කොරෝනා කාලේ Online...

පන්තිභාර ගුරුවරයා ඔන්ලයින් පන්තියකදි ළමයෙකුට කියනවා කොරෝනා ගැන රචනාවක් ලියලා සබ්මිට් කරන්න කියලා... 

පොඩි එකා මෙන්න මේ විදියට තමයි රචනාව ලියලා තියෙන්නේ...

කොරෝනා කියන්නේ අපිට අලුතින්ම ලැබුණු ලොකු උත්සවයක්. එම උත්සවය අපේ රටේ නිදහස් උත්සවයෙන් පසුව එක පාරටම පැමිණි අතර දින ගණනාවක් සමහරවිට මාස ගණනාවක් එක දිගටම පැවතුණේය. මේ උත්සවය ඇතුලේ ම අලුත් අවුරුදු උත්සවයත්, වෙසක් සහ පොසොන් යන උත්සවත් ගෙදර සිටම සැමරීමට ලැබීම අපට ලැබුණු තවත් හොඳ අවස්ථාවකි. ඉතා මෑතක් වනතුරුම මම සහ අප පවුලේ සැවොම එය සමරමින් සිටියෙමු...

 මෙම උත්සවය පටන්ගත් දා සිට අවසන් වනතුරුම කෑම විශාල ප්‍රමාණයක් සෑදුවේය. Youtube තුළ තිබෙන සෑම ආහාරයක්ම සෑදීමට මේ කාළය තුළ අම්මා සහ අක්කා වැඩි උනන්දුවක් දැක්වීය. ඒවා හොඳ හෝ නරක වුවත් ඒ සියල්ල තාත්තා සහ මම අනුභව කළ යුතුව තිබුණි. නිතර නිතර හැදෙන මෙවන් ආහාර අකමැත්තෙන් හෝ ගිල දැමීම ඒ දිනවල අප දෙදෙනාගේ ප්‍රධාන රාජකාරිය වී තිබුණි... 

වෙන උත්සව මෙන් නොව මේ උත්සවය පවතින දිනවල අප සියල්ලෝම නිවසට වී එකට වාසය කරමින් සිටියෙමු. අපගේ පාසැල තවමත් මාස ගණනක් වසා ඇත. අපට තිබුණු සියළුම විභාගයන්ද අවලංගු කර ඇත. සාප්පු, කාර්‍යාල සියල්ලම වසා තිබුණි... 

අම්මා විසින් කෑම සාදා ඒවා ෆොටෝස් ගසා Facebook දැමීම මේ උත්සව කාළයේ ඇය අතින් සිදුවන ප්‍රධාන චාරිත්‍රයකි. ඒ වගේම කවදාවත් තාලයකට අත්පුඩියක්වත් නොගැසූ අක්කා විසින් ගීත ගායනා කර Youtube upload කිරීමද tictock videos Instagram upload කිරීමද මෙහි එන තවත් විශේෂ චාරිත්‍රයකි... 

කොරෝනා මංගල්‍යය සමරණු ලබන්නේ මුහුණු ආවරණය පැළඳගෙන අසල්වැසියන්ට දුර සිට දෙඅත් එකතුකර ආයුබෝවන් කීමෙනි. එමෙන්ම මේ කාළය තුළ කොරෝනා, Covid19, කොරන්ටයින්, නිරෝධායනය, මීටරය පරතරය, මාස්ක්, මුඛ ආවරණ, CPR පරීක්ෂණ, කන්දකාඩු යන අලුත් වචන නිතර අසන්නට ලැබුණි. මේ උත්සව කාළය පුරාවටම තාත්තා විසින් ඉතා වටිනා ඇදුම් ගෙදරට ඇඳගෙන නිතරම පිඟන් කෝප්ප සේදීම, ගෙදර අතුගෑම, ගෙවතු වගාව, රූපවාහිනිය නැරඹීම අදියෙහි නිරතවී සිටියේය. ඉදහිට Keep Fit with ආර්නෝල්ඩ් කියා Youtube චැනලයේ ඇති online Excercise ටිකක් කර ගෙදර බල්ලාට වඩා හති දමමින් සිටියේය... 

ඒ අතර අම්මා සහ අක්කා නිතරම විටින් විට ඔවුන්ගේ දුරකථනයන් පරීක්ෂා කිරීමද, ගෙදර තොරතුරු, අසල්වැසියන්ගේ සහ නෑදෑයින්ගේ ඕපාදූප ගැන කතාකරමින් නිරන්තරයෙන් එකිනෙකා අතර දුරස්ථව සම්බන්ඳතා ඇතිකර ගැනීමද මෙම උත්සව කාළයේ පැවතුණු තවත් එක් චාරිත්‍රයකි... 

මට පැවරී තිබුණේ චූං පාන් කාරයා පසුපස දිවීම, තාත්තාගේ ගෙවතු වගාවට අත් උදව් දීම හා උදේ සවස ඒවාට වතුර දැමීම, ජංගම රථ ගැන අවධානයෙන් සිට ඒවායේ විකිණීමට ඇති දෑ ගැන අම්මාව දැණුවත් කිරීම හා ඔවුන් විටින් විට සාදා දෙන දේ කා වෙන දේ බලා සිටීම වැනි සරළ ක්‍රියාකාරකම් කිහිපයකි... මේ හේතූන් නිසා අනෙකුත් උත්සව වලට වඩා මම බෙහෙවින් කොරෝනා උත්සවයට ඇළුම් කරමි...

- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...