ඇගේ කථාව...
“ මගේ නම කිරන් ඩෙබ්ලා(Kira Dembla) විවාහයෙන් පස්සේ මගේ ජීවිතේ ගෙදර බිත්ති හතරට පමණක් සීමා උනා. හැම දවසකම උදේ පාන්දරින් නැගිටලා, මම මගේ පවුලේ අය වෙනුවෙන් ගෙවල් දොරවල් පිරිසිදු කර උයන්න පටන්ගන්නවා. මේ විදියට ඒකාකාරීව අවුරුදු 10 ක් ගෙවිලා ගියත් මේ හැම දවසකම මට දැණුනේ මම ආසා කරන, මම ආදරය කරන කිසිම දෙයක් මම නොකරන බවයි. මෙහෙම ඉන්න අතරේ මට සංගීතයත් ටිකක් පුළුවන් නිසා මම තීරණය කළා ගෙදර මගේ ළමයින්ට සංගීත පන්ති කෙරුවොත් හොඳයි කියලා. එහෙම කළත් මම කළාතුරකින් තමයි යන්තම්වත් ගෙදරින් එළියටවත් ගියේ. මෙහෙම ඉන්නකොට බලාගෙන ඉදිද්දිම මගේ සෞඛ්‍ය තත්වය පිරිහී යන්න පටන්ගත්තා. මම කොච්චර කම්මැලිද මගේ ශරීරය කොච්චර අක්‍රිය වෙලා, තරවෙලාද කියනවා නම් මගේ බර කිලෝග්‍රෑම් 25 කින් විතර වැඩිවුනා.
බලාගෙන ඉන්න බැරිම තැන මම ව්‍යායාම් කරන්න හිතාගෙන ජිම් එකකට සම්බන්ධ උනා. ඒකෙන් බොහෝ කලකට පස්සේ මට මගේ සිතට සතුටක් දැනුනා..! මම හැම දවසකම පාන්දර 5 ට ජිම් එකට යන්න පටන් ගත්තා. ඒ වෙලාවට ගියාම ඉක්මනට ආපහු ගෙදර ඇවිල්ලා මගේ ළමයි ඉස්කෝලෙට යවන්න සුදානම් කරන්න ලේසියි. මගේ කැපවීම නිසා ඊළඟ මාස 7 වෙනකොට මට මගේ ඇඟේ බරින් කිලෝග්‍රෑම් 24 ක් අඩුකරගන්න පුළුවන් උනා.
ටික කාළයක් ගියාට පස්සේ, මම මගේ සැමියට කිව්වා මට මගේම කියලා ජිම් එකක් විවෘත කරන්න ඕන කියලා. ඒ නිසා අපි තට්ටු නිවාසයක් කුලියට අරගෙන ඒක කුඩා ජිම් එකක් බවට පත් කර ගත්තා. ජිම් එක සම්පූර්ණ කරගන්න මම මගේ ස්වර්ණාභරණ විකුණුවා, බැංකු ණයක් ගත්තා. ඊට පස්සේ ජිම් එක පටන් අරගෙන පළමු මාස 4 වෙනකොට අපේ අසල්වැසියන් සියලු දෙනාම අපි ගැන වගේම අපේ ජිම් එක ගැනත් දැනගත්තා.
ටික කාළෙකින් අපිට අපේ ජිම් එක තව ටිකක් පුළුල් කළ යුතු බව තේරුණා, අපි ඒ සඳහා විශාල ඉඩක් සහිත බිල්ඩිමක් වෙනුවෙන් හොඳ ආයෝජනයක් කළා. මේ විදියට කරගෙන යනකොට මට, මගේ ශරීරයට එදිනෙදා සුවයක් දැනුණා. ඉන් පස්සේ ගැහැණියෙක් උනත් කොහොමහරි මට six pack එකක් හදාගන්න ඕනි කියන පිස්සුවක් තිබුණා. මම මගේ අළුත් ඉලක්කය වෙනුවෙන් වෙහෙස මහන්සිවෙලා වැඩ කළා. මහන්සියේ ප්‍රථිපල මට ලැබුණා. මාස 8 ක් ඇතුළත මට මගේ සිහිනය වන six pack එකයි, මාංශ පේශිනුයි හොඳින් වර්ධනය කරගන්න පුළුවන් උනා..!
මේ වෙනකොට මම මටම කියලා අලුතින් මගේ විශ්වාසයක් ගොඩනගාගෙන තිබුණා. එක දවසක් ත්‍රිරෝද රථයක් ඇවිත් මගේ මෝටර් රථය හප්පා දැමුවා. ඒ වෙලාවේ මම සාරියකින් සැරසීලා හිටිය නිසා මුලින්ම මම කිසිම දෙයක් නොකියා හිටියා, මම සද්දේ නැතුව ඉන්නකොට ඒ මිනිහා මට බනින්නත්, සමච්චල් කරන්නත් පටන් ගත්තා. ඉවසගෙන ඉන්න බැරිම තැන මම මගේ මෝටර් රථයෙන් බැහැලා යනකොට මිනිහා මගේ ඇඟ දැකලා බය උනා. මම ගිය ගමන්ම මිනිහගේ කම්මුලට පාරක් ගහලා මීට පස්සේ කිසිම දවසක ගෑණියෙකුට ඔහොම සමච්චල් කරන්න එපා කිව්වා. මිනිහා හොඳටම බය උනා.
මේ සිද්ධිය මේ පළාතේ මාධ්‍ය පවා වාර්ථා කර තිබුණා. ඊට පස්සේ මට පොඩි ප්‍රසිද්ධියක් ලැබුණා. මාධ්‍ය ආයතන ඡායාරූප රූගත කිරීම් සඳහා මා හා සම්බන්ධ වීමට පටන් ගත්තා. ඊට පස්සේ මාව දැනගත්ත ඉන්දියානු කාය වර්ධන සම්මේලනය මට කාය වර්ධන ලෝක ශූරතාවලියට ඇතුළත් වෙන්න කියලා ආරාධනා කළා. ඒ ආරාධනාව මට විශ්වාස කරන්නත් අමාරු උනා..! කොහොමහරි මම ඒ සඳහා මගේ පුහුණුවීම් ආරම්භ කළා.
නමුත් ලෝක ශූරතාවයට දින 15 ක් විතර තියෙද්දී මගේ සැමියගේ පියා මියගියා. ඉතින් අපිට ඒ කාළයේදී ඔවුන්ගේ නිවසේ ගතකරන්න උනා. ඒ ගෙදර සිටියදී යන එන මිනිස්සුන්ට නොපෙනෙන්න මම මගේ ඇඟ වහගෙන සම්පූර්ණයෙන්ම වෙස්වළාගෙන වගේ ඉන්න උනා. මගේ ඇඟ සම්පූර්ණයෙන්ම වහගන්න මට සල්වාර් එකක් ඇඳගෙන ඉන්න සිද්ධවුනා. ඒ දවස් ටිකේ මට මගේ පුහුණුවීම් කරගෙන යන්න වෙලාවක් නොතිබූණා වගේම කෑම වේල පාළනය කරගන්නත් දුෂ්කර උනා. ඒ ගෙදර මස් මාංශ කන්න අවසරයක් තිබුණේ නෑ. ඉතින් අඩුමගානේ බිත්තරයක්වත් තම්බා ගන්න උදව්වක් ගන්න කෙනෙක් හොයා ගන්න මම සෑහෙන්න මහන්සි උනා. මගේ බෑණා කෙනෙක් බොහෝම අමාරුවෙන් මාව එළියට අරගෙන ජිම් එකට යන්න මට උදව් කළා.
අපි බොහෝම අමාරුවෙන් සතියක් පමණ එම නිවසේ නැවතී සිටියා. පස්සේ මම මගේ නැන්දම්මාට කිව්වා මට මගේ ළමයින් බලාගන්න ආපසු මගේ ගෙදර යන්න ඕනි කියලා. මම මට තියෙන තරඟය ගැන ඇයට කියන්න ගියේ නැත්තේ ඒක ඇහුවොත් ඇය දුකට පත්වන බව මා දන්නා නිසයි. කොහොමහරි ඉතිරි දිනවල මහන්සියෙන් පුහුණුවීම් කරලා තරඟය තිබුණු බුඩාපෙස්ට් වලටත් ගිහිල්ලා තරඟ කරලා එයින් 6 වන ස්ථානය දිනා ගන්න මට පුළුවන් උනා.
ඊට පස්සේ මම කඳු නැගීම විනෝදාංශයක් විදියට කරගෙන ගියා. ඒ වගේම මම සංගීතය ගැන තියෙන දැඩි ආශාව නිසා DJ කරන්න ඉගෙන ගත්තා. ඒත් එක්කම ඡායාරූපකරණ පාඨමාලාවක්ද හැදෑරුවා.
ඒ හැම දෙයක්ම හරිම සරළයි... මම ආස කරන මම ආදරය කරන හැම දෙයක්ම මම දැන් කරනවා. ඉතින් මම වෙන අයට වඩා ටිකක් පසුව තමයි මේ දේවල් කරන්න පටන් ගත්තේ. ඒ කියන්නේ මම මේවා කරන්න පටන්ගත්තේ මට වයස අවුරුදු 45 දී, බලන්න දැන් මම හොඳ පුහුණුකරුවෙක්, DJ කෙනෙක්, කඳු නගින්නියක් සහ ඡායාරූප ශිල්පිනියක්. ඊටත් වඩා වඩාත්ම වැදගත් දෙය නම්, මේ තමයි මගේ ප්‍රීතිමත්ම කාලය.
ඔබ සිටින්නේ අපායක උනත් ඔබ, ඔබව සතුටු කරන පුළුවන් ඕනෑම දෙයක් කොහොමහරි කරන්න උත්සහ කරන්න..! ඒක තමයි ඇත්තෙන්ම ගැහැණියක් විදියට මට ඔබට දිය හැකි හොඳම උපදේශය...”
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...

Comments
Post a Comment