චිත්‍රකතා පත්තර...
අපි පොඩි කාලේ හරිම ආසාවෙන් තමයි චිත්‍රකතා පත්තර බැලුවේ. සිත්තර, සතුට, මධුර, විජය මේවා ඒ කාලේ තිබුණ නමගිය චිත්‍රකතා පත්තර. ඒ වගේම එක එක ජාතියේ පත්තර තිබුණත් ඒ කාලේ ගොඩාක් ජනප්‍රිය උනේ මෙන්න මේ චිත්‍රකතා පත්තර තුනයි. එයිනුත් සිත්තර සහ සතුට කියන පත්තර දෙක මිනිස්සු අතර සෑහෙන ජනප්‍රියත්වයක් ගත්තා. ටෙලිනාට්‍යය අපේ රටේ මිනිස්සු අතර පැතිරෙන්න කළින් ගම්වල මේ කියන චිත්‍රකතා පත්තරත් එක්ක මුළු ගමක් ගණුදෙනු කිරීම හරි අපූරුවට සිද්ධවුනා. සාමාන්‍යයෙන් ගමේ හැම ගෙදරක්ම වගේ මේවයින් මොකක් හරි පත්තරයක් මිළදී ගන්නවා. ඊට පස්සේ මේ එක් එක් පත්තර ඔවුන් බලලා ඉවර උනාට පස්සේ, ගමේ අනෙක් ගෙවල් අතර මේ පත්තර මාරුවීම සිද්ධ වෙනවා. ගම්වල මිනිස්සු අතර තිබුණු මේ පත්තර හුවමාරුව ගම ඇතුලේ ඔවුන්ගේ එකිනෙකා අතර සබන්ධතාවය තහවුරු කළා.
සිත්තර පත්තරේ එන්නේ සති අන්තයට. ඒ කියන්නේ සිකුරාදා දවල් වෙනකොට පත්තරය එනවා.
ගෙදරට පත්තරේ ගෙනාවා කියන්නේ ඔක්කොම මේක ඉක්මනින් බලලා ඉවර කරන්න තමයි පොරකන්නේ. ඒකට හේතුව ගිය සතියේ කුතුහලයකින් ඉවර කරන ලද කතාවේ, මේ සතියේ කොටස කියවනකම් කට්ටිය ඉවසීමක් නැතුවයි ඉන්නේ. පත්තරේ දෙකට නමලා පිටු හතරකට තමයි එන්නේ. හතර දෙනෙක් පිටු හතර බෙදා ගන්නවා. ඒකක් එක්කෙනෙක් බලනවා. ඊට පස්සේ බලපු පිටුව අනික් අය එක්ක මාරු කරගන්නවා. ගෙදර ලොකු සෙට් එක තමයි ඉස්සෙල්ලාම මේකට පොරකන්නේ. පොඩි එවුන්ට හම්බවෙන්නේ ඊට පස්සේ. පැය භාගයක් විතර යනකොට පත්තර බැලිල්ලේ උණුහුම ඉවරයි. පත්තරේ මේසයක් උඩට වැටෙනවා. ඊට පස්සේ පැයක් දෙකක් විතර ඔහොම තිබිලා පත්තරේ ගම වටේ යන්න පටන් ගන්නවා. සිත්තර පත්තරේ ගන්නේ නැති ගෙවල් ගානේ මේ පත්තරේ ගිහිල්ලා ආපහු එන්නේ දවස් දෙකකට විතර පස්සෙයි. ගෙදරට එනකොට පත්තරේ හැක් වෙලා තමයි එන්නේ. හැක් උනත් ගෙදරට කොහොමහරි පත්තරේ එනවා. නැත්නම් ඊලඟ සතියේ පත්තරේ හම්බවෙන්නේ නෑ කියලා ඒ ගෙවල් වල කට්ටිය දන්නවා.
සිත්තර පත්තරේ දේදුණු-කැළුම් ආදරවන්තයින් එක්ක සරත් මධුගේ 'ඉතිං ඊට පස්සේ' කියන කථාව තමයි ඒ කාලේ ජනප්‍රියම චිත්‍රකතාව උනේ. මේ කතාව වෙනුවෙන් වික්ටර් රත්නායකයන් විසින් පසුව ජනප්‍රිය ගීතයකුත් ගායනා කළා.( https://youtu.be/R7sSXqw4FBU ) ඊට අමතරව 'යුනිකෝ' 'ගජමෑන්' වගේ ජනප්‍රිය චිත්‍රකතා ගොඩක් තිබුණා.
'සතුට' පත්තරේ එන්නේ අඟහරුවාදාට. ඒකත් අර වගේම ජනප්‍රිය පත්තරයක්. 'බට්ටී' කියන කතාව සතුට පත්තරේ තිබුණ ජනප්‍රියම කතාවයි. පස්සේ එය ටෙලිනාට්‍යයක් විදියටත් ආවා. ඒ එක්කම තිබුණු අනෙකුත් කතා මතක නැතත් ඒ කාලේ අතර් යූ අමරසේන, සරත් මධු, කැම්ලස් පෙරේරා, ජයන්ත චන්ද්‍රසිරි, ජනක රත්නායක, ජැක්සන් ඇන්තනී, කුමාරසිරි අබයකෝන්, දයා රාජපක්ෂ, අනුර ශ්‍රීනාත්, සිනෙත් බැද්දගේ වගේ අය තමයි ජනප්‍රියම ලේඛකයෝ සහ චිත්‍ර ශිල්පීන් වෙලා හිටියේ...
ඔහොම කාලේ ගතවෙලා යනකොට රූපවාහිණියේ සංක්‍රමණය නිසාත් බිහිවුණු හොඳ ටෙලිනාට්‍යය නිසාත් මිනිස්සු චිත්‍රකතා පත්තර වලින් ටික ටික ඈත්වෙන්න පටන් ගත්තා. ඒත් රූපවාහිණිය ඇවිල්ලත් සෑහෙන කාලයක් යනකම් මේ චිත්‍රකතා පත්තර වෙළද පොලට ආවා. මිනිස්සු ඒවා බැලුවා...
ඊට බොහෝම කාළයකට පස්සේ අපි ටෙලිවිෂන් රස්සාව කරනකොට අහම්බෙන් මේ පත්තර ආයෙත් අපිට හම්බවෙනවා. අපි වෙදහාමිනේ, නිල් මානෙල් ටෙලිනාට්‍යය රූපගත කරනකොට ඒ ටෙලිනාට්‍යය දෙකේම කැමරා අධ්‍යක්ෂණය කලේ නැසීගිය කේ. ඒ. ධර්මසේන කියන ප්‍රවීණයා. ඔහු ළග ඔහුගේ ආම්පන්න බෑගයේ නිතරම මේ පත්තර තියෙනවා. විවේකයක් ලැබුණු ගමන් ඔහු කරන්නේ මේ පත්තර දිග ඇරගෙන බලන එක.
දවසක් මමත් ඔහුගෙන් පත්තරයක් ඉල්ලගෙන බලන ගමන් ඇහුවා ධර්මේ අයියා තාමත් මේ කතා බලනවද කියලා. එතකොට ඔහු කියනවා "ඔව් මල්ලී මම දන්න කාලේ ඉදලා මේවා බලනවා. ඒත් දැන් මේවා බලන්නේ මේ චිත්‍රකතා රූප රාමුවල අපේ ටෙලිනාට්‍යය වලට ගන්න යමක් තියෙනවා." (ඒ කියන්නේ Camera Angels (කැමරා කෝණ)එහෙමත් නැත්නම් දර්ශණයක් රූපගත කිරීම සඳහා කැමරාව තාක්ෂණිකව භාවිතා කළ යුතු ආකාරය දැක්වෙන රූප රාමු, එහෙමත් නැතුව සරළව කියනවානම් නළු නිලියන් රඟපාන අයුරු ප්‍රේක්ෂකයාට, එහෙමත් නැත්නම් අපට පෙනෙන ආකාරයේ රූප රාමු) "මේ චිත්‍රකතා frams වල හොද ideas තියෙනවා අපිට ගන්න. ඒවා අපේ මේ ටෙලිනාට්‍යය shooting වලදී frames හදාගන්න idias විදියට ගන්න පුළුවන්..." ඔහු කියනවා...
ඒ කියන්නේ අපි නොදන්නවා උනාට ඒ කාලේ චිත්‍ර ශිල්පීන් පත්තරවල චිත්‍ර කතා අදිනකොට මේ කියන කැමරා තාක්ෂණය උපරිමයෙන්ම පාවිච්චියට අරන් තියෙනවා. ඒ නිසා තමයි එකළ චිත්‍රකතා බෙහෙවින් මිනිසුන් අතර ජනප්‍රිය වෙන්නේ. එහි කථා තේමාව වගේම රූප රාමු ඇදීමේදී ඔවුන් භාවිතා කල තාක්ෂණය, ඒ ඒ අවස්ථාවන් වලට අවශ්‍ය කරන ආලෝකකරණය හැසිරවීම සහ රූප රාමුවල තිබුණු මිනිසුන් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව මේ සඳහා සෑහෙන්න බලපාන්න ඇති. ඒ ආභාෂය ඔවුන්ට ලැබුණේ සමහරවිට ඔවුන් කල අධ්‍යණයන්ගෙන්, අත්දැකීමෙන් සහ පැරණි දේශීය විදේශීය චිත්‍රපට ආභාෂයන්ගෙන් වෙන්නත් පුළුවන්. ඒ වගේම කේ.ඒ.ධර්මසේනයන් විසින් කැමරා අධ්‍යක්ෂණය කරන ලද ටෙලිනාට්‍යයන් සඳහා ඔහු මේ චිත්‍රකතා රූපරාමු ආභාෂයෙන් ලබාගත් දැණුම උපරිමයෙන්ම පාවිච්චි කළා...
ඔබ මේ කියන පැරණි චිත්‍රකතා රසවිඳ ඇති අයෙක් මෙන්ම පැරණි ටෙලිනාට්‍යය ලෝලියෙක්ද වේනම් කේ.ඒ.ධර්මසේන කැමරාව මෙහෙයවූ ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ 'වෙදහාමිනේ'... සුනිල් රත්නායක අධ්‍යක්ෂණය කළ 'නිල් මානෙල්'... සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ 'ගොළු හදවත' යන ටෙලිනාට්‍යයන් නැවත වරක් නරඹන්න. ඒ රූප රාමු වල ඇති වෙනස අත්දකින්න...
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...


Comments
Post a Comment