රූප පෙට්ටිය...
1977 මහ ඡන්දේ යන්තම් මතකයට එනවා. අපි හිටියේ බදුල්ලේ මහ ගෙදර. සීයා, තාත්තා, බාප්පලා දේශපාලණය ගැන දැණුමක් තේරුමක් තිබුණ අය, අපි පොඩි එවුන්. අපි රෑ එළිවෙනකම් ඡන්ද ප්‍රතිඵල ඇහුවා. ගෙදර තිබ්බේ සීයගේ වෑල් වලින් වැඩ කරන රේඩියෝ එක. කරන්ට් එකෙන් තමයි වැඩකරන්නේ. එළිවෙනකම් ඡන්දේ අහන්න තියෙන නිසා කට්ටියටම කන්න බොන්න දේවල් ටිකක් කළින්ම ලෑස්ති කර ගන්නවා. ඉතිං කළින් දවසේ හැන්දෑවේ සීයා කොහේදෝ තිබ්බ හිස් සිමෙන්ති උර දෙක තුනක් හොයාගෙන ආවා. ඕක හිමීට සිමෙන්ති කුඩු අයින්කරලා සුද්ද කරලා ගත්තා. ඉස්සර සිමෙන්ති කොට්ටයක, ඒකේ හයියට කොල දෙක තුනක හොද ලේයර් එකක් තියෙනවා. ඊට පස්සේ ඒ කවරේ තියෙන ලේයර් එකින් එක හිමිහිට ගලවලා හොද ලොකු ෂීට් ටිකක් හදා ගන්නවා. ඡන්ද ප්‍රතිඵල එකෙන් එක ලියන්නේ ඉතිං ඕකේ තමයි. එක්කෙනෙක් රේඩියෝ එකේ යන ප්‍රතිඵලය ලියනවා. තව එක්කෙනෙක් UNP දිනන ඒවා වෙනමද SRILANKA එක දිනන ඒවා වෙනමද අනෙකුත් පක්ෂ ගන්නා ඡන්ද වෙන වෙනමද සටහන් කර ගන්නවා. අමරදේවගේ, වික්ටර් රත්නායකගේ,TM ජයරත්නගේ, නන්දා මාලනීගේ, ජිප්සීස්ලාගේ, මිල්ටන්, ජෝති, ක්ලැරන්ස්, ප්‍රියා, සිසිර, ඉන්ද්‍රානි මෙකි නොකී හැමෝගේම සිංදු අහන ගමන් එළිවෙනකම් නිදිමරණවා. හරි සරලයි උදේ වෙද්දී ඒ ඒ පක්ෂ දිනපු නගර, දිස්ත්‍රීක්ක, දිනපු ආසන ගාන, දිනපු අපේක්ෂකයන් කවුද ඔක්කොම දළ වශයෙන් අපි ඔක්කොම දන්නවා. දැන් වගේ ගැෆික්ස් චාට් ඒකාලේ කොහෙද. ඉතුරු හරිය රෙඩියෝ එකෙන් ආපහු කියනකොට ආයෙත් අර කොල අරගෙන ඉතුරු හරි වැරදි ටික හදා ගන්නවා...
1977 තිබුණු මහ මැතිවරණයෙන් UNP එක දිනුවට පස්සේ රටේ පොඩි පොඩි වෙනස්කම් වේගෙන එන්න පටන්ගත්තා. අපි පොඩි එවුන් කාලේ යන්තම් වගේ මතකයි. හොදම මතකයන් තියෙන්නේ රූපවාහිණිය මේ රට ආක්‍රමණය කරපු විදියයි. ඒ එක්කම කැසට් රෙකෝඩරයත් එනවා. 1979 - 1980 විතර වෙනකොට බදුල්ල ඉලෙක්ට්‍රිකල්ස් කියන කඩේ ඉස්සරහා සෝකේස් එකේ පාරේ යන කාටත් පේන්න දානවා පොඩි අමුතු ජාතියේ පෙට්ටියක්. කවරේ කහ පාටට හුරුයි. මුකුත් නෑ. ඒක ඔහේ තියෙනවා. වයසක මිනිස්සූ කවුරුත් කිව්වේ ඕකට රූප පෙට්ටිය කියලා. අපි ඉස්කෝලේ යන්නේ එන්නේ ඕක ඉස්සරහින්. ඉතින් උදේට නැතත් හවසට ඉස්කෝලේ ඇරිලා එනකොට ඔතන නැවතිලා ඕක දිහා පොඩ්ඩක් බලාගෙන ඉදලා තමයි එන්නේ. දවසක් එනකොට මෙන්න මේක ඔන් කරලා තියෙනවා. මුකුත්ම නෑ කළු සුදු ඩොට්ස් විතරයි. එදා නං ඕක දිහා ඉස්කෝලේ ඇරිලා යන පොඩි කොල්ලෝ කෙල්ලෝ 50ක් 100ක් විතර පොර කකා බලාගෙන හිටියා. මැජික් තමයි. හැබැයි කවුරුත් හෝල් වල චිත්තරපටි බලලා තිබ්බ නිසා දන්නවා මේකෙන් ඒවගේ චිත්තරපටි බලන්න පුළුවන් එකක් කියලා. දවසක් අපි කඩේ අයිතිකාරයාගෙන් මේ ගැන ඇහුවා. ඕකට කියන්නේ ටෙලෙවිෂන් එක කියලත්, ඕකෙන් චිත්තරපටි වලට වඩා දේවල් බලන්න පුළුවන් බවත්, සල්ලි තියෙනවනං ඕන කෙනෙකුට මේක ගෙදරට ගෙනියන්න උනත් පුළුවන් කියලත් කිව්වා. ටික කාලයක් යනකොට මේක කාටවත් වැඩිය ගානක් උනේ නෑ. ඒකත් ඔහේ සෝකේස් එකේ තියෙනවා. අපිත් එතනින් හැමදාම මේක දිහා බල බලා යනවා. මම හිතන්නේ එතකොට රූපවාහිණී හෝ ITN පටන් අරගෙනත් නැති කාලේ...
TV ආගමණය ගැන තව ලියන්න දේවල් නං බොහෝමයි...
ඔයාලටත් මතකයක් තියෙනවානං ඉස්සෙල්ලාම ඔයාලා දැක්ක Television එක ගැන, පොඩ්ඩක් ලියාගෙන යන්න...
- ධම්මික සමරතුංග -
#DhammikaSamarathunga...

Comments
Post a Comment