නෙල්සන් මැන්ඩෙලාගේ ගුවන් ගමන...

රික් ස්ටෙන්ගල්(Rick Stengel) කියන්නේ දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා සමඟ අවුරුදු දෙකක් පමණ ළඟින්ම එකට සිටි කෙනෙක්. ඔහු මෙසේ සිටියේ නෙල්සන් මැන්ඩෙලාගේ ස්වයං චරිතාපදානය වන ' Long Walk to Freedom' කියන පොත ලියන්න ඔහුගේ කරුණු එකතු කිරීමටයි.

ඔහු නෙල්සන් මැන්ඩෙලා ගැන ලියපු පොතේ ජනාධිපතිවරණයට පෙර නෙල්සන් මැන්ඩෙලා සම්බන්ඳව සිදුවුණු එක් අපූරු සිද්ධියක් මෙසේ සඳහන් කර තිබෙනවා.

1994 දකුණු අප්‍රිකානු ජනාධිපතිවරණ සමයේ නෙල්සන් මැන්ඩෙලා හට එවකට මහත් ප්‍රසිද්ධියට පත් ප්‍රදේශයක් වූ නටාල් හෙවත් Killing Fields නම් ප්‍රදේශයේ ජීවත්වන තමාගේ (Zulu) 'සුළු' ජාතික ආධාරකරුවන්ගේ ජනහමුවක් ඇමතීමට යාමට සිදුවී තිබෙනවා. මේ තරම් දුරක් යෑමට එකළ පැවති ආණ්ඩුව විසින් ඔහුට ලබාදී තිබුණේ අබලන්වූ ඉතා කුඩා අහස් යනයක්.එම ගමනට නෙල්සන් මැන්ඩෙලා සමඟ සහභාගිවූ රික් ස්ටෙන්ගල් එම සිද්ධිය මෙසේ සඳහන් කරනවා.

ඒ ගමන යන්න ඔහුත් සමඟ මමත් සූදානම් උනා... යන ගමන ගැන ඔහු අපිට දැණුම් දුන්නට පස්සේ ඔහුව නැවත ගුවන් තොටුපලේදී හමුවන බළාපොරොත්තුවෙන් මම මගේ වැඩ කටයුතු වගයකට ගියා... කොහොමහරි අපි ගුවන්තොටුපොළේදී හමුවෙලා නටාල් වෙත ගමන් ආරම්භ කළා... යානය නටාල් ගුවන්තොටුපොළට ගොඩ බැස්සවීමට විනාඩි විස්සක් විතර තියෙද්දී හිටපු ගමන් මේ යානයේ එක එන්ජිමක් ක්‍රියා විරහිත උනා... හිටියේ දෙතුන් දෙනෙක් උනත් යානයේ හිටපු අපි හැමෝම කළබල උනා... කෑගහන්න පටන් ගත්තා... ගෙවල් දොරවල්, ළමයි, බිරිඳ සිහිවුනා... සමහරු දෙවියන් යදින්න පටන් ගත්තා... මේකට මොකක්ද කරන්නේ කියලා බලන්න නෙලසන් මැන්ඩෙලා දිහා හැමෝම බැලුවා... 

එයා කිසිම සද්දයක් නෑ... කිසිම කළබලයකුත් නෑ... එයා හරියට තමන්ගේ පාඩුවේ උදේ වරුවේ කාර්‍යාලයට වැඩට යන දුම්රිය මගියෙක් වගේ එදා දවසේ පත්තරේ දිග ඇරගෙන බලාගෙන යනවා... සිදුවෙච්ච දේවත්... සිදුවෙන්න යන දේවත් ගැන එයාට ගානක් නෑ... තමන්ගේ පාඩුවේ යනවා... මේක දැකපු අපිත් කළබලය නවත්තලා සන්සුන් වෙලා වෙනදේට මුහුණ දෙන්න තීරණය කළා... 

කොහොමහරි නියමුවාගේ තිබුණු දක්ෂකම නිසා තනි එන්ජිමෙන් ගිහිල්ලා බොහෝම අසීරැවෙන් යානය නටාල් ගුවන්තොටුපොළේ ගොඩ බැස්සුවා... 

ඊට පස්සේ මම ඔහුත් සමඟ ඔහුගේ වෙඩි නොවදින BMW රථයේ පිටිපස්සේ ආසනයේ අසුන් අරගෙන රැළිය තිබෙන තැනට යන්න පිටත්වුනා...

ටික දුරක් යනකම් මගෙත් එක්ක කිසිම කථා බහක් නොකල ඔහු එකපාරටම මගේ පැත්තට හැරිලා මෙහෙම කියනවා..."

" මනුස්සයෝ... මමත් ඒ වෙලාවේ කරකියා ගන්න දෙයක් නැතුව හොඳටෝම බය වෙලයි හිටියේ..."


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...