ මුදලාලි ඒ කිලෝ දෙකේ සල්ලි දෙන්නකෝ...
මොන සල්ලිද..? ඒවා ඔක්කොම හරි...
ඒ කිව්වේ මුදලාලි..?
ඒ කිව්වේ... කිලෝ දෙකයි තිබ්බේ... ඒ කිලෝ දෙක මම ගෝනියේ බරට අඩු කලා... උඹට අද සල්ලි නෑ...
ඈ... ඒ කියන්නේ මුදලාලි...
මම අද සියඹලා ගෙනල්ලම නැද්ද...????
අර මනුස්සයට දෙලෝ රත්වුනා...
"එතකොට මම සියඹලා ගෙනල්ලම නැද්ද..." කියන මේක මම හිතන විදියට ගොඩක් අය ගොඩක් තැන්වල උපමාවට ගන්නව. ඒත් වැඩි දෙනෙක් කතාව දන්නෙ නෑ...

Comments
Post a Comment