හොර ගෑණි...

දවසක් දේශපාලක උන්නාන්සේ කෙනෙක් වැළන්ටයින් දවසේ තරුපහේ හෝටලයක පැවැත්වෙන වැළන්ටයින් සාදයකට තමන්ගේ බිරිඳ එක්ක පැමිණ අසුන් ගෙන ඉන්නවා... ටිකක් වෙලා ඔවුන් මෙහෙම ඉන්නකොට හෝටලයේ ලොබි එක පැත්තේ ඉඳලා ලස්සන කාන්තාවක් පැමිණෙනවා... අර දේශපාලකයාව දකින එම රූමත් කාන්තාව වහාම ඔහු අසලට පැමිණ ඔහුගේ කම්මුලට ආදරණීය හාදුවක් දීලා " අපි පස්සේ කථා කරමු ක්‍රිස් " කියලා ඈතට නොපෙනී යනවා...

ඔහුගේ බිරිඳට මේකට පොඩ්ඩක් කේන්ති යනවා... 

" කවුද ක්‍රිස් ඒ ගෑණි... මෙතන මම ඉන්නවා කියලා ඒකිට ගානක්වත් නැතුව ඔයාව ඉඹලා යන්නේ..." 

" එහෙම කරන්න ඒකිට තියෙන අයිතිය මොකක්ද..." 

" කවුද ඒ සක්කර වට්ටම..?"

" කෑ ගහන්න එපා මැටිල්ඩා... ඒ මගේ... ඒ මගේ... ඒ මගේ... හොර ගෑණි..."

" මොනවා තමුසේ ඒක කියන ලස්සන... වනචරයා... තමුසේ මෙච්චර කාලයක් මට වංචා කළා... මම මේක ලේසියෙන් අත අරින්නේ නෑ... ඉන්නවකෝ මං තමුසෙට හොද වැඩක් කරනවා... මම තමුසෙගෙන් දික්කසාද වෙනවා..."

" හරි... හරි... කෑගහන්න එපා... ඔයා කියනවනං... ඔයාට ඕනිම නං... මම ඔයාට දික්කසාදය දෙන්නං... හැබැයි ඔයාට ඊට පස්සේ ඔයා යන පැරිස් සාප්පු සවාරි යන්න නැතිවෙයි... ගරාජ් එකේ තියෙන ඔයාගේ බෙන්ස් එකයි මොන්ටෙරෝ එකයි දෙකම නැතිවෙයි... හැමදාම හවසට ක්ලබ් එකට යන එක නවතියි... මවුන්ට් එලිසබෙත් ගිහිල්ලා කරගන්න ෆුල් බොඩි චෙකප් නැතිවෙයි... බොලිවුඩ් ට්‍රීට්මන්ට් නැතිවෙයි... බොඩිගාඩ්ස්ලා නැතිවෙයි... තව මොනවද..? ඔය තියෙන ඔක්කොම නැතිවෙයි... ඔයා තීරණය කරන්න... තීරණය ඔයාගේ අතේ..."

ගෑණි ටිකක් වෙලා සද්දයක් නැතුව කේන්තියෙන් වටපිට බල බල කල්පනා කර කර ඉන්නවා. එතකොටම දකිනවා එයාලගේ පවුලේ හිතවතෙක් වන ඇන්ටන් තවත් තරුණ ගෑණියෙක්ගේ ඉනවටා අත දාගෙන හෝටලය ඇතුලට එනවා...

" කවුද ක්‍රිස් අර ඇන්ටන් එක්ක එන ගෑණි..."

" ආ... ඒ... ඒ... ඌගේ හොර ගෑණි..."

" නොදකිං විතරක්... බලන්නකෝ ඒ ගෑණිගේ හැටි විතරක්... මහ සක්කර වට්ටමක් වගේ..."

" ඒ අතින්... ඒ අතින්... අපේ හොර ගෑණි කොච්චර ලස්සනයිද... නේද ක්‍රිස්..." 

 කියලා ක්‍රිස්ගේ අනිත් කම්මුලට ආදණීය උම්මා එකක් දෙනවා...


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...