හන්දියේ ත්‍රීවීල් පාක් එකේ මල්ලිගේ දිනපොත...
ජනවාරි 05...
ටවුමේ බැංකුවේ වැඩකරන සඳුනි මිස් අද උදේ මම එයාව වැඩට දාගෙන යන ගමං මට ඩයරියක් දුන්නා. මම කවදාවත් ඩයරියක ලියලා නෑ... මොනවා ලියන්නද කියලා තේරෙන්නෙ නෑ... කැළැන්ඩරයක් තමයි එයාගෙන් ඉල්ලුවේ... කැළැන්ඩර් ඉවරයි කියලා ඩයිරියක් තමයි දුන්නේ... බලමු පුරුදු වෙන්නත් එක්ක මොනාහරි ලියන්න...
ජනවාරි 06...
වමට සිග්නල් දාලා දකුණට හැරෙව්වා...තව පොඩ්ඩෙන් කාර් එකක වදිනවා... පිස්සු යක්කු... මුන් දැනගන්න ඕනි ත්‍රී වීල් එකක් පාරෙ යනකොට පරිස්සමෙන් යන්න... සඳුනි මිස් අද ලස්සන සාරියක් ඇඳගෙන හිටියා... මම ආසම ඒකේ තිබ්බ රෝසමල් බෝඩරේට...
ජනවාරි 07...
අද දකුණට සිග්නල් දාලා වමට හැරෙව්වා... තව පොඩ්ඩෙන් ස්කූටි නංගියෙක් මගේ ඔඩොක්කුවේ... අවුලක් නෑ... බූරුවා කියාගෙන කකුල් දෙකත් අකුළගෙන එයා යන්න ගියා... මොනා කරන්නද එහෙම එවුනුත් රටේ ඉන්න එපෑයිනේ... සඳුනි මිස් අලුත් සැන්ට් කුප්පියක් අරං වගේ... අද එයා ළග හරිම සුවඳයි...
ජනවාරි 08...
වන් වේ පාරක අනිත් පැත්තෙන් මම දැම්මා... එහෙම දැම්මෙ නැත්නම් මට හෙණ වටයක් ගහන්න වෙනවා... වෙලාවට ට්‍රැෆික් පොලීසියෙන් හිටියේ නෑ... අනිත් පැත්තට ගිය එවුන්ට මලද කොහෙද... බැන බැන ගියාට මට මොකෝ... සඳුනි මිස් හිටියනං මං කොහොමටවත් එහෙම දාන්නේ නෑ... අද හවස සඳුනි මිස්ගේ මූණ එච්චර හරි නෑ... සමහරවිට බැංකුවේ හුටපටයක් වෙන්න ඇති...
ජනවාරි 09...
ඉස්කෝලේ අරින වෙලාවට මාර ට්‍රැෆික්... අස්සෙන් අස්සෙන් දාල කොහොමහරි ආවා.... මේ කාර් කාරයෝ තමා පාරෙ ට්‍රැෆික් හදන්නෙ... අපි අස්සෙන් දාලා යන නිසා ඕවා ගානක් නෑ... මේ කාර් කාරයොන්ට කව්රු ලයිසන් දෙනවද මන්දා... අපේ රට ඉතින් කවදා හැදෙයිද..? අද සඳුනි මිස් බැංකු ගියේ නෑ... අසනීපයක්වත්ද දන්නේ නෑ...
ජනවාරි 10...
අද නං වමට සිග්නල් දාලා වමටම හැරෙව්වා... තාත්ත අද ජීවතුන් අතර හිටියා නම් මං ගැන ගොඩක් එයා සතුටු වෙනවා... මම ආයෙත් වැරදි විදියට එළවන්නෙ නෑ තාත්තේ... මම පොරොන්දු වෙනවා... සෙනසුරාදා වරුවක් වැඩ උනත් සඳුනි මිස් අදත් නෑ... මම කිව්වේ ඊයේ මොකක් හරි අප්සෙට් එකක් තමයි...
ජනවාරි 11...
අදත් දකුණට සිග්නල් දාලා වමට හැරෙව්වා... මං හොද වැඩක් කලොත් මුං මගේ අම්මට තමයි දොස් කියන්නේ... පර හැත්ත... සඳුනි මිස් හෙට වඩට යයිද දන්නේ නෑ... පොඩි මිස් කෝල් එකක් දීලා බලන්න ඕනි...
ජනවාරි 12...
සඳුනි මිස් අද ආවා... එයාව බැංකුවෙන් දාලා එනකොට අද මරු වැඩක් වුනා... මම පාරේ යද්දි නෝනා කෙනෙක් හයර් එකකට අත දැම්මා... මම එක පාරටම අයින් කරලා නැවැත්තුවා... පිටිපස්සෙන් ආපු කාර් කාරයා මට බැන බැන ගියේ හරියට මම වැරැද්දක් කලා වගේ... මට මගේ වාහනේ නවත්තන්න උන්ගෙන් අවසර ගන්න ඕනද..? බෙන්ස් එකක් නිසා වෙන්න ඇති උගේ රෙස්පෙක්ට් එක... වල් හරකා...
ජනවාරි 13...
සඳුනි මිස් පොඩ්ඩක් කළු වෙලා... ලෝන් වීකෙන්ඩ් එකේ ට්‍රිප් එකක් ගියාලු... ලස්සන මූණ පොඩ්ඩක් කැත වෙලාද මංදා... එයාව ගෙදරින් දාලා මම හවස කළින්ම ගෙදර ආවා... ගෙදර ආවමයි දැක්කෙ... උදේ ගෙදරින් පාරට දාද්දි දාපු සිග්නල් ලයිට් එක තාම ඒ විදියටම දාලා... දවසෙම දාලා තිබුන නිසා සිග්නල් ලයිට් එක පිච්චෙයි ද? ඕන මගුලක් වෙච්චදෙන් හෙට බලමුකෝ...
ජනවාරි 14...
ඊයෙ දවසෙම සිග්නල් ලයිට් දාලා තිබුන නිසා මම අද දවසටම සිග්නල් දැම්මෙ නෑ... වාහන කාරයෝ මට බැන බැන ගියාට උන් දන්නෙ නෑනේ ඊයෙ මට සිද්ධවුන දේ...
හවස නැග්ග වෙලාවේ ඉදලා ගෙදරට යනකංම සඳුනි මිස් ෆෝන් එකේ... ට්‍රිප් එකේ ගොසිප් තමයි ඉතිං... අපිට මොනාටද ඔව්වා...
ජනවාරි 15...
පිටිපස්සේ ගහන්න හොද ලයින් එකක් හිතන්න ඕනි... තියෙන එක පංච් මදි කියලා පාර්ක් එකේ එවුන් කිව්වා... සදුනි මිස් ගැන ලියන්න විශේෂ දෙයක් අදනං නෑ... ටික දවසක ඉදලා මෙයා ෆෝන් එකේමයි... කුටු කුටු ගානවා... මේ හුචක්කුවේ සද්දේ නිසා කියන දේවල් මෙලෝ දෙයක් ඇහෙන්නේ නෑ...
ජනවාරි 16...
පාර්ක් එකේ මහතුවාගේ කෙල්ල ගෙට වෙලා... පාටිය අද... ගානකට කෙල වෙයි වගේ... ටයර් තුනත් නහුතෙට ගෙවිලා... සඳුනි මිස් අදත් ආවේ නෑ... මාර නිවාඩු ගැනිල්ලක්නේ අප්පා මේක...
ජනවාරි 17...
දවසෙම හීනී ඔළුවේ කැක්කුමක් තිබ්බා... තැඹිලි ගෙඩියක් ගැහුවත් හරි ගියේ නෑ... ඊයේ රෑ කොහොම ගෙදර ආවද කියලා මතක නෑ... අම්මා උදේ කුණු බැණිල්ලක් බැන්නා... හැමදාම ලියපු දේවල් තමයි හැමදාමත්ම වෙන්නේ... සඳුනි මිස් අදත් නෑ... අසනීපයක්වත්ද..?
ජනවාරි 18...
අද ඉරිදා... වන්ඩිය සර්විස් කළා... එන ගමං කලර් ලයිට් එකේදී සඳුනි මිස්ව රතු පාට කාර් එකක ඉන්නවා දැක්කා... ඩ්‍රයිව් කරේ අයියා කෙනෙක් වෙන්න ඇති... අද හයර් දිව්වේ නෑ... හිතට මොකක්ද වගේ... ගෙදර ඇවිල්ලා නිදා ගත්තා...
ජනවාරි 19...
කෝල් එකක් දුන්නේ නැති නිසා කෝකටත් කියලා ගේ ළගට වෙලා හිටියා... අර රතු කාර් කාරයත් ඇවිල්ලා මගේ ඉස්සරහින් නැවැත්තුවා... සඳුනි මිස් මාව දැක්කේ නෑ... අර කාර් එකේ නැගලා යන්න ගියා... අද දවසම හිතට අප්සෙට්... සඳුනි මිස් හවස ගෙදර යන්න මට කෝල් කලෙත් නෑ... අර කාර් එකේම යන්න ඇති...
ජනවාරි 20...
ඒ අස්සේ අද රෑට පෙට්‍රෝල් ගනං යනවලු... හොද වෙලාවට ෆුල් ටෑන්ක් කරගත්තේ... ඒකත් ඉතිං කී දවසකට කියලද..? දැන් මේක දිගටම ලියන්න හිතෙන්නේත් නෑ... සඳුනි මිස් දැන් දිගටම කාර් එකෙන්මයි ගමන... පාක් එක දිහා බලන්නෙවත් නෑ...
ජනවාරි 21...
සිහින කොතරම් හිතේ තිබුණත් සියල්ලම නෑ ඉටු උනේ...
ඔබව පමණක් පතා සිටි මට දුකම පමණයි හිමි උනේ...
වන්ඩියේ හොඳ ලයින් එකක් ගැහුවා...
හොදයි නේද...
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...

Comments
Post a Comment