වෙද හාමිනේ ගීතයක් ගැන...
ඇයි ඔයගොල්ලෝ ඩැඩී ගැන හුගාක් දේවල් වසන්කරගෙන ඉන්නේ..?
මම දන්නේ ඩැඩී මේ වගේ ලංග් කැන්සර් එකකින් මැරුණ කියලා විතරයි...
එතන ඉදන්ම වැරදියි... ඩැඩී මලේ කැන්සර් එකකින් නෙවෙයි පුතා...
ඔහ් ෂිට්... එහෙනං...
ඒක දිග කතාවක් පුතා...
Please I want to know about it... Tell me the truth uncle... Please...
ඩැඩීට මේ ලෙඩේ හැදිලා මෙහේ කිසිම ඩොක්ටර් කෙනෙක් කිසිම හොස්පිට්ල් එකක් සනීප කරන්න බෑ කිව්වම... ඩැඩීව වියානා වලට අරගෙන ගියා කියලා පුතා දන්නවා නේද..?
ඔව්... මමී කිව්ව විදියට ඩැඩී විස්වාස කළා වියානා වලදි එයාට සනීප වෙයි කියලා...
That's right පුතා... හරියට හරි...
නමුත් වියානාවල හිටපු ලෝකේ හොදම ස්පෙෂලිස්ට්ලා කිව්වා දැන් මේ ලෙඩේ සනීප කරන්න පුළුවන් ස්ටේජ් එක පැනලා කියලා...
ඒ වෙනකොට කැන්සර් එක ඩැඩීගේ පෙනහළු දෙකම ආක්‍රමණය කරලා ඉවරයි...
ඒ ගොල්ලෝ කිව්වා ඩැඩී තව මාස තුණකින් මැරෙණවා කියලා...
ඩැඩී කොහොමහරි ඒක එයාගේ මූණටම කියවගත්තා...
මහ පුදුම මිනිහෙක්...
එදා එයා මරණය පිළිබඳ තිබිච්ච බය සම්පූර්ණයෙන්ම නැතිකර ගත්තා...
මළ මිණියක් වගේ වියානා වලට ගිය ඔයාගේ ඩැඩී ආයේ ලංකාවට ආවේ නියම මිනිහෙක් වගේ...
මරණය වැළදගැනීමේ ආදරයෙන් උන්න... මරණයට ආදරය කළ...
අපූරු මිනිහෙක් ඒ ගමනින් පස්සේ අපිට හම්බවුනා...
නමුත් එයාගේ පියානෝ වාදන අහන්න ඊට පස්සේ කවුරුත් ආවේ නෑ...
ඒ හින්දද කොහෙද.........
(පියානෝ වාදනය කරන අත් දෙකක සමීප රූපය)................ ගීතය...
හෝ........ඕ.......ඕ.......ඕ.......
බොඳ වී.... බොඳ වී....
හිස් අවකාසේ...
අල්තාරය උඩ... සුරුවම මත නැග...
හිස් අවකාසේ.............
බොඳවී..............
සමහරවිට ඉහත මෙම දෙබස් ඛණ්ඩ සහ ගීතය ඔබට මතකයට එනවා ඇති. නැත්නම් නැවත වරක් ඔබ අතීතයට ගොස් පොඩ්ඩක් එය මතකයට නගා ගන්න. ගුණේන්ද්‍ර නැමති ව්‍යාපාරිකයා... ඔහුගේ කල්‍යාණ මිතුරු පුවත්පත් කළාවේදියා...ගමේ වෙද මහත්තයා... 'දූවිල්ලෙන් හැදුණු ලියේ බාළලියේ... බාළොලියේ'... වෙදහාමිනේ...
ඔව් ටෙලිවිව් ආයතනය නිෂ්පාදනය කළ ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ 1990 ගණන්වල විකාශණය වූ අතිශ්‍ය ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන 'වෙදහාමිනේ' ටෙලිනාට්‍යයේ එක් දර්ශණයක දෙබස් ඛණ්ඩයක් තමයි ඉහතින් සඳහන් වෙන්නේ... ඊට පස්සේ පියානෝ වාදනය... ඊට පස්සේ ටෙලිනාට්‍යයේ එන චරිතයේ විදියට කමල් අද්දරආරච්චි විසින් ගායනා කරන ගීතයේ මුල් අන්තරා කොටස... එච්චරයි...
ඉතිං මම මේ කතා කරන්න යන්නේ ටෙලිනාට්‍යය ගැනවත් එහි අන්තර්ගතය ගැනවත් නෙවෙයි... එම ටෙලිනාට්‍යයේ එන ගීත තුන අතරින් එක් ගීතයක් වන ඉහත ගීතය සම්බන්ධ පොඩි රසවත් සිද්ධියක් ගැනයි...
මට හිතෙන විදියට මේ ගීතය රචනා කරන්නේ ජයන්ත චන්ද්‍රසිරි. මෙහි සංගීතය ප්‍රේමසිරි කේමදාසයන්ගෙන්... නමුත් මෙම ගීතය ගායනා කරන්නේ කවුද කියා ඔබ දන්නවාද..? ඔබ කියයි මේක කියන්නේ කමල් අද්දරාඅරච්චි නැත්නම් අමරසිරි පීරිස් කියලා... නැහැ... ඔබ වැරදියි... මේක කියන්නේ කමලුත්, අමරසිරි පීරිසුත් නෙවෙයි... එහෙනං කවුද..?
මේ ගීතය ගායනා කරන්නේ විදේශිකයෙක්... රොස්කෝ විලියම්ස් කියන ජනප්‍රිය ඇමරිකානු ජාතික ගායකයෙක්... ඔහු කළු ජාතිකයෙක්... හොද උස මහත බාස්කට්බෝල් ක්‍රීඩකයෙක් වගේ කෙනෙක්... ඉතිං මේ වගේ ජනප්‍රිය ඇමරිකන් ජාතික ගායකයෙක් කොහොමද සිංහල සිංදුවකට සම්බන්ධ වෙන්නේ..? රොස්කෝ විලියම්ස් කියන්නේ ප්‍රේමසිරි කේමදාස මාස්ටර්ගේ හොද යාළුවෙක්. මේ දෙන්නා අතර තියෙන මිත්‍රකම සංගීතය නිසාම ඇතිවුන එකක් කිව්වොත් නිවැරදියි. ඉතිං මේ යාළුකමටත් වඩා ඔහුගේ ඇති දක්ෂතාවය සහ එම ගීතය ගායනා කිරීමට ඔහු නියම සුදුස්සාද වීම, කේමදාස මාස්ටර්ගේ තියුණු ඉවට හසුවීම නිසාම ඔහු මේ ගීතය ගායනා කිරීමට ඔහුව තේරෙන්න ඇති.
ජයන්ත අයියගේ පළවෙනි ටෙලිනාට්‍යය තමයි වෙදහාමිනේ...ඉතිං එයාගේ කළින් වේදිකා නාට්‍ය වල වගේම මේ පළවෙනි ටෙලිනාට්‍යයේත් සංගීත නිර්මාණ කටයුත්ත පැවරෙන්නේ කේමදාස මාස්ටර්ට. ඔන්න ඉතිං වෙදහාමිනේ රූපගතකිරීම් කරන්න කළින් ඒකේ තියෙන ගීත තුන පටිගත කරන්න වැඩ කටයුතු ලෑස්ති වෙනවා. ජයන්ත අයියා ගීත තුන මාස්ටර්ට බාර දෙනවා. සිංදු තුන බලපු මාස්ටර්ට එක සින්දුවක් ගැන පොඩි අයිඩියා එකක් එනවා. එක සිංදුවක් පෙන්නලා ජයන්ත අයියගෙන් අහනවා මේ සින්දුව කියන්න ඉන්නේ කවුද කියලා. සමහරවිට කමල්, එහෙමත් නැත්නම් අමරසිරි පීරිස්... ජයන්ත අයියටත් එහෙම විශේෂ අයිඩියා එකක් නෑ. ජයන්ත අයියා දන්නවා මේකට මොකක් හරි වෙනසක් මාස්ටර් අතින් අනිවාර්යයෙන් වෙනවා කියලා. මාස්ටර්ටත් අවශ්‍ය වෙනවා මේ සිංදුවට මොකක් හරි වෙනසක් කරන්න... මාස්ටර්ට මතක් වෙනවා තමන්ගේ ඇමරිකන් මිත්‍රයාව. ජයන්තට කියනවා රොස්කෝ විලියම්ස් ගැන. මේ දෙන්නම අභියෝග භාර අරගෙන එක්ස්පෙරිමන්ට් කරලා මොකක් හරි අලුත් දෙයක් එලියට දාන්න දඟළන දක්ෂයෝ දෙන්නෙක් නිසා දෙන්නට දෙන්නා වැඩේට කැමති වෙනවා.
ඔන්න ඊට පස්සේ මාස්ටර් ඇමරිකන් මිතුරාට මේ ගැන කියනවා. මිනිහත් එක පයින් මේකට කැමති වෙනවා. මිනිහා තමන්ගේ වියදමෙන්ම කඩාගෙන ලංකාවට එනවා. මාස්ටර්ගේ රාජගිරියේ ගෙදරම ඇවිල්ලා නතර වෙනවා. වැඩේ කියන්නේ මිනිහට එක සිංහල වචනයක්වත් බැරි නිසා සිංදුව සින්ග්ලිශ් වලින් ලියලා දෙන්න මාස්ටර්ට සිද්ධ වෙනවා. ඊට පස්සේ මාස්ටර් මේකේ මියුසික් ඩමි එකත් හදලා මාස්ටර්ම ඒකට වොයිස් කරලා කැසට් පීස් එකට රෙකෝඩ් කරලා පොඩි පෝටබල් කැසට් ප්ලේයර් එකකුත් එක්ක ඇමරිකන් මිත්‍රයට දෙනවා. ඊට අමතරව වෙලා තියෙන තියෙන වෙලාවල් වලට මාස්ටර්ගේ වැඩේ මෙයත් එක්ක සිංදුව පැරැක්ටිස් කරන එක. දවසක් දෙකක් යනකොට මාස්ටර්ට මිනිහගෙන් ගැළවීමක් නෑ. මාස්ටර්ට වෙන වැඩක් කරගන්න මෙයා ඉඩ දෙන්නෙත් නෑ. මාස්ටර්ගේ එකම වැඩේ මිනිහත් එක්ක මේක ප්‍රැක්ටිස් කරන එක. ඒ තරමටම මිනිහා වැඩේට උනන්දුයි. රෑටත් මිනිහා නිදා ගන්නේ නෑ. මහරෑට කැසට් ප්ලේයර් එකත් හයියෙන් දාගෙන පාරවල් දිගේ හයියෙන් සිංදුව කිය කිය යනවා. මාස්ටර්ගේ වැඩේ රෑට මිනිහගේ පස්සෙන් පාරවල් ගානේ ඇවිදින එක. ඒ අතර බල්ලන්ගේ ප්‍රශ්ණ, අසල්වැසි ගෙවල් වලින් එන ප්‍රශ්ණ, පොලිසිවල ප්‍රශ්ණ මේ හැම එකක්ම මාස්ටර්ට විසදන්නත් වෙනවා. ඔහොම ටික දවසක් යනකොට මිනිහා වැඩේට ටික ටික සෙට් වෙනවා. එත් මිනිහා ප්‍රැක්ටිස් කිරිල්ල නං නවත්තන්නේ නෑ. රෑට පාරවල් ගානේ සිංදු කියන එක අහල පහල මිනිස්සුන්ටත් කරදරයක් නිසා බැරිම තැන මාස්ටර් මිනිහව රෑ ගිහිල්ලා දානවා ළග තියෙන කනත්තට. මිනිහට එක කිසිම ගානක් නෑ. කනත්තේ ඇවිද ඇවිද පෙරළි පෙරළි රෑ එළිවෙනකම් මිනිහා සිංදුව ප්‍රැක්ටිස් කරනවා. ඔහොම කරලා කරලා සති දෙකක් තුනක් විතර ගියාට පස්සේ තමයි සිංදුව රෙකෝඩින්ස් වලට සෙට්වෙන්නේ.
රෙකෝඩින් එක කෙරෙන්නේ නුගේගොඩ තිබ්බ 'නෙකෝ' ශබ්දාගාරයේ. රෙකෝඩින් එක කරන්නෙත් ඒ දවස්වල ලංකාවේ හිටිය අංක එකේ ශබ්ද පරිපාලකයෙක් වන මර්වින් බෙන්ස් කියන වැඩකාරයා. ඔහුගේ කණ ඉතාමත් තියුණුයි. කාටවත් පොඩි වැරදීමක්වත් වෙන්න බෑ. පොඩි වැරද්දක් උනොත් රීටේක් කරනවා.
ඔන්න ඉතිං ඉස්සර වෙලාම ඔකෙස්ට්‍රා එක දාලා ට්‍රැක් එක රෙකෝඩ් කරනවා. ඊට පස්සේ වොයිස් රෙකෝඩ්න් එක, හැමදේම හරියටම වෙන්න ඕනි නිසා ඔරිජිනල් ට්‍රැක් එකට තාලෙට පේළියෙන් පේළියට වචන කියලා තමයි මේ සිංදුවේ රෙකෝඩ් කරන්නේ. කොහොමහරි වරද්ද වරද්ද දවසක්ම මහන්සිවෙලා වැඩේ නියමටම ඉවර කරනවා.
ඉතිං ඔන්න ඔහොම සිංහල වචනයක්වත් දන්නේ නැති මිනිහෙක්ගේ කැපවීම කොහොමද කියනවානං නොදන්න භාෂාවක් ඉක්මණින් ඉගෙනගෙන, මාස්ටර්ට වද දිදී මාස්ටර් එක්කම සිංදුව පැරැක්ටිස් කරලා, ඉතුරු හරිය තමන් තනියම මහන්සියෙන් පුරුදුවෙලා, අන්තිමට මාස්ටර්ටයි, ජයන්ත අයියාටයි ඕන කරන විදියටම වැඩේ ඉවර කරනවා. මනුස්සයාගේ කැපවීම නම් අති විෂිශ්ඨයි... ඊටත් වඩා කිසිම මුදලක් අය කරන්නේ නැතුව තමන්ගේ වියදමෙන් ලංකාවට ඇවිල්ලා කරපු කැප කිරීමත් සුළුවට හිතන්නේ නැතුව අගයකළ යුතුම වෙනවා...
මේ ගීතය තියෙන්නේ වෙදහාමිනේ ටෙලිනාට්‍යයේ දෙවෙනි කොටසේ අන්තිමට වෙන්නයි (19:33)... ලින්ක් එකට ගිහිල්ලා සිංදුව බලන්න. කොච්චර් අපූරුවට කමල්ගේ ඒ චරිතයට ගැළපෙන විදියටම ඔහු මේ ගීතය ගායනා කරලා තියෙනවද කියලා...
https://youtu.be/AV6Y0dxhH9o
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...


Comments
Post a Comment