පාන්දර ජොගින්...

සමහර තාත්තලා පුතාලා ඉන්නවා හරියට යාළුවෝ වගේ. සමහර වෙලාවට අම්මට හොරෙන් තාත්තලා පුතාලා එකතුවෙලා අම්මට ගේම් දෙන අවස්ථා එමට තියෙනවා. මේ අතර සමහර වෙලාවට පුත්තු එකතුවෙලා අම්මටයි තාත්තටයි දෙන්නටම ගේම් දෙන අවස්ථාත් නැතුවාම නෙවෙයි. ගෙදර කෙල්ලෝ හිටියට මේ වගේ දේවල් හරිම කලාතුරකින් තමයි දකින්න තියෙන්නේ. මොකද කොල්ලෝ එකතුවෙලා දෙන ගේම් කරන්න කෙල්ලොන්ට ටිකක් බය සහ අමාරු ගතියක් තියෙනවා...

අපේ Janaka Nawalage ටත් ඉන්නවා ඔය වගේ පුත්තු දෙන්නෙක්. මුන් දෙන්නා තාත්තත් එක්ක එකතුවෙලා අම්මව බයිට් කරන එක ගෙදර විලාසිතාවක් වෙලා. ඔය අතර මේ කොල්ලෝ දෙන්නා එකතුවෙලා තාත්තවත් බයිට් කරන සහ තාත්තටත් ගේම් දෙන අවස්ථාත් නැතුවාම නොවෙයිලු. ජානක අපිට කියන විදියට මුන් දෙන්නා තාම පොඩි එවුන් උනාට හොඳ ඇම්ඩන්ලා දෙන්නෙක්ලු...

ජානක කියන්නේ ඉතිං හැමදාම පොඩ්ඩක් ඇවිදලා, දුවලා, එක්සර්සයිස් ටිකක් එහෙම කරලා ඇඟ පොඩ්ඩක් සිළිම් එකේ පිළිවෙලට තියාගෙන ඉන්න පොරක්. ඔන්න ඉතිං ජානක දවසක් පාන්දර ජොගින් යන්න සෙට් වෙනකොට ජානකගේ නෝනාටත් ඕන උනාලු පොඩ්ඩක් ඇවිඳින්න යන්න. දෙන්නා ඉතිං මේ ගැන වැඩිදුර සාකච්ඡා කරලා, ඇවිදින්න යන්න නෝනට ගන්න ඕනි කරන ඇඳුම් ගැනත් සාකච්ඡා කරලා හා හා පුරා කියලා මේකට දිනයක් දාගත්තා... 

ඔය වෙන පැතිවල වගේ ජොගින් ට්‍රැක්ස් හෝමාගම පැත්තේ පේනතෙක් මානෙකවත් නැති නිසා හැමදාම පාන්දර පහට විතර මහපාරේ ඇවිදින්න යන්න මේ දෙන්නා සෙට් කර ගත්තා. ජානකගේ ගෙවල් තියෙන්නේ හෝමාගම මාගම්මන. ඉතිං හැමදාම පාන්දර පහට ගෙදරින් පිටත්වෙලා හෝමාගම හන්දියට ඇවිදලා ආපහු හයට විතර ගෙදරට එන්න දෙන්නත් එක්ක ප්ලෑන් එකක් ගැහුවා. ජානක මීට කළින් මේ විදියට ජොගින් ගිහිල්ලා තිබුණට බිරින්දෑ මේ ජොගින් එකකට යන්න සෙට් වෙන්නේ පළවෙනි වතාවට...

ඔන්න ඉතිං ඊට කළින් දවසේ බිරින්දෑ ශොපින් එහෙම ගිහිල්ලා ඇවිදින්න හොඳ කිට් එකකුත් එක්ක හොදවයින් ජොගින් සපත්තු දෙකකුත් අරගත්තා. දැන් දෙන්නම රෑට කාලා බීලා අනිත් පහුවදා ඉඳලා ජොගින් යන්න සෙට්වෙලා මේස ඔරලෝසුවේ පාන්දර 4.30ට එලාම් එකත් තියලා නිදාගන්නවා...

හරියටම පාන්දර... වෙලාවටම එළාම් එකත් වැදිලා... දෙන්නත් එක්කම කඩිමුඩියේ ලෑස්තිවෙලා වතුර එකක් කාරිය හිස්බඩ බීලා හරියටම පාන්දර 5.00 වෙනකොට ගෙදරින් ජොගින් යන්න පිටත් උනා...

දැන් දෙන්නා තරඟෙට ඇවිදිනවා. ජානක පුරුදු කාරයා නිසා ඉස්සරහින්ම යනවා. බිරින්දෑ ඉතිං පළවෙනි දවස නිසාත් අළුත් සපත්තු දෙකේ ඇවිදීමේ අපහසුව නිසාත් පොඩ්ඩක් ජානකට පිටිපස්සෙන් එනවා...

 ඉතිං මේ ජොගින් අවස්ථාව ජානකගේ වචන වලින්ම අපිට කිව්වේ මෙන්න මෙහෙමයි...

" වයිෆ්ගේ කිසි අවුලක් තිබ්බේ නෑ මචං... හොඳට මගෙත් එක්ක ආවා... පොඩ්ඩක් මට වඩා පස්සෙන් ආව මිසක් කිසි අවුලක් තිබ්බේ නෑ... මම ටිකක් වේගෙන් ගිහිල්ලා පස්ස හැරිලා බලනකොට එයා හොදට කිසි ගාණක් නැතුව ඇවිදිනවා... ලයිට් කණුවල ලයිට් එලියට කිට් එකත් ඇදලා එනකොට එයා නිකං හරියට ඇමරිකන් ස්ප්‍රින්ටර් කෙනෙක් වගේ.... ඒත් සපත්තු දෙක එයාට ටිකක් සෙට් උනේ නෑ.... ඒ දෙක දැම්මම එයා නිකං හරියට කරත්තෙකට ඇලෝයි වීල් දෙකක් දැම්මා වගේ හිටියා උනත් වෙන කිසිම අවුලක් තිබ්බේ නෑ... හොඳට මාත් එක්ක හරි හරියට ඇවිද්දා... ඒ උනාට මචං වෙනදට වඩා එදා අපේ පාරේ පොඩි අවුලක් තිබ්බා... ගෙදරින් එළියට බැස්ස වෙලාවේ ඉඳලාම ගෙවල්වල ඉන්න බල්ලොයි පාරේ ඉන්න බල්ලොයි අපි දිහා බල බලා එක දිගට බුරන්න ගත්‍තා... මම ඒක වැඩිය ගනං ගත්තේ නෑ... වයිෆ්ගේ පළවෙනි දවස නිසා බල්ලොන්ට එයාව පුරුදු නැතිවෙන්න ඇති කියලා මම හිතුවා... අනික එයා දාගෙන හිටියේ අළුත් සපත්තු දෙකත් නිසා, පුරුදුත් නැති නිසා, පොඩ්ඩක් පාරේ යනකොට සද්දෙත් වැඩි නිසා බල්ලෝ කළබල වෙන්න ඇති කියලත් මම හිතුවා..." 

ඉතිං ඔහොම බලු සද්ද පූජාවත් එක්කම දෙන්නම හෝමාගම පොලීසිය ළගටම එනවා. එතකොටම හෝමාගම පැත්තේ ඉඳන් ආපු පොලිස් ජීප් එකක් මේ දෙන්නා ඉස්සරහා පාර හරස් කරලා නවත්තලා රාළහාමිලා දෙතුන් දෙනෙක් ජීප් එකෙන් බැහැලා තුවක්කුත් අමෝරාගෙන මේ දෙන්නව වට කරනවා...

" කොහෙද තමුසේ මේ කෙල්ලෙක් එක්ක යන්නේ..." රාළහාමි කෙනෙක් අහනවා. 

" අපි ජොගින් යනවා සර්..." ජානක කියනවා. 

" ජොගින්... බොරු කියන්න එපා... තමුසේ මේ කෙල්ලව ගෙදරින් පන්නගෙන යනවා නේද..?" රාළහාමි අහනවා. 

" අනේ නෑ සර්... අපි හැමදාම පාන්දර පහට මෙහෙම ඇවිදිනවා... මේ ඉන්නේ මගේ වයිෆ්... අපි ඉන්නේ මාගම්මන... හෝමාගම හන්දියට ජොගින් කරලා ආපහු ගෙදර යනවා... බොරුනම් බලන්න අපි දෙන්නම ජොගින් කිට් ඇඳලා ඉන්නේ... මේ බලන්න අපේ වෙඩින් මුදු දෙක..." ජානක කියනවා... 

දෙන්නම වෙඩින් මුදු දෙක රාළහාමිට පෙන්නනවා. වාහනේ එළියෙන් ඒ මුදු දෙක සමාන බව රාළහාමි දකිනවා. 

" ඒ බවනං පේනවා ඒත් මෙච්චර පාන්දර..?" 

" ඔව් සර් අපි හැමදාම පාන්දර පහට ගෙදරින් එනවා... හය වෙනකොට ගෙදර... වාහනත් අඩු නිසා හරි ලේසියි සර්..." ජානක කියනවා. 

" මහත්තයෝ පාන්දර පහට පාරේ ජොගින් ගියානම් අපි ඔයාලව නවත්තන්නේ නෑ... දැන් වෙලාව පාන්දර 2.20 යි... ඒ කියන්නේ මහත්තයලා ගෙදරින් එන්න ඇත්තේ පාන්දර 2.00 ට විතර...

" ජානකයි නෝනයි මූණෙන් මූණ බලා ගන්නවා... 

" මෙච්චර පාන්දර ගෑණු කෙනෙක් එක්ක මිනිහෙක් මෙහෙම යනකොට ඕනම පොලිස් කාරයෙක් නවත්තනවා. දන්නවනේ මේ කාළේ වෙන සිද්ධි... අපි හිතුවේ ඔහේ මේ කොහෙන්හරි කෙල්ලෙක් උස්සගෙන යනවා කියලයි... ගෙදරින් පිටත් වෙන්න කළින් වෙළාව බැලුවේ නැද්ද මහත්තයෝ..." රාළහාමි අහනවා. 

" අපි බැලුවා සර්... 4.30ට එළාම් එකත් තියලා ලෑස්තිවෙලා හරියටම පාන්දර 5.00 තමයි පිටත් උනේ..." ජානක කියනවා. 

" මොකක්හරි ඔරලෝසුවේ අවුලක් වෙලා ඇති... ගිහිල්ලා බලන්නකෝ... දැන් වෙලාව හරියටම 2.25 බොරුනම් අනිත් කට්ටියගෙත් ඔරලෝසු බලන්න..." එතන හිටිය හැම රාළහාමි කෙනෙක්ම තමන්ගේ ඔරලෝසුවල වෙලාවල් ජානකට පෙන්නනවා. කට්ටියගේ වෙලාවල් ටික ටික එහේ මෙහේ ගිහිල්ලා තිබ්බත් දැන් වෙලාව පාන්දර 2.30ට කිට්ටු බව ජානක දකිනවා. 

" මහත්තයාලට මොකක් හරි වැරැද්දක් වෙලා තියෙනවා... කමක් නෑ... ඔහොමම ආපු එකේ හංදියටම ගිහිල්ලා ගෙදර යන්න..." කියලා පොලීසියේ කට්ටිය යනවා...

මේ දෙන්නත් එතනින්ම හැරිලා ආයෙත් අර බලු සද්ද පූජාව මැදින්ම ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා බිත්ති ඔරලෝසුව බලද්දී වෙලාව පාන්දර 3.00 යි. කමරේට ගිහිල්ලා මේස ඔරලෝසුව බලද්දී වෙලාව පාන්දර 6.00 යි. මොකක්ද උනේ කියලා දෙන්නම දැන් කල්පනා කර කර ඉන්නවා. මේ දෙන්නට දැන් එළිවෙනකම් නින්ද යන්නෙත් නෑහැ...

 ඉතිං ඔහොම වෙලාව ගිහිල්ලා පාන්දර හය විතර වෙනකොට ඉස්කෝලේ යන්න කොල්ලෝ දෙන්නා ඇහැරිලා එයාලගේ කාමර වලින් සාලෙට එනවා. දෙමව්පියෝ දෙන්නටම ජොගින් කිට් පිටින්ම සාලේ පුටුවල නින්ද ගිහිල්ලා... කොල්ලො දෙන්නගේ සද්දෙට දෙන්නම ඇහැරෙනවා...

" ආ... තාත්තලා ජොගින් ගිහින් කළින්ම ආවද..." කියලා පොඩි කින්ඩි හිනාවකුත් දාලා පොඩි කොල්ලා අහනවා. කොල්ලෝ දෙන්නගේ කින්ඩි හිනාවෙන් ජානක දැනගන්නවා මොකක් හරි මජර වැඩක් මුන් දෙන්නා එකතුවෙලා කරලා තියෙන බව...

කාලා, බීලා, එළාම් තියලා, දෙමව්පියෝ දෙන්නට නින්ද ගියාට පස්සේ මේ කොල්ලෝ දෙන්නා ඇවිල්ලා අර මේස ඔරලෝසුව පැය තුනක් විතර ඉස්සරහට කරකවලා තියලා ගිහිල්ලා කියලා දෙමව්පියන්ට පස්සේ දවසක දැනගන්න ලැබෙනවා... 

එදා ඉදන් ජානකගේ වයිෆ්ට ජොගින් යමුද කියලා ඇහුවමත් නහුතෙට තද වෙනවලු...

නම්ගම් සියල්ල මනංකල්පිත නොවේ..


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...