මීටරේ...
දවසක් හොඳ පොහොසත් චීන අයියා කෙනෙක් බිස්නස් වැඩකට ලංකාවට ඇවිල්ලා ගුවන්තොටුපලේ තියෙන කුලී රථයක් අරගෙන කොළඹ තරුපහේ හෝටලයකට එන්න පිටත්වෙනවා..
ඔන්න ඉතිං අපේ ඩ්‍රයිවර් කොළුවා මේ චීන අයියවත් දාගෙන ගුවන් තොටුපොලෙන් එළියට ඇවිත් හයිවේ එකට එන්ටර් වෙලා 100 වේගයෙන් කොළඹ පැත්තට එනවා...
මෙහෙම ටික දුරක් යනකොට හයිවේ එකේ යන එන වාහන දිහා මේ චීන අයියා ටිකක් ඕන කමකින් බලන්න පටන් ගන්නවා...
ඊට පස්සේ මෙයා අපේ ඩ්‍රයිවර් කොළුවාගෙන් අහනවා...
"මේකද අපේ මිනිස්සු හදලා දීපු... ඔහෙලගේ මහලොකු හයිවේ එක..?"
"ඔව්... සර්... මේ එක පැත්තක් විතරයි..." කොළුවා උත්තර දෙනවා...
"බලනවා... මෙච්චර හොඳට හදලා දීලත්... තමුසෙලාගේ වාහන යන්නේ හරි හිමීටනේ... අපේ රටේ නම් අඩුම ගානේ පැයට කිලෝමීටර් 150-200 ත් අතර තමයි යන්නේ... සමහර තැන්වල ඊටත් වඩා වැඩියි... අපේ වාහන ඒ තරමටම ස්පීඩ්..."
අපේ කොළුවා කිසිම දෙයක් නොකියා හිනාවෙලා තමන්ගේ පාඩුවේ වාහනේ අරගෙන යනවා...
ඔහොම ගිහිල්ලා ඔන්න එකපාරම අපේ කොළුවා වාහනේ පෑලියගොඩින් සාමාන්‍ය පාරට දාලා ටිකක් දුර යනකොට කිරිබත්ගොඩ-අඟුළාන ප්‍රයිවෙට් බස් එකක් කොට කොට පාරේ යනවා මේ චීනායියා දකිනවා...
මෙයා මේ බස් එක දිහා ටිකක් ඕන කමකින් බලනවා...
"මේ තමුසෙලාගේ පබ්ලික් ට්‍රාන්ස්පෝට් බස්ද..?"
"ඔව්... සර්... ඔය එක බස් එකක් විතරයි..." කොළුවා උත්තර දෙනවා...
"බලනවා... මේ බස් එක යනවට වඩා වේගයෙන් මට ඇවිදින්න පුළුවන්... ඒ අතින් අපේ රටේ බස් කොච්චර වේගවත්ද... හිතන්නවත් කළින් අපිට ඕන තැනට යන්න පුළුවන්... ඒ තරමටම අපේ බස් වේගවත්..."
කිරිබත්ගොඩ -අඟුළාන බස් ගැන අවුරුදු ගානක් තිස්සේ හොඳින් දන්න අපේ කොළුවා මුකුත් නොකියා හිනාවක් දාලා ඉස්සරහා බලාගෙන යනවා...
ආයෙත් ඉතිං ඔහොම ටික දුරක් ගිහින් දෙමටගොඩ කෝච්චි පාර උඩින් යනකොට... පාළමට යටින් කෝච්චියක් ගාට ගාට අදිනවා මේ චීනායියා දකිනවා...
"මේ තමුසෙලාගේ පබ්ලික් ට්‍රේන් සිස්ටම් එකද..." චීනායියා අහනවා...
"ඔව්... සර්... ඔය එක ට්‍රේන් එකක් විතරයි... තව තියෙනවා..." ඩ්‍රයිවර් කොළුවා කියනවා...
"බලනවා... ඔහොම හිමිහිට ගිහිල්ලා ඒ මිනිස්සු කීයටද ගෙවල් වලට යන්නේ... ඒකට අපේ රටේ ට්‍රේන්ස්... ඒවගේ යන අපේ රටේ මිනිස්සූ විනාඩි පහෙන් දහයෙන් ගෙවල් වලට යනවා... අපේ ට්‍රේන් සිස්ටම් එක ඒ තරමටම වේගවත්..."
ඒ වතාවෙත් කොළුවා මුකුත්ම කියන්නේ නැතුව හිනාවෙලා තමන්ගේ පාඩුවේ යනවා... ඒත් මේ චීනායියා වැඩේ අතාරින්නේ නැතුව දකින දකින දේවල් එයාලගේ රටේ සිස්ටම් එකත් එක්ක සසඳලා මොනවාහරි අපේ රට ගැන අඩුපාඩු කියවනවා...
අපේ එකාටත් ඉතිං මේකට නහුතෙට තද වෙලා හිටියත් උන්ගේ ණය සල්ලි වලින් ජීවත්වෙන අසරණ ජාතියක්නේ අපි කියන එක ඔළුවට අරගෙන සද්ද නැතුව හොර පාරවල් දෙක තුනකින් ගිහින් මෑන්ස්ව හෝටලයට එක්කන් එනවා...
"හම්මේ යාන්තම් හෝටලේට ආවා... කීයද ඔහේගේ ගාස්තුව...?"
ඩ්‍රයිවර් කොළුවා ටැක්සි මීටරේ චීනායියට පෙන්නන ගමන්...
"රුපියල් 6000 සර්..." කියලා කියනවා...
"මොනවා... තමුසේ විහිළු කරනවද..? මෙච්චර ගානක් උනේ කොහොමද..? තමුසෙලගේ හයිවේ එකේ වාහන යන්නෙත් හරිම හිමීට... පබ්ලික් බස් යන්නෙත් හරිම හිමීට... ට්‍රේන් සිස්ටම් එකත් හරිම ස්ලෝ... එහෙම වෙද්දී මෙච්චර ගානක් එන්න... තමුසෙගේ මීටරේ විතරක් මාර ස්පීඩ් එකකින් වැඩකරන්නේ කොහොමද..?"
"ඒක එහෙම තමයි සර්... මේ මීටරේ MADE IN CHINA නේ ඒකයි..."
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...

Comments
Post a Comment