සංගක්කාරගේ පැටිකිරිය...


 සංගක්කාර ඇතුළු 2011 ලෝක කුසලානයට ගිය කණ්ඩායම තරඟය ඉන්දියාවට දිනන්න දුන්නද නැද්ද කියන එක අපි තවම දන්නේ නෑ. ඒක නීතිය හමුවේ තියෙන ප්‍රශ්ණයක්. ඒත් දේශපාලකයන් විසින් ඡන්ද දෙකක් කට ළඟ තියාගෙන අවුරුදු නවයකට පස්සේ මේක ඇදලා ගැනීම ගැන නම් රටේ මිනිස්සුන්ට තියෙන්නේ උඝතෝටික ප්‍රශ්ණයක්. 

ක්‍රීඩාංගණයක් තැනීමේ වෑයම අහෝසි වෙනකොට, රටේ පවතින හිරිකිත දේශපාලනයට විසිල් නොගහ ඉන්නකොට මේ වගේ දේවල් මෙහෙම වෙනවද? නැත්නම් 2011 ලෝක කුසලානය කෙසේ වෙතත් මෙවර ICC පුටුව ඉන්දියාවට දීමෙන් හොඳ ගානක් මේ හරහා මෙයාලට ලැබෙනවද? දේශපාලන ඩීල් වගේම රට රටවල් අතරත් මේ වගේ ඩීල් තියෙනවද? මේවා ගැන හොයලා බලන්න වෙනම තැනක් ලෝකයේ තියෙනවද? 

සංගලා හරිද වැරදිද කියන එක මේ රටේ නීතියෙන් විසඳෙන එක ගැනත් රටේ මිනිස්සුන්ට ප්‍රශ්ණ තියෙනවා. රටක නීතියට උඩින් දේශපාලනය බලවත්ව තියෙනකොට ඒ රටේ පවතින දේශපාලන බලයට විසිල් නොගහා නීතියේ සරණක් පැතීමද විහිළුවක්. අපි බලාගෙන ඉමු... ලෝකයක් ආදරය කරන සංගලාට සාධාරණයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු... 

ICC පුටුව කෙසේ වෙතත් ලෝකයක් ආදරය කරන මේවගේ සම්පත් රැක ගන්න දේශපාලකයෝ විදියට උඹලට බැරිනම් තමන්ගේ ඇඟේ තියෙන අසූචී, එක එකාගේ ඩීල් වලට ඔවුන්ගේ ඇඟේ අතුල්ලන්නේ නැතුව ඉන්න කියලවත් බල කරමු...

අන්තිමට කියන්න තියෙන්නේ ඉතිං රටක් විදියට අපිට කවදාවත් ඉස්සරහට නම් යන්න බෑ... යන්න ගියත් රටක් විදියට අපේ එකමුතුකමක් නැති නිසා සහ දේශපාලකයින්ගේ දේශපාලන ඩීල් නිසා හැමදාම අපි ඉන්දියාවේ ගිහිල්ලා වදිනවා... 

සංගා කියන්නේ මනුෂ්‍යත්වය පිරිණු දයාබර හිතක් තියෙන මනුස්සයෙක්... 

තලවතුගොඩ තියෙන එක්තරා සුපිරි වෙළෙඳ සැලක මම දවසක් සංගව අහම්බෙන් දකිනවා. TV වැඩ වලදි එකට වැඩ කරලා පොඩි හැඳුණුම්කමක් තිබුණත් ඔහුත් එක්ක කතාවට නොගිහින්, මම බඩු ගන්න එකත් පැත්තක තියලා බලාගෙන ඉන්නවා ඔහු දිහා. ඔහුගේ කුඩා දරුවත් එක්ක ඔහු එතන තියෙන ට්‍රොලියක් පුරවලා බඩු ගන්නවා. එක එක ජාතියේ සුපිරි කෑම බඩු. කොහොමත් ඉතිං එයාගේ ලයිෆ් ස්ටයිල් එකට හරියන්න එයා ඒවගේ ඉස්තරම්ම ජාතියේ කෑම වර්ග ගන්න ඕනිනේ. ට්‍රොලියට තව බඩු පටවන්න ඉඩක් නෑ. පොඩි දරුවත් තාත්තා එක්කම බඩු ගන්නවා. ට්‍රොලියට දානවා. ඒක තල්ලු කරන්න තාත්තට උදව් කරනවා. මම තාම පිසූ කෑම තියෙන තැන ඉදලා මගේ යාළුවෙකුට කතා කරන ගමන් මේක දිහා බලාගෙන ඉන්නවා.

ඔන්න සංගා බඩු අරගෙන ඉවරවෙලා එතනට එනවා. මම පොඩ්ඩක් එහාට වෙනවා. එතනටත් ඇවිල්ලා ඉස්තරම්ම ජාතියේ කෑම දෙකක් ඕඩර් කරනවා. කෑම දෙක ඔහුට ලැබෙනවා. ඒ දෙක ගන්න ගමන් ඔහු පිටිපස්සට හැරෙනවා. මේක ගන්න... කාටදෝ කියනවා... මමත් හැරිලා බලනවා... 

කුඩා ගැහැණු ළමයෙක් සමඟ පැමිණි අසරණ දුප්පත් මවක් ඇවිත් අර කෑම දෙක අතට ගන්නවා... ඊට පස්සේ සංගා තල්ලු කරගෙන ආපු අර පිරිච්ච ට්‍රොලිය පෙන්නලා.. 

මේ බඩු ටික ඇතිද... තව මොනවා හරි ඕනිනම් කියන්න... 

නෑ... මහත්තයෝ ඔය හොදටෝම ඇති... අසරණ මව කියනවා...

අසරණ ගැහැණු දරුවාගේ මුහුණේ අහිංසක හිනාවක් එනවා... 

සංගා සහ ඔහුගේ කුඩා දරුවා ට්‍රොලිය තල්ලුකරගෙන සල්ලි ගෙවන කවුන්ටරයට යනවා...

මම ෆෝන් එක කට් කරලා මගේ බඩු ටික ගන්න ට්‍රොලිය තල්ලු කරගෙන ඇතුලට යනවා...

මේක මීට අවුරුද්දකටත් වඩා කළින් සිදුවු සිද්ධියක් උනත් මේක මෙහෙම ලියම්දෝ නොලියම්දෝ කියා හිත හිතා ඉදලා, අවුරුද්දකට විතර පස්සේ අද සංගගේ මුඛ ආවරණය අස්සෙන් දැකපු ඒ අහිංසක හිනාව අන්තර්ජාලයේ සංසරණය වෙනකොට මේකත් මෙහෙම ලියලා අන්තර්ජාලයටම දානවා කියලා මම හිතුවා.


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...