බුරියානි...

විජය කුමාරතුංගයි, ගාමිණී ෆොන්සේකයි එකට රඟපෑව චිත්‍රපටියක තිරයෙන් පිටුපස සිදුවුනු පුංචි සිද්ධියක පරණ කතාවක් මතක් උනා... 

කතාව මේකයි... 

මේ දෙන්නම එකම චිත්‍රපටයේ රඟපෑවා උනාට දෙන්නට දවස් දෙකකට තමයි රූපගතකිරීම් යෙදිලා තිබුණේ. පළවෙනි දවසේ විජයගේ රූපගත කිරීම් යෙදිලා තිබුණා. උදේ වරුවේ යොදාගෙන තිබුණු රූපගත කිරීම් ඉවරවෙනකොට දවල් කෑම වෙලාවත් ඇවිල්ලා. ඔන්න ඉතිං විජය දවල් කෑම කන්න ලෑස්ති උනා. ප්‍රොඩක්ෂන් මැනේජර් එතනට ආවා...

විජය - මල්ලි... මොනවද අද දවල්ට අපිට කන්න තියෙන්නෙ..?

ප්‍රොඩක්ෂන් මැනේජර් - අද සර්ලට බුරියානි තමයි තියෙන්නේ...

විජය - එච්චරද තියෙන්නේ..?

ප්‍රොඩක්ෂන් මැනේජර් - ඔව් සර්... අනිත් කට්ටියට නෝමල් රයිස් ඇන්ඩ් කරි ගෙනල්ලා තියෙනවා...

විජය - ඇයි එහෙම අපිට විතරක් විශේෂයක් කරන්නේ..? 

මට බුරියානි එපා අනිත් අයට වගේ මටත් නෝමල් බත් පැකට් එකක්ම දෙන්න...

එහෙම කියපු විජය නෝමල් බත් පැකට් එකක් ඉල්ලගෙන තාක්ෂණික කණ්ඩායම සහ අනිත් අයත් එක්ක පොඩි කයියක් ගහගෙන කෑම කෑවා... 

ඔන්න දෙවෙනි දවසේ ගාමිණිගේ රූපගතකිරීම් දවස. විජය වගේ නෙවෙයි ගාමිණී ප්‍රොඩක්ෂන් එක යන විදිය ගැන පොඩ්ඩක් හොයලා බලනවා. රූපගතකිරීම් යන අතර ලැබුණු විවේකයකදී ගාමිණී ප්‍රොඩක්ෂන් මැනේජර්ට එන්න කියලා පණිවිඩයක් යැව්වා. ප්‍රොඩක්ෂන් මැනේජර් දුවගෙන ඔහු අසළට ආවා.

ගාමිණී - අයිසේ මල්ලී... අද මට පොඩ්ඩක් බඩගිනි දවසක්... අද දවල්ට හොද මොනවාහරි බඩට දාගන්න ඕනි.. මොනවද අද දවල්ට තියෙන්නෙ..?

ප්‍රොඩක්ෂන් මැනේජර් - සර්ලට බුරියානි පැකට් ඕඩර් කරලා තියෙන්නේ සර්...

ගාමිණී - අද ඔක්කොටෝම බුරියානිද..?

ප්‍රොඩක්ෂන් මැනේජර් - නෑ... සර්... අනිත් අයට නෝමල් රයිස් ඇන්ඩ් කරි පැකට් තමයි තියෙන්නේ...

ගාමිණීට මේකට පොඩ්ඩක් කේන්ති ගියා...

ගාමිණී - ඇයි ඕයි අපිට විතරක් විශේෂයක් කරන්නේ..? යනවා ගිහින් ඔය නෝමල් පැකට් ටික කැන්සල් කරලා අනිත් අයටත් බුරියානි අරගෙන එනවා... ප්‍රොඩක්ෂන් මැනේජර් අනික් හැමෝටම බුරියානි ඕඩර් කරනවා.

දැන් ඡන්ද උණුසුම කට ළගටම ඇවිල්ලා තියෙන නිසා පොඩ්ඩක් හිතලා බලන්න... 

මේ දෙන්නගේ බත් පැකට් නාටකයෙන් නියම සමාජවාදියා කවුද කියලා ඇට් කරලා පෙන්නුවේ කවුද...?

මං හිතන්නේ ඔය ජවනිකාවෙන් සමාජවාදියෙක් නං අපිට හොයාගන්න බැරිවෙයි... හැබැයි මේකෙන් අපේ රටේ අවුරුදු හැත්තෑ ගානක් තිස්සෙ රටේ මිනිස්සු රවට්ටපු පක්ෂ දෙකක් ගැනනං හොඳට හිතාගන්න පුළුවන්...

විජය තාක්ෂණික කණ්ඩායමත් එකත් එක්ක එයාලගේම ජාතියේ බත් පැකට් එකක් කාලා උන් එක්ක කතාබහ කරලා උන්ට පොඩි ආතල් එකක් දෙනවා. අම්මට සිරි විජය හෙන පොරක් උනාට අපි ගානටම වැටිලා අපිත් එක්කම, අපි කන කෑම එකම කෑවා. කිසිම ආඩම්බර කමක් නෑ. නියම සිම්පල් පොරක්නේ... ඊට පස්සේ කට්ටියම විජයට පණ දීගෙන විජය එක්ක ජොලියෙන් වැඩ කරනවා. ඊට පස්සේ වැඩ ඉවරවෙලා විජය ගෙදර ගිහින් දවල් කන්න බැරිවෙච්ච එක අල්ලන්නත් එක්ක බුරියානි එකක් හදවාගෙන කනවා... අර තාක්ෂණික කණ්ඩායමයි අනික් එවුනුයි වැඩ ඉවරවෙලා ගෙදර ගිහින් තමන්ගේ පවුලේ අනිත් කට්ටියත් එක්ක පරිප්පුයි බතුයි සම්බෝලයි කාලා නිදා ගන්නවා... උදෙන්ම නැගිටලා ආපහු සෙට් එකට ඇවිල්ලා සුපුරුදු විදියට වැඩේ කරගෙන යනවා...

දෙවෙනි දවසේ ගාමිණී තාක්ෂණික කණ්ඩායමටයි අනික් කට්ටියටයි බුරියානි ඕඩර් කරලා දෙනවා. එදා හැමෝම බුරියානි කනවා. හැබැයි තාක්ෂණික කණ්ඩායමත් එක්ක සෙට්වෙලා කන්න ගාමිණී එතනට එන්නේ නෑ. එතකොට තාක්ෂණික කණ්ඩායමයි අනිත් කට්ටියයි හිතනවා ගාමිණී නං මාර සිරා පොරක්. නිතරම පොඩි මනුස්සයා ගැන හිතනවා. බලපං අද අපිටත් බුරියානි කන්න අරගෙන දුන්නා. ඉතිං හැමදාම මෙයත් එක්ක මෙහෙම වැඩකරන වෙලාවට අපිට බුරියානි එකක් කන්න පුළුවන් කියලා හිතාගෙන ගාමිණීටත් පණ දීගෙන වැඩ කරනවා. ඊට පස්සේ සුපුරුදු විදියට වැඩ ඉවරවෙලා හවස ගෙදර ගිහින් පරිප්පුයි, බතුයි තව මොකක් හරි එක්ක දවල් කාපු බුරියානි එක මතක් කර කර කාලා නිදා ගන්නවා... ඒ උනාට ගාමිණී වැඩ ඉවරවෙලා එයාගේ ගෙදර ගිහිල්ලා කන්නේ දවල් කෑවට වඩා හොඳ බුරියානි එකක් හරි ඊට වඩා හොඳ පොෂ් කෑමක්..

අපේ රටේ මෙතෙක් කල් අපිව පාළනය කරපු ප්‍රධාන පක්ෂ දෙකත් මෙන්න මේ වගේ තමයි. අවුරුදු හැත්තෑ ගානක් තිස්සෙ කළේ මැතිවරණ ලංවෙන කාලෙට එකාට එකෙක් දෙවෙනි වෙන්නේ නැතිවෙන්න රටේ මිනිස්සුන්ට බොරු පොරොන්දු දීලා උන්ගේ ඡන්දෙ කඩාගන්න එක. රටේ මිනිස්සුත් හරියට විජය ගාමිණී එක්ක නෝමල් බත්, බුරියානි කාලා තාවකාලික ආතල් එකක් ගත්ත තාක්ෂණික කණ්ඩායමයි අනිත් කට්ටියයි වගේ ඒ කාළෙට විතරක් නෙවෙයි, සදහටම මෙයාලගේ උප්පරවැට්ටි වලට රැවටෙනවා...

ගාමිණීගෙයි විජයගෙයි එකට ඉන්න පින්තූරයක් හොයාගන්නකම් දැනට ඔය පින්තූරය ඔහොම තිබුණාවේ..........


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...