හචිකෝ...
මෙම ඡායාරූපය 1935 මාර්තු 8 වන දින ටෝකියෝ නුවරට තරමක් ඈතින් පිහිටි ෂිබුයා නගරයේ දී ගන්නා ලද හචිකෝ නම් ලෝක ප්‍රසිද්ධ සුනඛයාගේ මරණය හා ශෝක වන්නන් සමඟ අවසන් වරට ගන්නා ලද ඡායාරූපයයි. මේ ඡායාරූපයේ සිටින්නේ මියගිය හචිකෝ, ඔහුගේ සැබෑ අයිතිකරුවාගේ බිරිඳ යේකෝ යූනෝ (ඉදිරිපස පේළිය, දකුණේ සිට දෙවැන්නා) සහ ෂිබුයා දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලයයි.
ගෝල්ඩන් බ්‍රවුන් වර්ගයට අයත්වන හචිකෝ නම් මෙම සුන්දර සුනඛයා උපත ලැබන්නේ 1923 නොවැම්බර් 10 වන දින අකිටා ප්‍රාන්තයේ ඇඩේට් නගරයට ආසන්න ගොවිපලක ය. ඉපදී වසරක් යන්නටත් පෙර ඒ කියන්නේ 1924 වර්ෂයේ මුල් කාළයේදී ටෝකියෝ ඉම්පීරියල් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු වන හයිඩ්සබුරේ යූනෝ විසින් ඔහුගේ පව්ලේ සුරතලා ලෙස හදා වඩා ගැනීම සඳහා මෙම සත්වයාව ටෝකියෝවේ ෂිබුයාහි පිහිටි ඔහුගේ නිවස වෙත ගෙන ආවේය.
යූනෝ නම් මෙම මහාචාර්යවරයා දිනපතා විශ්ව විද්‍යාලයේ රැකියාවට යන අතර, හචිකෝ නම් මෙම බලු පැටියාද සෑම දිනකම මහාචාර්යවරයා සමඟ නිවසට තරමක් ඈතින් පිහිටි ෂිබුයා දුම්රිය ස්ථානයට ඇවිදගෙන ගොස් ඔහු දුම්රියට නැග එය පිටත්ව යන තෙක් බලාසිට නැවත නිවසට පැමිණෙයි. නැවත ඔහු සේවය නිමවී පැමිණෙන දුම්රිය එන වෙලාවට නැවත දුම්රිය ස්ථානයට යන මෙම බල්ලා දුම්රියෙන් බැස එන මහාචාර්යවරයා පිළිගෙන නැවත ඔහුත් සමඟ නිවසට පැමිණෙයි.
මෙම සුන්දර සුනඛයාගේ මෙම පුරුද්ද 1925 මැයි 21 වනදා තෙක් ඒ කියන්නේ යුනෝ මහාචාර්යවරයා නැවත නිවසට නොපැමිණෙන තෙක් නොකඩවා දෛනික චර්යාවක් ලෙස දිගටම කරගෙන ගියේය. 1925 මැයි මස 21 වන එදින මහාචාර්යවරයා දේශනයක් පවත්වමින් සිටියදී මස්තිෂ්ක රක්තපාතය නම් රෝගයට ගොදුරු වී, එදිනම ඔහු ජීවිතයෙන් සමුගන්නේය. මේ කිසිවක් නොදත් හචිකෝ එදින දුම්රිය ස්ථානයේ ඔහුව බලාපොරොත්තුව සිටියත් සුපුරුදු දුම්රියේ ඔහු නැවත නොපැමිණෙන්නේය.
ඉන්පසු මෙම සතා එතැන් සිට 1935 මාර්තු 8 වන දින ඔහු මිය යන තුරුම අවුරුදු නවයකුත් මාස නවයක් සහ දින පහළොවක් යනතෙක්ම නොකඩවා සෑම දිනකම, සුපුරුදු වේලාවට සුපුරුදු දුම්රියේ තම ස්වාමියා වන මහාචාර්ය යූනෝගේ නැවත පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි අතර, කොහේ සිටියත් දුම්රිය නැවතුම්පොළට එම දුම්රිය පැමිණෙන වේලාවේදී හරියටම එහි සිටියේය.
ජීවිත කාලය පුරාවටම මෙම සුනඛයා ජපන් සංස්කෘතිය තුළ පවත්වාගෙන ගොස් සිටියේ පක්ෂපාතීත්වය සහ විශ්වාසවන්තභාවය පිළිබඳ කදිම උදාහරණයකි. මෙම සුනඛයාගේ මරණයෙන් පසු ඔහුගේ මෙම ගුණය සමරා විවිධ පිළිම, චිත්‍රපට, පොත් සහ විවිධ ජාත්‍යන්තර මාධ්‍යවල පවා මේ ගැන, මෙම සත්වයා ගැන කතා කරමින් ජනප්‍රිය ජපන් සංස්කෘතිය තුළ ඔහු ගෙනගිය සත්වගුණය දිගටම සිහිපත් කිරීම සිදුවිය.
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...

Comments
Post a Comment