දෙහි මිරිස් එල්ලීම...
ආදි මානවයා රෝදේ හොයා ගෙන කාළයක් ගියාට පස්සේ භාණ්ඩ ප්‍රවාහනය කරන්න ඒ රෝදේ ආධාර කරගෙන කරත්තයත් නිර්මාණය කර ගත්තනේ. ඒ කාළේ වෙනකොට මේ කරත්තේ එයාලට භාණ්ඩ එහා මෙහා ගෙනයන්න හොද ප්‍රවාහන මාධ්‍යක් උනා. ඊට පස්සේ මේ කරත්ත ඇදගෙන යන්න මිනිස්සුන්ට අමාරු නිසා ඔවුන්ට සිද්ධවෙනවා මේ සඳහා එක එක සත්තු පුරුදු පුහුණු කර ගන්න. මේ සත්තු අතරින් අශ්වයන්, බූරුවන්, හරකුන් ප්‍රධාන තැනක් ගත්තා. මෑත ඉතිහාසයේ වගේම අදටත් යුරෝපයේ බොහෝ රටවල මේ අශ්ව කරත්ත භාවිතය බහුලව දකින්න පුළුවන්. බූරුවන් සහ ගොනුන් ඇදගෙන යන කරත්ත බොහෝමයක් දකින්න තියෙන්නේ දකුණු ආසියාතික රටවල් කීපයක විතරයි. ඒවාගෙනුත් බොහෝමයක් ඉන්දියාවේ, පාකිස්තානයේ බහුලව දකින්න පුළුවන්. ඒ වගේම ලංකාවේත් තවමත් මේ ගොන් කරත්ත වගේම පුත්තලම පැත්තේ බූරුවන් ඇදගෙන යන කරත්තත් සාමාන්‍ය විදියට දකින්න පුළුවන්.
ඉස්සර මේ විදියට සත්තු එක දිගට බොහෝ දුරක් කරත්තයත් ඇදගෙන භාණ්ඩ ප්‍රවාහනය කරගෙන යද්දි උන් එක එක විදියේ ආපදාවන් වලට ලක්වුනා. ඒකෙනුත් මේ සත්තු ගොඩාක් දුක් වින්දේ උන්ගේ කකුල් තුවාල වීමෙන්. දුර ගමන් යනකොට ඇඟට තියෙන අමාරුවට අමතරව ගල් මුල් වල කකුල් වැදිලා උන්ගේ කකුල් කුර අස්සේ තුවාල වෙන්නත් ඊට පස්සේ මඩ වතුර නිසා අර තුවාල කුණුවෙන්නත් පටන් ගන්නවා. මෙහෙම ටික කාලයක් යනකොට උන්ගේ කුර අස්සේ ඇතිවෙන මේ තුවාල වලට පණුවෝ ගහන්න පටන් ගත්තම උන්ට යන්න බැරි වෙලා කරත්ත අතර මග නවතිනවා.
ඉතිං මේකට පිළියමක් විදියට විශේෂයෙන් ආසියාතික පැරැන්නන් කළේ සත්තු මෙහෙම දීර්ඝව ගමන් යනකොට උන්ගේ කකුල් හතරට පෑගෙන්න විටින් විට දෙහි ගෙඩි තියපු එක. සත්තු මේ දෙහි උඩින් ගියාම දෙහි ගෙඩිය තැලිලා ඒකේ තියෙන ඉස්ම කකුල්වල කුර අස්සට හොදින් කාවදිනවා. දෙහිවල තියෙන සිට්‍රික් ඇසිඩ් වලට සතුන්ගේ කකුල්වල කුර අස්සේ තියෙන තුවාල සනීප වෙනවා විතරක් නෙවෙයි බැක්ටීරියා ආසාදන වලින් උන්ගේ කකුල් ආරක්ෂා වෙනවා. මේක පැරැන්නෝ විසින් මේ සතුන් සඳහා අත්හදා බලපු සාර්ථක කෙම් ක්‍රමයක්. ඊට අමතරව සතුන්ගේ කකුල්වල තුවාල ටිකක් වැඩිපුර තියේනවා නම් මිරිස් අඹරලා කුඩු කරලා වතුර එක්ක කළවම් කරලා දියරයක් විදියට කකුල්වලට දානවා. මේ ක්‍රම දෙකෙන්ම ඔවුන් කිසිම ප්‍රශ්ණයක් නැතුව මේ සතුන්ව තුවාල වලින් හැදෙන ආසාදන වළින් ආරක්ෂා කරගත්තා.
ඉතිං කාර්මික දියුණුවත් එක්ක කාළයක් යනකොට වාහනය හොයා ගත්තට පස්සේ ඒකටත් අර දෙහි මිරිස් මෙතඩ් එක පාවිච්චි කරන්න පොටක් පාදගන්න කට්ටිය ප්ලෑන් ගහන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ වාහනය ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යක් වේගෙන එද්දී කරත්ත ටිකෙන් ටික ප්‍රවාහන මාධ්‍යයෙන් අයින් වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම අතීතයේ තිබු දෙහි මිරිස් කෙම් බෙහෙත් ක්‍රමය වෙනත් විධියකට ඇවිල්ලා මේ වාහනවල රෝද හතර උඩිනුත් යන්න පටන් ගන්නවා
ඔන්න දැන් දේවාලවල, කෝවිල් වල පූසාරිලයි, කපුවොයි මිනිස්සුන්ගේ ඔළුවල මිත්‍යා විශ්වාසයන් පුරවලා දෙහි මිරිස් පූජාවට මාකට් එකක් හදා ගන්නවා. සාමාන්‍යයෙන් එදා ඉදලා අපේ මිනිස්සු පළමුවෙන්ම වාහනයක් ගත්ත ගමන්ම කරන්නේ ඒක අරගෙන පන්සලකට, කෝවිලකට හරි දේවාලෙකට යන එකනේ. මෙන්න මේ අවස්ථාව පූසාරිලා සහ කපු මහත්තුරු ප්‍රයෝජනට ගන්නවා. දැන් මේ අතීත දෙහි මිරිස් බෙහෙත නූතනයේ පූජාවකට සෙට්කර ගන්නවා. පූජාවක් කරලා දෙහිගෙඩි හතරක් අලුත් වාහනයේ රෝද හතරට තියලා ඒක උඩින් වාහනය පන්නනවා. දේව ආශිර්වාදය සමඟ සියළු වස් දොස් ඒකෙන් දුරුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ ඇස්වහ කටවහ දුරුවෙන්න කියලා අලුත ගත්ත වාහනේ දෙහිගෙඩි දෙක තුනකුයි මිරිස් කරල් ටිකයි එල්ල ගන්නවා. ඒකත් නිකන් නෙවෙයි ඒකටත් ගානක් දේවාලෙට ගෙවන්න වෙනවා. ඊට පස්සේ පඩුරකුත් ගැටගහ ගන්නවා.
ඉතිං ඔය ටික කරලා ඉවර උනාට පස්සේ ඔක්කොම හරි. ඒ අස්සේ කෝකටත් කියලා ෆුල් ඉන්සුවරන්ස් එකකුත් දාගන්නවා. ඊට පස්සේ තමයි හොදම සෙල්ලම් ටික තියෙන්නේ ඊට පස්සේ ඉතිං පාරේ ඉරි කපාගෙන, වේග සීමා පන්නගෙන, වෙට්ටු දාගෙන දන්න සෙල්ලං ඔක්කොම දාගෙන යන්න තියෙන ඔක්කොම ගමන් ටික යනවා. කිසිම බයක් නෑ. මොකද දෙහි ගෙඩි හතර පන්නලා දෙවියන්ට පූජාවකුත් කරලා තියෙන නිසා දෙයියෝ ආරක්ෂා කරයි කියලා මෙයාලා හිතනවා. ඔන්න ඔහොම අනිත් අවුරුද්දෙත් ගිහිල්ලා බාරේ අලුත් කරනවා. ආයෙත් දුවනවා. ඒ අස්සේ මොකක් හරි පිස්සුවක් නටලා කොහේහරි ඇනගත්තම දෙයියෝ මතක් උනත් දේවාලෙට කළින් ඉස්සෙල්ලම දුවන්නේ ඉන්සුවරන්ස්
කොම්පැණි එකට. ඊට පස්සේ ඒකෙන් අමාරුවෙන් සල්ලි පාස් කරගෙන මදිපාඩුව තව අතිනුත් දාලා කොහොමහරි වාහනේ හදාගෙන ඔන්න දෙවෙනි පාරට ආයෙමත් දුවන්නේ අර දේවාලෙට හරි කෝවිලට හරි. ආයෙත් අළුතෙන් පූජාව කරලා දෙහිගෙඩි පන්නලා ඒ වගේම දෙහි මිරිස් සෙට් එකක් ආයෙත් එල්ල ගන්නවා.
දැන් ටිකක් කල්පනා කරලා බලන්න, සතුන්ගේ තුවාලවලට බෙහෙතක් විදියට ආපු මේ දෙහි, මිරිස් බෙහෙත් ක්‍රමය මිනිස්සුන්ගේ දියුණුවත් එක්ක මිත්‍යා විශ්වාසයන් හරහා ඇවිල්ලා මාකට් වෙන අපූරුව.
ඒ ගැන පොඩ්ඩක් මතක් කරල දීලා මම දැන් ඔයාලට කියන්න ගියේ, දැන් ඕකම තමයි ඉස්සරහට කොරෝනා නිසා විශේෂයෙන්ම හඳුන්වලා දුන්නු ඔය මුඛ ආවරණයටත් වෙන්නේ. දැන් ඔය වෛරස් එකෙන් ගැලවෙන්න කට්ටිය හැමෝම මේක දාගත්තට, කාළයත් එක්ක ඕකටත් මිත්‍යා විශ්වාසයන් රිංඟ ගන්න ඉඩ තියෙනවා. තරුණියන්ගේ හැදියාව, සංවරකම, පිරිසිදුබව ආදී නොයෙක් දේවල් දාලා ඉදිරියේදී මේකට හොඳ මාර්කට් එකක් හැදේවි. ඉදිරියේදී තරුණියක් විවාහ කරලා දෙනකොට මව විසින් චාරිත්‍රාණුකූලව නැකතට මනාලියගේ මුඛ ආවරණය පැළඳවීම, පෝරුවේදී මනමාලයා විසින් නැකතට මුඛ ආවරණය ගැලවීම වගේ චාරිත්‍ර ඉදිරියට එන්නත් පුළුවන්. විවාහය පරක්කුවන යුවතියන්ට තියෙන ඒ අපලය දුරුවෙන්න ගමන් බිමන් යාමේදී එක දිගට මාස තුනක් රෝස පැහැයෙන් යුක්ත මුඛ ආවරණයක් පැළදීම වගේ දේවල් එන්නත් පුළුවන්. ඒ වගේම සමහරවිට ඉස්සරහට මුඛ ආවරණය දේවාල, කෝවිල්වල පූජා භාණ්ඩයක් වෙන්නත් ඉඩ තියෙනවා.
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...

Comments
Post a Comment