උදම් රළ...

උදම් (Tide) යන්නෙන් අදහස් කරන්නේ ඉර සහ හඳ අතර ඇතිවෙන ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් අපේ ලෝකය වටේ තියෙන සාගර වල ජල මට්ටමේ සිදුවන ඉහළ සහ පහළ යාමයි.

මේ විදියට සාගර ජල මට්ටම ඉහල යාම වඩදිය විදියටත් ජල මට්ටම පහල යාම බාදිය විදියටත් හදුන්වනවා. උදම් රළ ඇතිවීමට වැඩියෙන්ම බලපාන්නේ පෘතුවියේ ඉදලා කිලෝමීටර් 384,400 ක් දුරින් පිහිටලා තියෙන හඳ නැත්නම් චන්ද්‍රයායි.

හඳේ ගුරුත්වාකර්ෂණයට අහුවෙන පෘතුවියේ හඳට මුහුණලා තියෙන මුහුදු ජල තලය හඳ දෙසට ඇදී යනවා....එතකොට ඒ පැත්තේ මුහුදේ ජල මට්ටම ඉහළ යනවා.

ඒ වගේම හඳට මුහුණලා ඇති පැත්තේ මුහුදේ ජල මට්ටම ඉහළ යන කොට හඳට ප්‍රතිවිරුද්ධ පැත්තේ ඇති මුහුදු ජල මට්ටම ද ඉහළ යනවා. ඒක සිදු වෙන්නේ පෘතුවියේ පරිභ්‍රමණය නැත්නම් කැරකීම නිසා ඇතිවන කෙන්ද්‍රාපසාරී බලය (Centrifugal force) නිසා. ( පෘතුවිය සමකයේදී පැයට කිලෝමීටර් 1,670 ක වේගයෙන් භ්‍රමණය නැත්නම් කරකැවීම සිදුවෙනවා.)

මේක ටිකක් සරල විදියට විස්තර කරනවානම් පෘතුවියේ එක පැත්තක මුහුදු ජලය හඳ දෙසට ඇදී යන විට එය සමාන කිරීමට හඳට පිටුපා ඇති කොටසේද මුහුදු ජල මට්ටම ඉහළ යනවා.....එතකොට එකම මොහොතක පෘතුවියේ පැති දෙකක මුහුදු ජල මට්ටම ඉහල ගිහිල්ලා වඩදිය ඇතිවීම සිදුවෙනවා...

ඒ එක්කම පෘථිවියේ අනෙත් අන්ත වල මුහුදු ජලය පහළ බැසීමෙන් බාදිය ඇති වෙනවා... මේ සිදුවන ක්‍රියාවලිය නිසා පෘතුවියේ මුහුදු ජල මට්ටම දිනකට දෙවරක් ඉහල සහ පහල යනවා... ඊට අමතරව සම්පූර්ණ හඳ  ඇති දවස්වලට මෙම සංසිද්ධිය ටිකක් වැඩිපුර සිදුවෙනවා...

ලංකාවේ ජීවත්වෙන අපිට අපේ රටේත් මේ සිද්ධිය ඉතා සුළු විදියට බලාගන්න පුළුවන්. මුහුදුබඩ ජීවත් වෙන කට්ටිය මේක දිනපතාම අත් විදිනවා. අපේ රටේ මේ අවස්ථාව සුළුවෙන් සිදු උනත් පැසිෆික් සාගර කලාපයට අයත් දූපත් රාජ්‍යයක් වන ෆීජී රටේ මේ වඩදිය බාදිය ඉතාමත් හොදින් අපිට බලාගන්න පුළුවන්. ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ එම රටවල් විශාල වශයෙන් දූපත් වළින් සමන්විත වීම සහ එම දූපත් වටා ඉතා විශාල විදියට කොරල් පර වළින් වටවෙලා තිබීමයි. මෙහිදී මුහුදු ජල මට්ටම ඉහළ යාම හෙවත් වඩදිය තත්වය High tide ලෙසත් මුහුදු ජල මට්ටම පහළ යාම හෙවත් බාදිය තත්වය Low tide ලෙසත් හඳුන්වනු ලබනවා.

පහළින් ඇති පින්තූර කිහිපය දෙස බලන්න එම ඡායාරූපවල තියෙන්නේ ෆිජි රටේ අගනුවර වන සුවා වල සහ වෙනත් ස්ථාන කීපයක මුහුදු තීරයන්වල දර්ශණ කීපයක්. මෙම රට වටේ ඇති මුහුදේ විශේෂත්වය වන්නේ දිනපතාම දහවල් කාලයේ රට අවට ජලයෙන් පිරී තිබෙන මෙම මුහුදු තීරයන් සවස හතර පහ වනවිට මෙහි තිබෙන සියළුම මුහුදු ජලය අඩුවීමට පටන් ගැනීමයි. කොපමණ දුරකට අඩු වෙනවාදැයි කියනවානම් කිලෝමීටර් දෙකක් තුනක් හෝ සමහර තැන්වල ඊටත් වඩා ඈතට මුහුදු ජලය පතුලටම හිදී යනවා. මේ අවස්ථාව මෙහි සිටින සුළු ධීවර මෙයින් උපරිම ප්‍රයෝජනය ගන්නවා. මුහුදු ජලය අඩු වෙනවාත් සමඟම ක්‍රියාත්මක වන ඔවුන් මේ කොරල් පර අතර සිරවී සිටින කුඩා මසුන්, කකුළුවන් හා වෙනත් මුහුදු ජීවීන් අල්ලා ගැනීම සිදුකරනවා. කිලෝමීටර් දෙක තුන ඈතට යනකම් ඔවුන් මෙසේ මෙහි ඈතට ඇවිද යනවා.

නැවතත් ආපසු පසු දින උදෑසන අට නවය වෙනතෙක් මේ තත්වයෙන් තිබී ඉතා ඉක්මනින් නැවතත් මෙම කළාප මිහුදු ජලයෙන් පිරී යනවා. මේ මුහුදු ජලය පිරී යාම සමහර තැන්වල මීටර පහේ සිට දහය දක්වාද සිදුවෙනවා. පැසිෆික් සාගරයේ විශාලත්වයත්, දූපත් රටවල් අශ්‍රිතව කොරල්පර වළින් ගහන වීමත් මෙම රටවල් වල වඩදිය බාදිය මෙලෙස උපරිමයෙන් දැකගැනීමට හැකිවීම ප්‍රධාන හේතුවයි...

- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...


 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...