අමීර්ඛාන් නොකරණ ලද උදව්වක් ගැන...
මේ දවස්වල ලෝකය පුරාම වගේම ඉන්දියාවෙත් පැතිරීගෙන යන කොරෝනා වෛරසය නිසා, ඉන්දියාවේ දුප්පත් මිනිස්සූත් අන්ත අසරණ වෙලානේ ඉන්නේ... ඉන්දියාවේ දුප්පත්කම කියන්නේ එය ලංකාවට වඩා හාත්පසින්ම වෙනස් වගේම ද්‍රරිද්‍රතාවය උපරිමයෙන්ම තියෙන රටක්... ඒත් එක්කම මේ වසන්ගතයත් එක්ක ඔවුන් ඉන්නේ අන්ත අසරණ තත්වයක...
ඔන්න මේ අතරේ ඉන්දියාවේ සමාජ මාධ්‍යවලට අපූරු විඩියෝවක් සංසරණය වෙන්න පටන් ගන්නවා. ඒක ඉන්දියාව තුල මහත් ආන්දෝලනයක් ඇතිකරනවා. ඒකේ එන විදියට සඳහන් වෙන්නේ ඉන්දියාවේ ඉන්න සුපිරි නළුවෙක් ජනතාව වෙනුවෙන් කරපු ආධාර බෙදීමක් පිළිබදවයි. එය ලංකාවෙත් සමාජ මාධ්‍ය මෙන්ම සමහර විද්‍යුත් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ උනා. ඒ කතාව ගලාගෙන යන්නේ මෙන්න මෙහෙමයි...
මේ ව්‍යසනය පැතිර යන අස්සේ මේ කියන සුපිරි නළුවාත් කල්පනා කරනවා මේ අසරණ වෙච්ච ජනතාවට මේ අවස්ථාවේ මොකක් හරි උපකාරයක් කරන්න... ඔහු ඉන්දියාවේ දිල්ලියේ තියෙන දුප්පත්ම ගමක් මේ සඳහා තෝරා ගන්නවා...
රොටී කියන්නේ ඉන්දියාවේ ඉන්න දුප්පත් මිනිස්සුන්ගේ ප්‍රධාන ආහාරයයි. ඉතිං කොච්චර සල්ලිකාරයෙක් උනත්, තෝරාගත් මෙම ගම්මානයේ එක් පවුලක් සඳහා පාන් පිටි කිලෝ එකක බෑගයක් දීමට ඔහු තීරණය කරනවා... ඔහූ ලොකු ලේලන්ඩ් ලොරියක් පිරෙන්නම මේ පාන්පිටි කිලෝ එකේ බෑග් පටවනවා... ඊට පස්සේ ඔහු මේ පිටි ලොරිය අර දුප්පත් ගමට යවනවා... ගමේ මිනිස්සු රැස් කරනවා... ඊට පස්සේ ඔවුන්ට කියනවා පාන්පිටි කිලෝ එකක් අවශ්‍ය අයගෙන් පවුලේ එක්කෙනෙක් විතරක් ලොරිය ගාවට එන්න කියලා... ඉතිං ඒ ගමේ පිටි කිලෝ එකක් ගන්න වත්කම් ඇති පිටි කිලෝ එක අවශ්‍ය නැති අය ඒක ගන්න එන්නේ නැතුව ඉන්නවා. පිටි කිලෝ එකක්වත් ගන්න බැරි දුප්පත්ම අය පෝලිමට ඇවිල්ලා මේක අරගෙන ස්තූති කරලා යනවා. මුළු ලොරියෙම තිබුණ කිලෝ එකේ පාන් පිටි මළු දුප්පත් පවුල් අතර බෙදලා දීලා, අර මිනිස්සුන්ගේ ස්තූතිය අරගෙන බෙදූ කට්ටිය ආපසු එනවා...
ඒ රටේ හරියට කන්නවත් නැති දුප්පත් මිනිස්සුන්ට මේ පිටි කිලෝ එක කියන්නෙත් මහ මෙරක් වගේ තමයි. සන්තෝසෙන් අර පිටි කිලෝ එක ගත්ත මිනිස්සු ගෙදර ගිහින් රෝටී හදන්න පිටි ගන්නවා. එතකොට ඒකේ මැද තිබිලා මෙයාලට පොඩි කවරයක් හම්බ වෙනවා. ඒක දිග ඇරලා බැලුවම ඒකේ සල්ලී තිබෙන බව ඔවුන් දකිනවා... ගණන් කර බලනවා... ඔව් ඒ කවරයේ ඉන්දියානු රුපියල් 15000ක්.... ඒ කියන්නේ ලංකාවේ සල්ලිවලින් ගත්තොත් රුපියල් 35000 කට කිට්ටුවෙන මුදලක්... බලන්න එක මල්ලක ඉන්දියානු රුපියල් 15000 ක් එක්ක පිටි කිලෝ එකක් හැම දුප්පත් පවුලකටම ලැබෙනවා... ඒ මිනිස්සුන්ට අදහා ගන්නවත් බෑ. ඒ වගේ කිලෝ එකේ මළු ලොකු ලේලන්ඩ් ලොරියක් පිරෙන්න අරගෙන ගිහින් දුප්පත් ගමක් පුරා බෙදලා තිබුණා. ලැබිය යුත්තාටම එය කිසිම සංදර්ශණයක් නැතුව ලබාදීම මුළු ඉන්දියාව පුරාම ප්‍රසිද්ධ වෙනවා. මේක කළේ ඉන්දියාවේ ඉන්න සුපිරි නළුවෙක් වන අමීර්ඛාන් කියලා ප්‍රසිද්ධ වෙනවා.එය මේ විඩියෝ එකේ කෙනෙක් සඳහන් කරනවා. ඔයාලා දන්නවනේ ඉන්දියාවේ ඉන්න මේ සුපිරි නළුවා ගැන... විවාදයක් නෑ ඔහු ඉන්දියාවේ ඉන්න දක්ෂම නළුවන්ගෙන් ඉස්සරහින්ම ඉන්නවා... සම්මාන අඩුවෙන් ගත්තත්... සම්මාන උළෙලවල් වලට නොගියත් ඔහු ලෝකයේ ඉන්න දක්ෂම නළුවෙක්... ඒ වගේම ඉන්දියාවේ ඉන්න සුපිරි ධනවතෙක්...ඔහු කිසිම සංදර්ශණයක් නැතුව, අඩුම ගානේ ඔහු එයට සහභාගි වන්නෙවත් නැතුව දුප්පතුන්ට කළ මේ උපකාරයට ඔවුන් ඔහුට බෙහෙවින් ස්තූති කරනවා ඔහුට පින් දෙනවා. ඔහුව ඔවුන් දේවත්වයෙන් සළකනවා...
නමුත් ඉන්දීය සමහර පුවත්පත් සහ වෙබ් මාධ්‍ය මෙය බොරු ප්‍රවෘත්තියක් බවත් ඔහු විසින් මෙවැනි දෙයක් කිසිසේත් නොකරන බවත් තම ප්‍රවෘත්ති මගින් ප්‍රසිද්ධ කර තිබෙනවා. මෙම විඩියෝව කවුරුන් හෝ කර සමාජ මාධ්‍යට මුදා හරින්නට ඇති tic tok විඩියෝවක් බව සමහර මාධ්‍ය කියා සිටිනවා.
නමුත් අමීර්ඛාන් හෝ ඔහුගේ මාධ්‍ය ඒකකය මෙම ක්‍රියාව පිළිබද කිසිම නිවේදනයක් නිකුත් කරලා තිබුණේ නෑ. නමුත්පසුව ඔහු twitter පණිවිඩයකින් කියන්නේ ඔහු එසේ නොකල බවයි. ඒත් සමහරුන් පවසන්නේ අමීර්ඛාන් මීට පෙරත් මිනිසුන් වෙනුවෙන් අප්‍රසිද්ධියේ නොයෙකුත් උදව් උපකාර කර ඇති බැවින් ඔහු මේ ගැන සඳහන් නොකළත් අනිවාර්යයෙන්ම ඔහු මෙම ක්‍රියාව කළ බවයි...
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...


Comments
Post a Comment