කැල්කටා නගරය...

කැල්කටා කියන්නේ ඉතාලියේ උතුරු ලාසියෝ හි ගිනිකඳු කඳු මුදුනක පිහිටා ඇති ඉපැරැණි ඉතාලි ගම්මානයකි.  එහි ඉතිහාසය 'එට්රස්කාන්-ෆාලිස්කන්' ශිෂ්ටාචාරයෙන් ආරම්භ වී වසර 3,000 කටත් වඩා අතීතයට දිව යයි. මෙහි දැන් කුඩා ඉපැරණි නගරයක් ඇති අතර සමහර ගොඩනැගිලි වලට ඉහළින් සහ භූමියේ වීදි මට්ටමට පහළින් බහු මහල් ගුහාවන් ඒ ආකාරයෙන්ම යොදාගෙන කාමර නිර්මාණය කර ඇත. මෙම නගරයේ ඇති පුරාණ ෆාලිස්කන් දේවාලයක් වන 'මොන්ටේලී සාන්ති' ගොඩනැගිල්ලේ නටබුන් අතරින් බිත්ති දිගේ දිවෙන ගේට්ටුවක් හරහා නගරයට ඇතුළුවීමට තනි පිවිසුමක් ඇත.

කැල්කටා නගරයේ කතාව ඇත්ත වශයෙන්ම සුරංගනා කතාවක් වාගේ වන අතර මෙහි පදිංචිව සිටි පුරාණ මිනිසුන්ගේ පරම්පරාව ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වූවන් බව සැළකෙයි. කෙසේ වෙතත් 1930 ගණන්වල එරට පැවති ෆැසිස්ට් යුගයේ ආණ්ඩුව විසින් මෙම ගම්මානය ගුප්ත ගම්මානයක් සේ සැලකූ නිසා 1960 දශකය වන විට එහි පදිංචිව සිටි වැසියන් සමහරක් ඉතාලියේ අලුතින් ඉදිකරන ලද කැල්කටා නුවෝවා ගම්මානය වෙත පදිංචියට ගිය අතර සමහරු රෝම නගරයේ දකුණු දෙසට සංක්‍රමණය වී ඇත. පසුව මෙම ගම්මානය මුළුමනින්ම කාත් කවුරුවත් නැති හුදකලා නගරයක් බවට පත්වී විනාශ වෙමින් පැවතිණි.

නමුත් 1970 දශකයේ දී විනාශ වෙමින් පැවති මෙම පැරණි ගම්මානයට නව ජීවිතයක් ලැබුණි. ඉතාලි හා ජාත්‍යන්තර කලාකරුවන් සහ හිපි ප්‍රජාව එක්වී කැල්කටා හි අතහැර දමා ඇති මෙම නගරයේ නිවාස හා ගුහා තුළ නිරන්තරයෙන් සැරිසැරීමට පටන් ගත්හ. පසුව ඔවුන් මෙම නිවෙස්වල පදිංචිව සිටි පරම්පරා වළින් මෙම නිවෙස් මිල දී ගෙන ප්‍රතිසංස්කරණය කර, වෙළඳපොළවල්, කලාගාර, ක්‍රීඩා පිටියක්, ප්‍රසංග වේදිකාවක්, රැස්වීම් ස්ථානයක්, එළිමහන් වයින් බාර් සහ ආපනශාලා විවෘත කළේය. තවද විවිධ කලා කටයුතු, ස්වර්ණාභරණ, පුරාවස්තු සහ අතීතයේ සිටි සුන්දර මිනිසුන් හා සම්බන්ධ අත්‍යවශ්‍ය 'රෙට්රෝ-වින්ටේජ්' භාණ්ඩ අලෙවි කරන ශිල්පීය සාප්පු ගමේ ආරම්භ කලහ. මේවා සෑම දෙයක්ම ඉතාමත් සූක්ෂම ලෙස නිර්මාණය කරමින් පුරාණයේ තිබුණු ගම්මානය එලෙසම වැඩි දියුණු කර, එය නාගරිකරණය වීමට නොදී එලෙසම රැක ගැනීමට ඔවුන් වග බලාගත්හ. 

කාර්‍ය්‍ය බහුල අගනුවර සිට කිලෝමීටර 40 ක් පමණ දුරින් මෙම ගම්මානය පිහිටියත්, කැල්කටා නගරයට ගියවිට ඔබට දැනෙන්නේ ඔබ ආලෝක වර්ෂ ගණනක් පසුපසට ගියා හා සමානවය. මෙම ගම්මානයට මෝටර් රථයෙන් ඔබට ඇතුළුවිය නොහැක. රථවාහන සෑහෙන දුරක් ඈතින් නවත්වා පයින්ම ඔබට මෙම නගරයට ඇතුල්විය යුතුය. 13 වන සියවසේ 'පලසෝ බාරොනාලේ' බලකොටුවලින් මෙම නගරයට ඇතුල්වූ පසු ඔබට බාහිර ලෝකයත් සමඟ කිසිම සම්බන්ධතාවයක් පැවැත්විය නොහැක. නගරය ඇතුළට ගිය පසු බැංකු යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමට හෝ තැපැල්පත් යැවීමට පවා නොහැකි අතර විශේෂයෙන්ම ඔබගේ ජංගම දුරකථනය මත යැපීම ඔබට මෙහිදී අමතක කිරීමට සිදුවනු ඇත.

- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...




 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...