මිරිඳියේ ජීවත්වන ඩොල්ෆින් මසුන්...

කැස්බෑවන්, කිඹුලන් සහ සමහර මෝරුන් විශේෂයන් සමඟම ඩොල්ෆින් මසුන් කියන්නේත් ලොකයේ පැරණිතම ජීවීන්ගෙන් එක් කොට්ඨාසයක්. ඩොල්ෆින් මසුන් අතරිනුත් 'ගංඟා ඩොල්ෆින්' නමින් හඳුන්වන මිරිඳියෙහි ජීවත්වන එහෙමත් නැත්නම් ගංඟාවල ජීවත්වන ඩොල්ෆින් වර්ගය කියන්නේ ලොව පැරණිතම මිරිදිය ඩොල්ෆින් විශේෂයයි. දකුණු ආසියානු රටවලට පමණක් සීමාවී ඇති මෙම 'ගංඟා ඩොල්ෆින්' විශේෂයෙන්ම ඉන්දියානු උප මහද්වීප කලාපයන්ගෙන් හමුවන අතර මොවුන් එම කළාපයන්වල සිදුවන මිනිස් ක්‍රියාකාරකම් නිසා දැඩි වඳවීමේ තර්ජනයටද ලක්වී සිටියි.

මෙම ඩොල්ෆින් විශේෂය 'ගංඟා ඩොල්ෆින්' සහ 'ඉන්දු ගංඟා ඩොල්ෆින්' යන උප විශේෂ දෙකකට බෙදා ඇති අතර මොවුන් නිල වශයෙන් වර්ෂ 1801 දී පමණ ලොවට හඳුන්වාදී ඇති බව සඳහන් වෙයි. මොවුන් නේපාලයේ, ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ඇති බ්‍රහ්මපුත්‍ර, මේඝානා සහ කර්නාපුලි-සංගු යන ගංගා පද්ධතිවල තවමත් ජීවත්වෙති. අද ලෝකයේ වඩාත්ම දැඩි ලෙස ජලය අපයෝජනයට ලක් වී ඇති මෙම ගංඟා ද්‍රෝණිවල ජීවත්වෙන මෙම සතුන් නිරන්තරයෙන් දූෂණය වන මෙම ගංඟාවල ජලයෙන් තම දිවි ගලවා ගැනීමට අසාමාන්‍ය ඔරොත්තු දීමේ හැකියාවක් නිසැකවම ප්‍රගුණ කරමින් සිටියි. ඒ කෙසේ වෙතත් නිල සංඛ්‍යා ලේඛණවලට අනුව ඉන්දියාවේ ගංගා පද්ධතිවල දැන් මොවුන්ගෙන් ජීවත්ව සිටින්නේ 3,700 ක පමණ සංඛ්‍යාවක් පමණි.

මෙම 'ගංඟා ඩොල්ෆින්' විශේෂය මිරිදියෙහි පමණක් ජීවත් විය හැකි අතර මොවුන්ගේ ඇති තවත් විශේෂයක් වන්නේ මොවුන් සදහටම අන්ධය. ඇස් පෙනෙන්නේ නැති උනත් මොවුන් ජලය තුල දඩයමට විශේෂ දක්ෂකමක් දක්වයි. මොවුන් ජලයේ දඩයම් කරනු ලබන්නේ අතිධ්වනි ශබ්ද විමෝචනය (emitting ultrasonic sounds) කිරීමෙන් වන අතර එමඟින් මාළු හා වෙනත් ජලජ ජීවීන් සිදුකරණ චලනයන් මඟින් ගොදුරුවල ප්‍රමාණයන් සමඟම ඔවුන්ගේ රූපයන් මනසෙහි මවාගැනීමට මෙම සතුන්ට විශේෂ හැකියාවක් ඇත.  ඔවුන් නිතරම තනිවම හෝ කුඩා කණ්ඩායම් වශයෙන් ගංඟාවලදී හමුවෙයි. සාමාන්‍යයෙන් මවක් සහ පැටවෙකු එකට ගමන් කරනු දැකිය හැකියි. උපතේදී පැටවුන්ගේ වර්ණය චොකලට් දුඹුරු පැහැයකින් යුක්ත වෙයි. පසුව ඔවුන් වැඩෙත්ම අළු-දුඹුරු පැහැයකට පරිවර්තනය වෙයි. ගැහැණු සතුන් පිරිමින්ට වඩා විශාල වන අතර වසර දෙකකට හෝ තුනකට වරක් එක් පැටවෙකු පමණක් බිහි කරණු ලබයි.

'ගංඟා ඩොල්ෆින්' නම් මෙම සුන්දර මත්සයාගේ මෙම ඡායාරූපය ගැනීමට මෙම ඡායාරූප ශිල්පියාට පැය හතරක් පමණ ජලයේ ගතකිරීමට සිදුවී තිබෙනවා. 📸 @ganeshwildlife91

- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...