ලොක්කා...
ආයතනයක ප්‍රධානියෙකුට හිටි හැටියේ එක එක අසනීප එන්න පටන් ගන්නවා. සල්ලි බාගේ යහමින් තියෙන නිසා රටේ ඉන්න හොඳම වෛද්‍යවරු ලවා පරීක්ෂා කරගෙන බෙහෙත් ගත්තත් මෙයාට හරිහමන් සනීපයක් නම් ලැබෙන්නේ නෑ.
දවසක් උදේ පාන්දරින්ම මේ ලොක්කා තමන්ගේ ආයතනයට යන්න හදිසියේ ලක ලෑස්ති වෙනකොට මෙයාට තරමක කැස්සක් පටන් ගන්නවා. කැස්ස නවතින පාටක් නැති නිසා ලොක්කගේ නෝනා උණු වතුර වීදුරුවක් ලොක්කගේ අතට දෙන ගමන් මෙහෙම කියනවා...
"මම හිතන්නේ ඔහේ දැන් පශු වෛද්‍යවරයෙකු ගාවට ගිහිල්ලා පොඩ්ඩක් චෙක් කරගෙන බෙහෙත් ටිකක් ගත්තොත් ඔය තියෙන ලෙඩ සේරම හොඳවෙයි..."
"මට... ඒ මොන මඟුළකටද මම පශු වෛද්‍යවරයෙක් ගාවට යන්නේ..?" ලොක්කා අහනවා...
ගෙදර අතුගාන ගමන් නෝනා ඒකට උත්තර දෙන්න පටන් ගන්නවා...
"දැන් බලනවා තමුසේ උදේ පාන්දරින්ම කුකුළෙක් වගේ ඇහැරෙනවා... නරියෙක් වගේ හූ කිය කියා ඈණුම් දෙක තුනක් අරිනවා... ඊට පස්සේ බාත්රූම් එකට ගිහිල්ලා අලියෙක් වගේ පඩ ඇර ඇර ඒ වැඩේ කරනවා... පස්සේ කපුටෙක් වගේ එහෙන් මෙහෙන් ඔළුව තෙමාගෙන නාගන්නවා... රිළවෙක් වගේ මම උදේට හදලා තියෙන දෙයක් එහෙන් මෙහෙන් කාලා දානවා... ඊට පස්සේ කාර් එකට නැඟලා වටපිට කිසි දෙයක් බලන්නේ නැතුව අශ්වයෙක් වගේ ඔහේ ඔෆීස් එකට දුවනවා... ඔෆීස් එකට ගිහිල්ලත් බූරුවෙක් වගේ ඔහේ වැඩ කරනවා... පොඩි හරි වැරැද්දක් උනාම ඔෆීස් එකේ මිනිස්සුන්ට වලහෙක් වගේ කඩාගෙන පනිනවා... සෙකට්‍රිත් එක්ක ප්‍රේම කුරුල්ලෙක් වගේ දවසම කිචිබිචිය දාගෙන ඉන්නවා... හවසට යාළුවොත් එක්ක ක්ලබ් එකට ගිහින් ඌරෙක් වගේ ඒකේ ලැගලා ඉඳලා ඉබ්බෙක් වගේ හෙමීට ගෙදර ඇවිත් කාර් එකෙන් බැහැලා කකුළුවෙක් වගේ ගේ ඇතුලට එනවා... ඊට පස්සේ මම පොඩ්ඩක් එහෙ මෙහේ උනොත් බල්ලෙක් වගේ මට බනිනවා... රෑට උයලා තියෙන දෙයක් කිඹුලෙක් කිරිමැටි ගිලිනවා වගේ ඔහේ ගිලලා දානවා... එහෙම ගිලලා ගිහින් මී හරකෙක් වගේ ඇඳට පනිනවා... ඊට පස්සේ විනාඩි පහකින් විතර ගෝරිල්ලෙක් වගේ ගොරවන්න පටන් ගන්නවා..."
යන්න ආපු ගමන පැත්තකින් තියලා තමන්ගේ බිරිද මේ කියවගෙන, කියවගෙන යන දේවල් ඇස් ලොකු කරගෙන, කට ඇරගෙන, නළල රැළි කරගෙන, ඔළුවේ අත ගහගෙන ලොක්කා අහගෙන ඉන්නවා...
ලොක්කගේ කිසිම සද්දයක් නැති නිසා නෝනා කතාව නවත්තලා හැරිලා ලොක්කා දිහා බලනවා...
ලොක්කා මේ ඉන්න විදිය දකින නෝනා...
"මොකද තමුසේ උගුඩුවෙක් වගේ මගේ දිහා බලාගෙන ඉන්නේ..."
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...

Comments
Post a Comment