කාගේත් සුන්දරී...

අපේ යාළුවන් අතර වාහන සම්බන්ධ සිද්ධීන් නම් එමටයි. YATV ඉන්නකාලේ අපිට තිබුණු තවත් හොඳ වගේම කාටත් ප්‍රයෝජනවත් වෙච්ච වාහනයක් තමයි ඔය පින්තූරවල තියෙන්නේ. දැන් මේක මෙහෙම ඇදගෙන ගියාට ඒ කාළේ කීදෙනෙක්ව මේකෙන් ඇදගෙන ගියාද කියලා හිතාගන්නවත් බෑ. මේක හදපු අවුරුද්ද මොඩ්ල් එක ගැන එච්චර දැණුවත් කමක් නැති උනත් අපි මේකට කිව්වේ 'සෑඩ් ෆේස් කාගෙත් සුන්දරී' කියලයි...

ජාතිය ඇවිල්ලා Moris Minor පරණ මොඩ්ල් එක, කළුපාට බොඩිය, රතු රෙක්සින් සීට්, ස්පෝර්ට්ස් ස්ටියරින් වීල් එක දාලා රෝද හතරම ඇලෝයි වීල්ස් කරලා තිබුණා. වංඩිය මෙහෙම තියෙනවා දැක්කම එදා මේක ඇතුලෙන් ආපු පරණ මයිනර් සුවඳ එක්ක මේකෙන් ගත්තු ආතල් සහ ගිය සුන්දර ගමන් තාමත් මතකයට එනවා. CN 1925 තමයි මේකේ ලියාපදිංච් අංකය. මේකේ පළවෙනි අයිතිකාරයා රනිල්. කොහෙන්දෝ මේක හොයාගෙන උස්සගෙන ඇවිල්ලා හොදට මොඩිෆයි කරලා, හොඳට හදලා පැද්දට රනිල්ට මේක ගෙදර නවත්තන්න ඉඩ තිබුණේ නැති නිසා මේක වැඩිපුරම තිබ්බේ අපේ යාළුවන්ගේ ගෙවල්වල නැත්නම් YATV කාර්පාක් එකෙයි...

මේකට 'සෑඩ් ෆේස්' කියලා කිව්වේ මේකේ ඉදිරිපස පෙනුම දුක්බර මුහුණක් වගේ ෂෙල් එක පහළට නෙරලා තිබුණ නිසයි. 'කාගෙත් සුන්දරී' කිව්වේ ලයිසන් තියෙන ඕනෙම එක්කෙනෙකුට මේක ඕන තැනකට අරන් යන්න ඉල්ලන පමාවට දෙන්න රනිල් සැදී පැහැදී සිටිය නිසයි. සිගරට් බොන අයට සිගරට් ගේන්න යන්න, දවල්ට බත් පැකට් අරගෙන එන්න යන්න, මළ ගෙවල්, දානේ ගෙවල්, පාටි වලට යන්න විතරක් නෙවෙයි YATV එකේ බහුතරයකගේ රියදුරු පුහුණුවත් මේකෙන් තමයි සිද්ධවුනේ. ඒ වගේම බය නැතුව 10 දෙනෙකුට විතර පහසුවෙන් මේකේ රිංගලා යන්නත් පුළුවන් පහසුකමත් මේකේ තිබුණ නිසා වෙන වාහන තිබුණත් හැමෝම වගේ හැම ගමනක්ම ගියේ මේකෙන්ම තමයි...

 "ගමන අවසානයේ පෙට්‍රල් ගහන්න කාරුණිකවන්න..." කියලා පොඩි දැන්වීමක් ඇතුලේ කාටත් පේන්න ගහලා තිබුණා... ඒ නිසා කවදාවත්ම මේක පෙට්‍රල් නැතිව මඟ නතර උනේ නම් නෑ...

ටික කාළයක් යද්දී මේක රනිල්ගෙන් පහසු ගෙවීමේ ක්‍රමයට නිකිල මිළදී ගන්නවා. ඒ ගත්තා කියලා වැඩි වෙනසක් වෙන්නේ නෑ. පොතේ අයිතිකාරයගේ නම වෙනස් උනාට නිකිලගේ අයිතිය යටතෙත් මේකේ නැවතුම් පොල උනේ YATV කාර් පාක් එකම තමයි. ඒකට හේතුව ඒ කාළේ නිකිලටත් ඩ්‍රයිවින් බෑ. මිනිහා ඩ්‍රයිවින් ඉගෙන ගන්න තමයි මේක අරගෙන තියෙන්නේ. ඉතිං office එකේ Lunch time එකට හැමදාම driving පුළුවන් කවුරුහරි මෙයත් එක්ක Lunch time driving lesson එකට යන්න වෙනවා. බොහෝදුරට ඔය ලර්නින් වැඩේට සෙට් වෙන්න වෙන්නෙ මට. ඔය කාළේ වෙනකොට අපේ අනිත් Driving ඔස්තාර්ලගෙන් බැණුම් අහලා මෙයාට driving එපා වෙලයි තිබුණේ. පාර්ලිමේන්තුවට කිට්ටුව තිබුණ හිස් ඉඩමක මේ විදියට හැමදාම Driving Lessons යනකොට ටික දවසකින් දෙණුවන් කියන හාදයත් Driving ඉගෙන ගන්න මේකට සෙට් වෙනවා... 

ඔන්න ඊට පස්සේ නිකිලට Driving ටිකක් පුළුවන් වෙනකොට මේක පහසු ගෙවීමේ ක්‍රමයට දෙණුවන් විසින් මිළදී ගන්නවා. ඒත් ඒ පාරත් පොතේ නම මාරු උනාට ඉදලා හිටලා කවුරුහරි ගෙදර අරන් නොගියොත් ඇරෙන්න වෙන කිසිම වෙනසක් වෙන්නේ නැතුව තවමත් මේකේ රාත්‍රී නැවතුම් පොළ වෙන්නේ YATV කාර්පාක් එක තමයි...

 ඒ වගේම මේ වංඩිය සුපිරි උනත් කවදාවත් ගමනක් යනකොට තනිවම කවුරුත් මේක පදවගෙන ගියේ නෑ. ලොරිවලත් සහායකයෙක් යනවා වගේ මේකටත් මයිනර් සහායකයෙකු නිතරම මේකත් සමඟ ගියා. පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් මේක දැන් එන Posh වාහනවල වගේම push Start පහසුකම මේකෙත් තිබුණා. මොනවා නැතත් යතුර දාලා බොත්තම ඔබපු ගමන් දෙදරලා එකපාරින් ස්ටාර්ට් වෙන හොඳ ගති ගුණයක් මේකට තිබුණා... 

දෙකට බෙදීගිය ඉදිරිපස Windscreen දෙකක් තිබුණත් මේකේ වයිපර් දෙකක් නම් දන්න කාළෙක ඉදලා තිබුණේම නෑ. ඒ නිසා වැස්ස දවස් වලට මයිනර් සහායකගේ අගය මේකට වඩාත්ම ප්‍රයෝජනවත් උනා. වම දකුණ සිග්නල් වැඩකරත් දවල්ට වැඩිය නොපෙනෙන නිසා නිතරම දෙන්නෙක් දෙපැත්තේ ඉදලා හරවන පැත්තට අත් දාන්න පුරුදුවෙලා තිබුණා... ඒ වගේම වාහනය ධාවනය වෙනකොට හිටපු ගමන් ගියර් පොල්ල නිව්ට්‍රල් එකට පණින පොඩි ඇඩ්වෙන්චරස් ගතියකුත් මේකේ තිබුණා. මේකේ හොඳින් පෙට්‍රල් වැඩකරනවා වගේම පෙට්‍රල් ශෙඩ් එකකට නොගිහින් දුර සිට පෙට්‍රල් ගසාගෙන යෑමේ වෙන වාහනවල නැති, අතේ ගෙනයාහැකි වගේම ඉස්සරහා වාඩිවී යන කෙනා කකුල් දෙකෙන් තදකර රඳවාගෙන යායුතු ජාතියේ පෙට්‍රල් ටැංකියකුත් මේකේ තිබුණා. ( ඔරිජිනල් ටැංකියේ තිබුණු හිලක් නිසා හංදියේ බාස් අංකල් විසින් සාදා දෙන ලද තාවකාලික බටයක් දමා සකස් කළ සුදුපාට කෑන් එක) මේ හේතුවෙන් වාහනයට එන ඔරිජිනල් පෙට්‍රල් මීටරය වැඩ නොකරණ නිසා කට්ටියම එකතුවෙලා ගණන් මිනුම් බලලා අර කෑන් එකේ තැනින් තැන සළකුණු කීපයක් සටහන් කර තිබුණා... සළකුණු ඔස්සේ කෑන් එකේ තිබෙන පෙට්‍රල් ප්‍රමාණය අනුව දුවන්නට පුළුවන් කිලෝමීටර් ගාන හරියටම කියන්න පුළුවන් ඔස්තාර්ලත් අප අතර සිටියා. ගමනක් යනකොට සහායකයා විසින් නිතරම මෙම පෙට්‍රල් ප්‍රමාණයන් පිළිබඳ තොරතුරු විටින් විට රියදුරුව දැණුවත් කළ යුතුව තිබුණා. ඔන්න ඔය වගේ පොඩි පොඩි හේතූන් නිසා මේකත් එක්ක නිතරම දෙන්නෙක් යා යුතුව තිබුණත් කිසිම දවසක මඟ නතරවීම් සිදුවෙලා නැති මේ Morris Minor Sad face රථය, ඕනෙම කෙනෙකුට බය නැතුව ලංකාව වටේ උනත් ගිහිල්ලා එන්න පුළුවන් හොඳ කන්ඩිෂන් එකක එදා තිබුණා...

ඔන්න ඔහොම ටික කාළයක් ගියාට පස්සේ දෙනුවන්ට ඩ්‍රයිවින් පුළුවන්වෙලා ලයිසන් එහෙමත් අරගෙන මේක හෝමාගම එයාගේ මහ ගෙදරට අරගෙන යනවා. ඊට අවුරුදු 17කට පස්සේ තමයි මම ආයෙමත් මේක FB හරහා දෙණුවන්ගේ පෝස්ට් එකකින් දකින්නේ. ආරංචියේ විදියට මේක අරගෙන ගියාට පස්සේ දෙණුවන් මේක ටික කාළයක් පැදලා තියෙනවා. පස්සේ අළුත් වාහනයක් ගත්තම මේක පොඩ්ඩක් පදින එක මගහැරිලා තියෙනවා. පස්සේ කාටහරි විකුනන්න හැදුවත් ගෙදර හුරතලේට හදන බැල්ලී මේකේ පැටව් දාලා හිටපු නිසා ඒකත් කරගන්න මිනිහට බැරි වෙලා තියෙනවා. ඒත් එක්කම හොඳ ඵළදාවක් තිබුණු වට්ටක්කා වැලකුත්, ෆැෂන් ෆෲට් වැලකුත් මේකේ ගිහිල්ලා තිබුණු නිසා ඒ ලැබුණු ඵළදාව අවුරුදු ගාණක් පොළට විකුණලා කාර් එකේ ගාන මෙයා හොයාගත්තා කියලා ජානක අපිත් එක්ක කිව්වා. මේ අතර විටින් විට දෙතුන් දෙනෙක් මේක සල්ලි දීලා ගෙනියන්න ආවත් අර බැල්ලිගේ ගෙරවුම්, කඩා පැනීම් එක්ක ඒ එන අය මේක ගන්න එක අත ඇරලා ගිහිල්ලා තිබුණා. ඊට පස්සේ මේ බලු පවුලත් එක්කම කාර් එක විකුණන්න දෙණුවන් උත්සාහ කළත් ඒකත් හරි ගියේ නැති නිසා බලු පවුලටම මේක පවරලා දීලා අවුරුදු 17ක්ම මේක ඔහේ එකතැනම තියන්න සිදුවෙලා තියෙනවා. කොහොමහරි මේ අවුරුදු 17 ටම බලු පරම්පරා දහයක් පහලවක් විතර මේකේ ජීවත්වෙලා පස්සේ උන්ටත් මේක එපා වෙලා මේක අත ඇරලා දාලා ගියාට පස්සේ දෙණුවන්ට ආයෙත් හිතිලා මේක හදලා ගන්න. ඔන්න අයෙත් ඇදගෙන යනවා හදන්න. ඕකේ අමුතුවෙන් හදන්න දෙයක් නෑ. පෙට්‍රල් ටැංකියේ හිල වහලා. හොද බැටරියක් දාලා පෙරේත දෝෂ යන්න දුම් ටිකක් අල්ලලා push start එක ගැහුවම බඩු දෙදරලා පණ ගන්නවා සිකුරුයි... ඊට පස්සේ ඉතිං බලු මයිල් ටිකයි බලු ජරාව ටිකයි සුද්දකරලා හෝදලා ගන්න තමයි තියෙන්නේ... දෙවෙනි පින්තූරයෙන් වංඩියේ පිටිපස්ස පේන විදිය බලන්නකෝ... තාම මෙයා මාර සෙක්සි...

- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...


 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...