RHYTHM 0...

RHYTHM 0...

වර්ෂ 1974 දී, එවකට එතරම ජනප්‍රිය නොවූ සයිබිරියානු රංගන ශිල්පිනියක වූ මරීනා ආබ්‍රමොවිච් විසින් ප්‍රසංග නිරූපණ කලා ඉතිහාසයේ කිසිවෙකුට අමතක නොවන වගේම ලෝකයේ වඩාත්ම කථාබහට ලක් කළ සහ සමහර විට ඇයවත් බලාපොරොත්තු නොවුණු ආකාරයේ භයානක සජීවී රංගනයක් ඉතාලියේ නෙපල්ස් නුවර පිහිටි මොරා කලාගාරයේදී ඉදිරිපත් කළේය. 

RHYTHM 0 (රිදම් 0)නමින් හැඳින්වූ මෙම ප්‍රසංගයේදී ඇය කළ රංගනය ඇත්තෙන්ම ඉතා සරලය. ඇගේ රංගනයට ඇය පාදක කරගනු ලැබුවේ ස්ථාවරව සිටීම එහෙමත් නැත්නම් එක තැනකට වී කාටත් පෙනෙන පරිදි නිසොල්මන්ව බලාගෙන සිටීමයි. මෙසේ ඇගේ රංගනයට පෙර ඇය විසින් විවිධ භාණ්ඩ හා ද්‍රව්‍ය කිහිපයක් ඇය අසල මේසයක් මත තැබූ අතර ඒවා එකින් එක ප්‍රදර්ශණය නැරඹීමට පැමිණෙන අයට හොඳින් පෙනෙන සේ අසුරා තැබුවාය. නැරඹීමට එන අයගේ රුචි අරුචිකම්වලට අනුව එම භාණඩ රැගෙන ඔවුන්ගේ සිතැඟි පරිදි ඒවා භාවිතාකර ඇගේ ශරීරය ඕනෑම දෙයක් කිරීමට අවස්ථාව ලබාදීම ඇයගේ රංගනයේ එකම අරමුණ විය. මෙම මේසය මත ඇය තැබූ විවිධ භාණ්ඩ අතර මල් මිටක්, චොකලට් බ්‍රව්නීස්, දම්වැලක්, කුඩා පිහියක් වැනි අහඹු ලෙස සොයාගත් භාණ්ඩ කිහිපයක් විය. එමෙන්ම මේසය මත තුවක්කුවක් සහ එයට දමන උණ්ඩයක් පවා තබා තිබිණ. මෙම භාණඩ මෙතැනට පැමිණෙන අමුත්තන් හට තමන්ගේ චරිතයන් අනුව හෝ තමන් සතුව තිබෙන හොඳ සහ නරක ගතිගුණ අනුව භාණ්ඩ තෝරාගෙන ඔවුන්ගේ ප්‍රකාශණයන් ඉදිරිපත් කිරීමට ඇය විසින් අවස්ථාව උදාකර තිබුණි. එමෙන්ම මෙහි එන සියළුම අමුත්තන් හට තමන්ට අවශ්‍ය පරිදි මෙම වස්තූන් භාවිතා කළ හැකිවද තිබුණි.

මුළු සංදර්ශනය පුරාවටම මෙම රංගන ශිල්පිණිය පණ නැති වස්තුවක් එහෙමත් නැත්නම් මූර්තියක් විලසින් නිසොල්මනේ සිටගෙන සිටියාය. ඇයගේ එකම පරමාර්ථය වූයේ මූර්තියක් ලෙස නිසොල්මනේ සිටින ඇයව ජීවමාන කලා කෘතියක් ලෙස නරඹන්නන් හට පත්කිරීමට පෙළඹවීමයි. කෙසේ වෙතත් පැය හයක පමණ වේලාවක් පැවති මෙම රංගන අත්හදා බැලීම ඇගේ ජීවිතයේ නරකම සහ වේදනාත්මකම පැය හයක් මෙන්ම අමතක නොවන දිනයක් බවට පත්වන බව ඇය කවරදාවකවත් දැන සිටියේ නැත.

සංදර්ශණය බැලීමට මුලදී පැමිණි ප්‍රේක්ෂකයන් ඉතා කාරුණික හා හොඳ චේතනාවෙන් යුක්තව කටයුතු කරන්නට විය. එතනට පැමිණි සමහරු ඇයගේ අතට මේසය මත තිබූණු රෝස මල් ලබා දුන්හ, සමහරු ඇයට මේසය මත තිබුණු කේක් කැවූහ, සමහරු ඇගේ කොණ්ඩය සැකසූහ, සමහරු පැමිණ ඇගේ අත සොලවා බැලූහ. 


කෙසේ වෙතත් ටිකෙන් ටික කාලය ගෙවී යාමත් සමඟ ඇගේ රංගනය එලෙසම දීර්ඝ වන විට ඇයට සිදුවන සිදුවීම් වෙනස් වීමට පටන් ගත්තේය.  පළමුවෙන්ම එක් නරඹන්නෙක් ඇයගේ මුහුණට සැහැල්ලුවෙන් පහරක් දුන්නේය. ඇත්තෙන්ම ආබ්‍රමොවික් එයට ප්‍රතික්‍රියා නොකලාය. ඒ බව වටහා ගත් එතැන රැස්ව සිටි සමහර අය ඇයට තදින් පහර දීමට පටන් ගත්හ. ඇය කිසිම දෙයකට ප්‍රතිචාර නොදක්වන බව දැනගත් ඇයගේ අත සොලවා බැලූ අය, රෝස මල් අත තැබූ අය වඩාත් ප්‍රචණ්ඩකාරී ප්‍රවණතාවක් පෙන්නුම් කිරීමට පටන් ගත්හ. නමුත් ටික වෙලාවක් යත්ම මීට වඩා දරුණු සිදුවීම් වලට ඇයට මුහුණ දීමට සිදුවිය.


පිරිස අතර සිටි එක් පුද්ගලයෙක් මේසය මත තිබූ තුවක්කුවට උණ්ඩය දමා ඇයගේ නළල මත තැබීය.  ඉන්පසු ඔහු එය ඇයගේ අතට දී බෙල්ලට යොමු වන අයුරින් ඇගේ අත සැකසුවේය. ඔවුන් අතර සිටි සමහර අය පෑනෙන් කාන්තාවගේ නළල සහ මුහුණ මත එක එක දේ ලිවීමට පටන් ගත්හ. ඉන්පසු එක දිගටම ඇයට හිරිහැර කරන්න පටන්ගත්හ. සමහරු ඇයගේ ශරීරය අනවශ්‍යය ආකාරයට අතපත ගාමින් මිරිකමින් සිටියහ, සමහරු ඇයව සිප ගනිමින් සිටියහ, තවත් සමහරු ඇයට කෙළ ගැසූහ..!  අවසානයේදී පිරිස එක්ව ඇය ඇඳ සිටි ඇගේ ඇඳුම් කතුරෙන් කපා ඉරාදමා ඇයව නිරුවතින් තැබූහ. නමුත් ඇය මේ කිසි දෙයකටවත් ප්‍රතිචාරයක් නොදැක්වුවාය. ඒ වගේම එතැන රැස්ව සිටි පිරිසද ඔවුන් මෙතෙක් වෙලා ඇයට කළ කී දේවල් වලින් සෑහීමකට පත් නොවීය.


ටික වෙලාවකින් පිරිස අතර සිටි එක් පුද්ගලයෙක් කුඩා පිහිය ගෙන ඇගේ උදරය යන්තම් කැපීය. එය ඔහුට කිරිමට එතැන සිටි අය ඔහුව දිරිගැන්වීය. ඔවුන් විටින් විට ඇයව තුවාල කර ඇගේ රුධිරය බොහෝ වාරයක් වැගිරෙව්වේය. පිහියෙන් ඇගේ බෙල්ල තුවාල කර ඇගේ ලේ උරා බොන මානසික තත්වයක අය පවා එතැන සිටියහ. ඉන්පසු ඔවුන් එකතුවී ඇයව මූර්තියක් ලෙස ඔසවාගෙන ගොස් මේසය මත දිගා කළේය. එසේ තැබූ ඔවුන් නැවත නැවතත් ඇයට හිරිහැර කළේය.


පසුව නැවතත් ඇයව ඔසවාගෙන ගොස් පෙරසේ තැබූහ. නැරඹීමට පැමිණි පිරිස අතරේ සිටි සමහර හොඳ පුද්ගලයින් හට මොවුන් විසින් මැයට කරන දේවල් හිංසනයක් සේ දැණුනද ඔවුන්ට ඒ අවස්ථාවේ ඒ සඳහා විරුද්ධ වීමට හෝ කිසිවක් කිරීමටවත් නොහැකි තත්වයක් තිබුණි. මේ අතර සමහර අය කාන්තාවගේ ක්ෂණික ඡායාරූප ගැනීමට පටන් ගෙන ඒවා ඇගේ අතේ තැබූහ. හිංසනයන් දිගින් දිගටම මෙලෙස සිදුවන අතරතුර ටික වේලාවකින් ඉවසාගත නොහැකිම තැන ඇය කඳුළු සැලීමට පටන් ගත්තාය. ඇයට මෙතෙක් වෙලා හිරිහැර කරමින් සිටි පිරිසට ඇය ජීවී වස්තුවක් ලෙස ඒත්තු ගැන්වීමට ඇය මෙසේ කඳුළු සැලීය. මෙය දුටු ඔවුන් වහාම ඇයට කරන හිරිහැර නවතා දමා ඉන්පසු ඇයට අනුකම්පා කිරීමට පටන් ගත්තේය.


සිදුවීම් සියල්ල දෙස බලා සිටි පිරිස අතර සිටි එක් කාන්තාවක් ඇයගේ ඉදිරියට පැමිණ ඇගේ කඳුළු පිස දමා ඇයව බදා ගත්තාය.  එවිට කලබලයට පත්වූ ඇයට හිරිහැර කළ අනෙක් අයත් අවසානයේ ඇයව අස්වසාලීමට මැදිහත් විය.  ඔවුන්ගෙන් සමහරෙක් පැමිණ මෙම කළාකාරිණියගේ කැපුම් තුවාල පිරිසිදු කළ අතර තවත් අය ඇයව ඇඳුම් වළින් ආවරණය කළහ.  සමහරු ඇයව සන්සුන් කිරීම සඳහා ඇයට දුම්වැටි දිගු කළහ.


සාමාන්‍යයෙන් වේදිකාවක සිට කරන රංගන කලාවකට එහා ගිය, වඩා සමාජ අත්හදා බැලීමක් බවට පත්වූ මෙම සිදුවීම, එතැන රැස්ව සිටි විකෘති මනසක් ඇති මිනිස්සුන්ට අනෙකාගේ දිරිගැන්වීම තුළින් පහසුවෙන්ම එළියට පනින තමන්ගේ සිත් තුළ ඇති නපුර, නොහික්මීම, කෲරත්වය මනාව හෙළි කළ අවස්ථාවක් වූ අතර මේවාට විරුද්ධවීමට කෙනෙකු තුළ ධෛර්යය නොමැතිවීම, මෙවැනි වින්දිතයෙකුට සහයෝගීතාවය පෙන්වීමට නොහැකි වීමෙන් ඔහු හෝ ඇය ලබන ප්‍රතිවිපාක ද එම රංගණයෙන් ඇය පෙන්නුම් කළාය.


මේ සියල්ල හමාර වී පුරා පැය 6 කට පසු තම රංගනය අවසන් කළ ආබ්‍රමොවික්, රංගන භූමියෙන් ඉවතට ගමන් කිරීමට පටන් ගත් විට, එතැන රැස්ව සිටි සමූහයා ඇයට බයෙන් එතැනින් පලා ගියේ තමන් වෙත එන භයානක පුද්ගලයෙකුට මුහුණ දී ඇති පිරිසක් ආකාරයෙනි.


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...






 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...