අල කොළ ගලවන මැෂිම...
ළගකදී Narada Bakmeewewa Radio Program එකක අල කොළ ගලවන මැෂිමක සිදුවීමක් ගැන පරණ මතක් කිරීමක් කළා. ඒ Radio Program එකේ Youtube video clip එකත් බුකියේ එහා මෙහා සැරිසරනවා දැක්කා. කොහොම උනත් ටික දවසකට පස්සේ ඒ පරණ කතාවත් හොයාගන්න පුළුවන් උනා. අපේ පුද්ගලික අත්දැකීමක් උනත් මේක පොඩි රසවත් කතාවක්... කියවලාම බලන්නකෝ...
YATV ආයතනයේ හිටපු තරුණයන් අතර හිටපු, වැඩිමහල්ම තරුණයා තමයි රත්නේ අයියා කියලා කියන්නේ... කොල්ලෝ, කෙල්ලෝ එක්ක විහිළුවක් තහළුවක් කරගෙන තමන්ගේ පාඩුවේ, ආණ්ඩුවේ පරණ හිතවත් ලොක්කන්ට ඉදලා හිටලා නෙවෙයි හැම වෙලාවෙම කෝල් කරලා දුක සැප අහන, තනිකරම කවි වලින්ම පමණක් මිහිසර,මිහිමඩල වැනි පරිසර වැඩසටහන් නිෂ්පාදනය කළ ලෝකයේ ළාබාලතම වැඩිහිටියා රත්නේ අයියා කව්වොත් වැරදි නෑ...
රජයේ මාධ්‍ය ආයතනයක පරණ ලොක්කෙක් වෙලා හිටිය රත්නේ අයියා හොඳ කවියෙක්, ගීත රචකයෙක්, පුවත්පත් කලාවේදියෙක්, ටෙලිනාට්‍ය හා වාර්ථා වැඩසටහන් අධ්‍යක්ෂ වරයෙක් වගේම රාජ්‍ය පරිපාලනයේ ප්‍රවීණයෙක්. ඒ නිසාම රට පුරාම රාජ්‍ය ආයතනවල සෑහෙන හිතවතුන් පිරිසක් ඔහුට හිටියා... රත්නේ අයියාගේ ප්‍රධානම විනෝදාංශය තමයි වැඩක් නැති වෙලාවට නෙවෙයි නිතරම හැම පරණ යාළුවෙකුටම කෝල් එකක් දීලා එයාලගේ දුක සැප අහන එක... කොච්චර Phone Addicted ද කියනවා නං රත්නේ අයියට හැම පරණ යාළුවෙක්ගෙම Telephone Numbers කට පාඩම් වෙලා තිබුණා...
පොඩිපහේ නිවාඩුවක් ලැබුණු වෙලාවට පොඩ්ඩක් කල්පනා කර කර ඉන්න රත්නේ අයියා... හිටපු ගමං ලොකු හදිසියකින් වගේ, මතකයට එන නොම්මරයක් ඩයල් කරනවා...
" ආ... මචං... කොහොමද..? විවේකයෙන්ද ඉන්නේ..? නෑ...නෑ... මම මේ වෙලාවේ පොඩ්ඩක් free එකේ ඉන්නේ... ඒකයි ගත්තේ... Busy ද... Busy ද..? පේනවා... පේනවා... Busy කියලා පේනවා... මම නිකං කථා කලේ...Busy ද බලන්න... එහෙනං මම තියන්නං..." කියලා Phone එක තියනවා...
ඊට පස්සේ රත්නේ අයියට එහා පැත්තේ බැරිවෙලාවත් කවුරු හරි හිටියොත් අර කථා කරපු මනුස්සයාගේ වත ගොත සමඟ සම්පුර්ණ තොරණේ විස්තරේ එතන ඉන්න කෙනාට කියනවා... ඌ ඉතිං මොන වැඩේ කර කර හිටියත් ඒක නවත්තලා රත්නේ අයියගේ ඒ තොරණේ විස්තරේ අහන්න ඕනි... අන්තිමට කථාව ඉවර වෙනකොට රත්නේ අයියා ඉන්නේ අර කථාව අහන එක්කෙනාගේ කනට රිංගන්න ඔන්න මෙන්න වගේ... ඒ තරමටම රත්නේ අයියට කථාව රසවත් උනාට අහන එක්කෙනා ඉන්නේ හිටපු පටුවට වඩා පුටු දෙක තුනක් එහාට ගිහින්... ඉතිං මේ හේතුව නිසා රත්නේ අයියා කෝල් එකක් ගන්න තැන කවුරුවත් ඉන්නේ නෑ... බැරි වෙලාවත් හිටියොත්, වැඩේ දන්න සමහරු නං රත්නේ අයියා කෝල් එකෙන් පස්සේ ළඟට එනකොට, රත්නේ අයියේ මමත් පොඩ්ඩක් Busy කියලා ෂේප් වෙනවා...
රත්නේ අයියගේ ගම ගාල්ලේ උණවටුණ පැත්තේ... ඒ වගේම මාළබේ ජෝතිපාල මාවත පැත්තේත් රත්නේ අයියට අයිති ගෙයක් තිබුණා. සතියේ කොළඹ වැඩකරන දවස්වල මේ ගෙදර තමයි රත්නේ අයියා නැවතිලා ඉන්නේ...හැමදාම හවසට බැදපු තෝර මාළු පෙත්තතකුයි, ගල් කාලකුයි අරගෙන ගහිල්ලා රාත්‍රී කෑමට පෙර තනියම පොඩි අඩියක් ගහලා ආතල් එකක් ගන්න මෙයා පුරුදු වෙලා හිටියා. මේ ගෙදරම අපිත් එක්ක වැඩ කරපු, සම්මානනීය ටෙලිනාට්‍යය සංස්කරණ ශිල්පියෙක් වගේම අපේ හොදම හිතවතෙක් වන Jagath Weeratunga ත් පදිංචි වෙලා හිටියා. ජගත්ට නෑදෑකමින් මාමා වෙන රත්නේ අයියා සති අන්තයේ නිවාඩුවට ගාල්ලේ ගෙදර යනවා. අපේ යාළුවෝ කට්ටිය ඉතිං රත්නේ අයියව කොහොම හරි සිකුරාදා හවස් වෙනකොට ගාල්ලට පටවන්න, දන්න සෙල්ලං ඔක්කොම දානවා. වයසක මනුස්සයා නිසා සමහර දවස්වලට අද යන්න කම්මැලි මල්ලි, ඔන්න ඔහේ හෙට උදේම යනවා කිව්වම ජගත් ඇතුළු අපේ යාළුවන්ගේ මූණු ඇඹුල් වෙනවා... මොකද සිකුරාදා කියන්නේ අපේ යාළුවෝ කට්ටිය පොඩි අඩියක් ගහන්න රත්නේ අයියගේ ගෙදර සෙට් වෙන දවස. ඒ කියන්නේ ගෙදර අයිතිකාරයව ගෙදරින් පන්නලා තමයි කට්ටියම ඒ ගෙදර සෙට්වෙන්නේ. සාමාන්‍යයෙන් මේ ගෙදර ඉන්නකොට ජගත් තමන්ගේ මාමා ඉස්සරහා අමද්‍යප සාන්තුවරයෙක් විදියට තමයි හැසිරෙන්නේ. ඒ නිසා කොහොම හරි සිකුරාදා 4 - 5 වෙනකොට රත්නේ අයියව ගාල්ලට පටවන ප්‍රොජෙක්ට් එකට කවුරුත් එකා වගේ සහයෝගය දෙනවා... සංවිධාන කටයුතුවලට මේකේ මූලිකත්වය ගන්නේ Janaka Nawalage, සන්දේශ්, Pujitha Senanayake Saliya Prasanjith De Alwis සහ Gamini Wanigasinghe යන අයයි.
ඔන්න තවත් සිකුරාදා දවසක සුපුරුදු පරිදි රත්නේ අයියව ගාල්ලට පටවලා කට්ටියම රත්නේ අයියගේ ගෙදරට සෙට්වුනා... රෑ හත, හතහමාර විතර වෙනකොට දැන් පාටිය සරුවට යනවා... අපේ ජගත්ටත් දැන් හොද ගානට වැදිලා... ඔහොම යනකොට ඔන්න බොලේ හිටපු ගමන් රත්නේ අයියා ගෙදරට කඩාගෙන පාත්වෙනවා...(බැදපු තෝර පෙත්ත හා ගල් කාලත් අරගෙනම) කවුරුත් නොහිතපු විදියට කඩාපාත් වෙච්ච රත්නේ අයියා දැකපු ජගත්ගේ වගේම අනික් කට්ටියගේත් වෙරි හිදුණා... ඒ උනාට රත්නේ අයියට එතන තිබුණු බෝතල් දැක්කම මල් හතක් පිපුණා වගේ වෙලා...
" අප්පට සිරි කට්ටියම අද සෙට්වෙලා... ඇයි බං මාව හැලුවේ... හොඳ වෙලාවට මට අද කෝච්චිය මිස් උනේ... පරක්කු වැඩියි මමත් උබලගේ ලෙවල් එකට එන්න ඕනි..." කියලා දඩි බිඩි ගාලා ඇදූම් මාරුකරගෙන වැඩේට සෙට්වෙලා ඩබල් එකේම ගහන්න පටන් ගත්තා...
දැන් මාමගෙයි පුතාගෙයි කුළුදුල් රංගනය... මාමා පුතාට මචං කියනවා... පුතා මාමට මචං කියනවා... සිංදු කියනවා... රත්නේ අයියා සරම පැත්තකින් උස්සගෙන නටනවා... හොරු සමඟ හෙළුවෙන් පාටි දැන් නැගලා යනවා...
ඉස්සර නාරදට තිබ්බේ Honda Chally කියන පොඩි මෝටර් බයික් එකක්. නාරදයි, නාරදගේ වළිගේ වගේ හිටිය ජානකයි යන ඕනම තැනක යන්නේ ඔය වන්ඩියේ තමයි...
ඔන්න ඉතිං පාටිය යන අතර කට්ටියම පොඩි Break එකක් ගන්න මිදුලට බැස්සා... රත්නේ අයියත් ඩබල් එකේ ගහලා දැන් ට්‍රිබල් වෙලා හොදටම වැඩියි... නාරදගේ අර වන්ඩිය පැත්තක නවත්තලා තියෙනවා රත්නේ අයියා දැක්කා...
"අප්පට හුඩු මේ තියෙන්නේ භාණ්ඩේ... රවුමක් යන්න දීපංකෝ මල්ලී යතුර" කියලා නාරදගෙන් ඉල්ලුවා... "රත්නේ අයියට මේක පදින්න පුළුවන්ද"..? "පොඩ්ඩක් වැඩී නේද"..? ජානක කිව්වා...
"අනේ උබේ ආච්චිට"..... කුණුහරුපයකුත් කියලා... "මේවද මම පැදලා තියෙන්නේ.".. කියලා තරුණ කාලේ පැද්ද දෙක තුනකගේ නම් කියාගෙන වන්ඩියේ ඉදගත්තා...
ජානක රත්නේ අයියට වන්ඩිය Start කරලා දුන්නා. රත්නේ අයියා වාඩිවෙලා වන්ඩිය රේස් කලා විතරයි... බයිසිකලය රත්නෙ අයියා එක්කම යන්න තියෙන උපරිම වේගයෙන්, ගෙට එහා පැත්තට වෙන්න අල කොල වැවිලා තියෙන වත්තට ගියා... ගියා ගියාම තමයි වන්ඩියේ සද්දේයි, අල පදුරු ගැලවෙන සද්දෙයි... අම්මෝ... මල්ලී... මල්ලී... කියන සද්දෙයි ඇරෙන්න, කට්ටියට කරුවලේ මුකුත්ම පේන්නේ නැතුව ගියා. ඔහොම ගිහිල්ලා පර්චස් 10ක ඉඩමේ ඔක්කොම අල පදුරු ගැලවුනාට පස්සේ, යන්තම් හඳ එළියට රත්නේ අයියා බයිසිකලේ අත ඇරලා අන්තිම අල පදුර බදාගෙන ඉන්නවා කට්ටිය දැක්කා. කට්ටියම ලඟට දුවනකොට රත්නෙ අයියා අමාරුවෙන් නැගිට්ටා... නැගිටලා එන රත්නේ අයියව දැක්ක හැමෝටම හිනා ගියා... ඇඳගෙන හිටිය සරම ගැලවිලා... හරියට සිදුහත් උපතේ කුමාරයගේ සළුව තිබුණ විදියට තමයි සරම තිබුණේ. හොද වෙලාවට යටට කලිසමක් ඇදලා තිබුණා. නැත්නං කට්ටිය අමාරුවෙන් ඇඟට දාගත්ත ඔක්කොම හිදෙනවා... රත්නේ අයියගේ වෙරිත් හිදිලා තිබුණා. හිනා වෙවී කට්ටිය ඉස්සරහට ඇවිත්
"සෝක් බයික් එක මල්ලී"... "මාර පිකප් එකක් තියෙන්නේ"... කියලා බයිසිකලේ දිහා බැලුවා...
Petrol ඉවර නිසා වන්ඩිය නැවතිලා... රත්නේ අයියා වත්ත දිහා බැලුවා...
" කොහොමත් මම මේක සුද්ධ කරන්න කියලා අයිති කාරයට කියන්න හිටියේ... අල කොල නිසා හරියට මදුරුවෝ මල්ලී... දැන් ඒකත් හරි... හොඳ වෙලාවට කෝච්චිය මිස් උනේ... මල්ලී බයිසිකලේ විකුණනවනං කියන්න මම ගන්නං..." නාරදට කිව්වා...
" නිවාඩුවට ගාල්ලේ යන්නද රත්නේ අයියා කියලා..." ජානක ඇහුවා...
" ඔව් මොකෝ... විනාඩි ගානකිං අලකොල වත්තක් සුද්ධ කරන්න පුළුවන් නං... මට මේකේ ගාල්ලට යන එක සිම්පල් මල්ලී..." කියලා කොර ගහ ගහ ගේ ඇතුලට ගියා...
එදා ඉදන් 'අල කොළ ගලවන මැෂිම' කියලා... නාරදගේ බයිසිකලේට අලුත් නමකුත් පටබැඳුණා...
https://www.facebook.com/ThanujaJay/videos/10158325834759448/
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...

Comments
Post a Comment