ජොබ් එක...

දවසක් අවුරුදු 10-15 විතර කොළු ගැටයෙක් නගරයේ තියෙන කඩේකට එනවා. කඩේ අයිනක තියෙනවා මුදල් ගෙවා ඇමතුම් ගන්න ටෙලිෆෝන් එකක්. මේ කොල්ලා කෙළින්ම එතනට ගිහිල්ලා කෝල් එකක් ගන්න හදනවා. කෝල් එකක් ගන්න රිසීවරය අතට ගන්න කොල්ලා පොඩ්ඩක් උස මදි වෙනවා. කොල්ලා ගිහිල්ලා මුදලාලිගෙන් පොඩි ලී පෙට්ටියක් ඉල්ලගෙන ඒක එතන තියලා ඒකට නැගලා කෝල් එක ගන්නවා. ඒ වෙලාවේ කඩේ සෙනඟ නැති නිසා මේ කොල්ලා කාටද කෝල් එක ගන්නේ කියලා මුදලාලියා පොඩ්ඩක් විපරමෙන් ඉන්නවා...

කොල්ලා ගත්ත ඇමතුම එහා පැත්තෙන් සම්බන්ධ වෙලා කොල්ලා කතා කරන්න පටන් ගන්නවා...

" හලෝ... නෝනා මම මේ රස්සාවක් හොයන කෙනෙක්... මට හොඳට තණකොළ කපලා, ගස්වල අතු කපලා, ගස් වලට වතුර දාලා හොඳට වත්ත සුද්ධ කරලා දෙන්න පුළුවන්... මට ආරංචියක් ආවා නෝනාගේ ගෙදර ඒ වැඩේ කරන්න කෙනෙක් හොයනවා කියලා... ඒකයි කතා කළේ..."

" ආ... ඔව්... ඒ වැඩේ නම් කරන්න තියෙනවා... ඒත් ඒක කරන්න කෙනෙක් ඉන්නවා..."

" අනේ නෝනා... ඒ වැඩේ මට දෙන්න... මම හොඳට වැඩේ කරලා දෙන්නම්..."

" ඒකට එක්කෙනෙක් ඉන්නවනේ... එයා හොඳට වැඩේ කරනවා... එයා හෙට ඇවිල්ලා වැඩේ කරන්න පොරොන්දු උනා..."

මේ කොල්ලත් ඉතිං වැඩේ අත අරින්නේ නෑ... කොහොමහරි වැඩේ ගන්න තමයි කතාව...

" අනේ නෝනා... මම එයාටත් වඩා වැඩේ හොඳින්ම කරලා දෙන්නම්... එයා ගන්න ගානට වඩා භාගයක් අඩුවෙන් මට ගෙවන්න... මම හොඳින් කරලා දෙන්නම්..."

" එහෙම කරන්න බෑනේ... දැන් එයා වැඩේ කරන්න පොරොන්දු වෙලා ඉන්නේ... අනික එයාට හැමදේම එකින් එක කියන්න ඕනිත් නෑ... හැමදේම හොඳට හොයලා බලලා... ලස්සනට පිළිවෙලකට සාධාරණ ගානකට එයා ඒක කරනවා... අනික එයා හැමදාම කරන වැඩේනේ..."

" අනේ නෝනා... මේ සැරේ ඒක කරන්න මට බාර දෙන්න... නෝනා දෙන ගානට ගෙදර තියෙන අමතර වැඩත් මම කරලා දෙන්නම්... ගෙදරට එන පාරත් සුද්ද කරලා දෙන්නම්..."

" අනේ එපා... එයා තමයි ඒ වැඩේ හොඳටම කරන්නේ... ඒක එයා කරයි... වෙන වැඩක් තිබුණොත් මම කියන්නම් මට ඔයාගේ ටෙලිෆෝන් නොම්මරය දීලා තියන්න..."

" හොඳයි නෝනා මම වෙන දවසක කතා කරන්නම්..." කියලා කොල්ලා ෆෝන් එක විසන්ධි කරනවා...

ජොබ් එක හරි ගියේ නැති උනත් කොල්ලා සතුටින් ඉන්න බව කතාව අහගෙන හිටපු මුදලාලිට තේරුණා... මුදලාලිට මේක ප්‍රශ්ණයක් උනා... ජොබ් එකක් ඉල්ලන්න කතා කරලා ඒක ලැබුණේ නැති උනත් මේ කොල්ලා ඉන්නේ සතුටෙන් හිනාවෙලා. පොඩ්ඩක් මේ ගැන කතාකරලා බලන්න ඕනි කියලා මුදලාලි හිතුවා...

කොල්ලා කෝල් එකේ සල්ලිගෙවන්න සිනාමුසු මුහුණින් මුදලාලි ගාවට ආවා...

" මම අහගෙන හිටියේ ළමයෝ... ජොබ් එක සෙට් උනේ නෑ නේද..?"

" නෑ... මුදලාලි... ඒ වැඩේ කරන්න කෙනෙක් ඉන්නවලු... කොල්ලා සතුටින් හිනාවෙලා කිව්වා..."

" මට උඹ ගැන දුකයි කොල්ලෝ... මම උඹට ජොබ් එකක් දෙන්නම්... උඹ කැමතිනම් හෙට ඉදන් ඇවිල්ලා මේ කඩේ වැඩ කරන්න උඹට පුළුවන්..."

" අනේ බොහෝම ස්තූතියි මුදලාලි... මට ජොබ් එකක් දෙන්න හිතුවට ගොඩාක් ස්තූතියි... ඒත් මට ජොබ් එකක් එපා... මම දන්නේ ඔය ගස්වල අතු කපන, තණකොල කපලා වතුපිටි සුද්ද කරන වැඩේ විතරයි... ඒ වැඩේ මම අය කරන ගානට මගේ හිතට එකඟව ඉතාමත් හොඳින් කරන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා... ඔය මම දැන් කතා කරපු නෝනගේ ගෙදර වත්ත ඉස්සර ඉදන්ම සුද්ද පවිත්‍ර කරන්නේ මම... මට දැනගන්න ඕනිවුනා මම කරන සේවයට එයාලා කැමතිද නැද්ද කියලා දැනගන්න... එයාලගෙන් ගන්න මුදලට මගෙන් එයාලට හරි සේවයක් වෙනවද කියලා දැනගන්න... ඒකයි මම ඒ නෝනට එහෙම කෝල් කළේ... ස්තූතියි මුදලාලි... මට හරි සතුටුයි... ඒ නෝනා මගේ වැඩ ගැන ගොඩාක් හොඳ කිව්වා... හෙට උදෙන්ම ගිහිල්ලා ඒ නෝනගේ වැඩ ටික හොඳට කරන්න ඕනි..." කියලා මුදලාලිට කෝල් එකේ සල්ලියි ඉල්ලගත්ත පෙට්ටියයි දීලා කොල්ලා සතුටින් යන්න ගියා...


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...