Jack Daniels...

දවසක් එක මනුස්සයෙක් ගඟ ළගට යනවා විනෝදෙටත් එක්ක මාළු ටිකක් අල්ලගන්න කියලා. පැයක් දෙකක් තුනක් බිලිපිත්ත ගඟට දාගෙන ඉන්නවා කිසිම මාළුවෙක් අහුවෙන්නේ නෑ. ඇමට අහුවෙන මාළුවත් මෙයා දාන ඇම කාලා බේරිලා යනවා. දැන් මේ මනුස්සයා ඇමට දාන්න ගෙනාපු පණුවෝ ටිකත් ඉවර වෙනවා. ලොකු මාළුවෝ පේන්න හිටියත් මිනිහට අද මාළුවෙක් අල්ලගන්න චාන්ස් එකක් ආවෙම නෑ.

බලාපොරොත්තුව කඩවුනු නිසා සියල්ල අකුලාගෙන ආපහු ගෙදර යන්න කියලා හිතලා අනිත් පැත්තට හැරෙනකොටම මේ මනුස්සයා දකිනවා ලොකු නයෙක් ගෙම්බෙක් අල්ලගෙන ඌව ගිලින්න දඟලනවා. 

මේක දැකපු මනුස්සයට හොඳ අදහසක් එනවා. කොහොමහරි නයාගෙන් මේ ගෙම්බව ගත්තොත් ඒ ගෙම්බව ඇමට අමුණලා ලොකු මාළුවෙක් අල්ලගන්න පුළුවන්. දැන් මේ මනුස්සයා නයාගෙන් මේ ගෙම්බව ගන්න විදියක් කල්පනා කරනවා. මේ මනුස්සයා දන්නවා මේ නයා ගෙම්බව අල්ලගෙන ඉන්න නිසා ඌ දැන් කීයටවත් මිනිහට දෂ්ඨ කරන්න එන්නේ නෑ. මනුස්සයා හිමීට නයාට පිටිපස්සෙන් ගිහින් එක පාරම පැනලා නයාගේ බෙල්ලෙන් අල්ල ගන්නවා.  දැන් නයාගේ බෙල්ල ටිකක් තද කරනකොට නයා අර ගෙම්බව කටෙන් එළියට දානවා. ගෙම්බත් දැන් බාගෙට මැරිලා ඌත් ඔහේ ඉන්නවා. දැන් මේ මනුස්සයාට අවශ්‍ය වැඩේ කෙරුනට දැන් අර නයාව එකපාර අත අරින්න බෑ. අත ඇරිය ගමන් නයා මිනිහට දෂ්ඨ කරනවා කියලා මිනිහා දැනගන්නවා.

මනුස්සයට හොඳ අදහසක් එනවා. නයාවත් අරගෙන තමන්ගේ අඩුම කුඩුම ගෙනාව මල්ල ඇරලා මාලු අල්ලන ගමන් මේ මනුස්සයා පොඩ්ඩ පොඩ්ඩ ඇඟට දාගත්ත ජැක් ඩැනියෙල් විස්කි බෝතලේ අරගෙන ඒක ඇරලා බිංඳු දෙක තුනක් නයාගේ කට ඇරලා කටට වක්කරනවා. එහෙම දාලා ටික වෙලාවක් යනකොට නයාගේ වෙනසක් මනුස්සයට දැණුනා. නයාගේ ඇස් දෙක උඩ ගිහින් ඇස් ගෙඩි දෙක වට දෙක තුනක් කැරකෙනවා. නයා උගේ දිව කට වටේ දෙතුන් පාරක් යවලා පිහදා ගන්නවා. ඊට පස්සේ ඇස් දෙක අඩවන් වෙලා පොඩි රොමෑන්ටික් ගතියක් පෙන්නුම් කරනවා. නයාගේ මේ ආතල් එක පොඩ්ඩක් බලාගෙන ඉදලා මේ මනුස්සයා හිමිහිට නයාව බිමට අත අරිනවා. අත ඇරපු ගමන් කිසිම හදිසියක් නැතුව වෙනදා ඇදේට යන නයා අද තනි කෙළින් ඊතළයක් වගේ හිමීට කැලේට ඇදෙනවා.

ටික වෙලාවක් මේ දිහා බලාගෙන හිටපු අර මනුස්සයා ගෙම්බව අල්ලගෙන ඇමට දාලා ටික වෙලාවකින් ලොකු මාළුවෙක් දෙන්නෙක් අල්ලා ගන්නවා. දැන් මනුස්සයට සතුටුයි. අල්ලගත්ත මාළු දෙන්නත් අරගෙන බඩු ටිකත් අකුළගෙන අපහු ගෙදර යන්න හදනකොට මෙන්න යකෝ අර නයා ආයෙත් මේ මනුස්සයා ඉන්න තැනට ඇවිල්ලා. නිකං නෙවෙයි තවත් ගෙම්බෝ දෙන්නෙක් කටින් අල්ලගෙන ඇවිල්ලා මේ මනුස්සයා දිහා බලාගෙන ඉන්නවා. 

ඉතිං හිතා ගන්න පුළුවන් නේද මධ්‍යසාරවල බලය... පළවෙනි පාරට බිංඳු දෙකක් කට ගාපු නයා එහෙම හැසිරෙනවා නම්, එක දිගට රස විඳපු දේවල් තියෙන තැන් කොරෝනා නිසා නොහිතපු විදියට වහලා දාලා, ඊට කාලෙකට පස්සේ ඒවා ඇරපු ගමන් අපේ මිනිස්සුන්ට ඇතිවෙන හැගීම ඉතිං අමුතුවෙන් කියන්න ඕනි නෑනේ...

- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...