ඇදගෙන ගිය ගොඩනැගිල්ල...

කොමියුනිස්ට් යුගය තුළ රුමේනියාවේ සෑම තැනකම වාගේ සෝවියට් පන්නයේ දැවැන්ත මහල් නිවාස ඉදිකර තිබුණි.  

පසු කාළීනව රුමේනියාවේ 'ඇල්බා ඉලියියා' නගරයේ බලධාරීන් විසින් නගරයේ සුන්දරත්වය උදෙසා විශාල පළලකින් යුක්ත මාර්ගයක් නගරය හරහා සැලසුම් කරමින් සිටියද ඔවුන්ට ඒ සඳහා එකම බාධාවක් වූයේ මෙවැනි පැරණි මහල් නිවාස සහිත ගොඩනැගිල්ලකි. සම්පූර්ණයෙන්ම නොවුනත් එම මහල් නිවාස ගොඩනැගිල්ලේ එක් කොටසක් නිසා ඔවුනට මෙම මාර්ගය ඉදිකිරීමේ ගැටළුවක් වී තිබුණි. පසුව ඔවුන් මේ සඳහා විසඳුමක් තීරණය කළේය. ඔවුන් මෙම මහල් නිවාස ගොඩනැගිල්ල නිවැසියන්ටවත් ගොඩනැගිල්ලටවත් හානියක් නොවන පරිදි එය හරියටම දෙකට කැපුවේය. ඉන් පසු ඔවුනට ඉවත් කලයුතු ගොඩනැගිලි කොටසේ යට හාරා අත්තිවාරම මතුකර ගෙන අත්තිවාරමට යටින් දුම්රිය පීලී සහ දුම්රිය රෝද සවිකර එය ඇදගෙන ගොස් මීටර් 55 ක් (අඩි 180) පමණ දුරින් පාරෙන් අනෙක් පැත්තට රැගෙන ගියේය.

සාමාන්‍යයෙන් මෙවැනි ගොඩනැගිල්ලක් ඇදගෙන යාමට පෙර සම්පුර්ණ ව්‍යුහයම ඔසවා ගැනීම සිදුකල යුතුය. සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ ගොඩනැගිල්ලේ අත්තිවාරම යට මතුකරගෙන ඊට යටින් එයට සමාන්තරව තාවකාලික ශක්තිමත් වානේ රාමුවක් අත්තිවාරමට යටින් සම්බන්ධ කිරීමයි. ඉන්පසු හයිඩ්‍රොලික් ජැක් ජාලයක් වානේ රාමුව යටන් තබා එම ජැක් ජාලයම ඒකාබද්ධ ජැකිං පද්ධතියක් මගින් පාලනය වී වානේ රාමුව සහිත සම්පූර්ණ ගොඩනැගිල්ලම අත්තිවාරම සමඟම ඔසවා ගනු ලබයි. ඉන්පසු ගොඩනැගිල්ලේ බරට සරිළන පරිදි දුම්රිය පීලී සහ රෝද යොදවා ඇදගෙන යාම සිදුකරණු ලබයි.

1987 වර්ෂයේදී සිදුකෙරුණු ටොන් 7600 පමණ බරකින් යුත් මෙම ඇදගෙන යාමේ සම්පූර්ණ මෙහෙයුමට පැය 5 යි මිනිත්තු 40 ක් පමණ ගතවී තිබුණු අතර වර්තමාන වනවිට පෙර එකක් ලෙස තිබූ මෙම ගොඩනැගිල්ල දැන් වෙනම ගොඩනැගිලි 2 ක් ලෙස මාර්ගය දෙපැත්තට වී සිටගෙන සිටියි. මෙහි තිබෙන තවත් විශේෂත්වයක් වී තිබුණේ බලධාරීන් සහ එරට ඉන්ජිනේරුවන් විසින් මෙම සියළුම මෙහෙයුම් සැළසුම් කර සිදු කරණු ලැබුයේ එම ගොඩනැගිල්ල තුළ සිටි නිවැසියන්ද සමඟින් හා ඔවුනට කිසිඳු අපහසුතාවයක් අනතුරක් නොවන ආකාරයට වීමයි. ඒ වගේම මෙම ගොඩනැගිල්ල ඉවත්කිරීමේ මෙහෙයුම කොතරම් සූක්ෂමව කෙරෙන්නේද යන්න වටහා ගැනීමට මෙහි සිටි එක් නිවැසි කාන්තාවක් තම බැල්කනිය අද්දර වතුර වීදුරුවක් තැබූ අතර ගොඩනැගිල්ල ඔසවා රැගෙන යන සම්පූර්ණ මෙහෙයුම් කාළය පුරාවටම එම වීදුරුවේ තිබුණු වතුර නොසැලී, නොසෙල්වී තිබූ ආකාරයෙන්ම අවසානයේදීත් තිබෙන අයුරු ඇයට දැක ගැනීමට හැකිවිය.


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...









 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...