ටෙලිවිෂන් එක ආපු අළුත...

ටෙලිවිෂන් එක එන්න කළින් අපි අබ්බැහිවෙලා හිටියේ රේඩියෝ එකටනේ. ලංකාවටම තිබ්බේ එකම එක රේඩියෝ ස්ටේෂන් එකයි. ඒ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. පොඩි කාලේ අපේ කණවල් වලට වැටුනේ වගේම අපේ මතකයට එන්නේ කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්, අශෝක තිලකරත්න, පාලිත පෙරේරා, ප්‍රේමසර ඈපාසිංහ, KDK ධර්මවර්ධන යන අයගේ හඬවල් තමයි.  ඒ වගේම මුවන් පැලැස්ස රේඩියෝ නාට්‍ය මම හිතන්නේ ඒ කාළේ රටේ කවුරුත් අත අරින්නේ නැතුව අහපු නාට්‍යක්. ඒක යන වෙලාවට ඔක්කොම වැඩ නතර කරලා රේඩියෝ එක වටේ ඉදගෙන කිසිම සද්දයක් නැතුව කට්ටියම මේක අහනවා. ඒ කාලේ රූප නැතත් මනසින් මුවන් පැලැස්ස ගම වෙත අපි හැමෝවම එක්කරගෙන යන්න පුළුවන් හැකියාවක් ඒ ශිල්පීන්ට තිබුණා. මුවන් පැලැස්ස ඒ තරමටම ලංකාව පුරා ජනප්‍රිය උනා. ඒ එක්කම මොනර තැන්න, අම්බිගා ගීතයෙන් ගීතය, නිවේදක තෝරයි සංගීත වැඩසටහන වගේ වැඩ සටහනුත් අපි අතර ජනප්‍රිය උනා. " ඒ හඩ ඇහෙන්නේ මාලිගාවත්ත ලී මෝලෙන්",  "මල් නම් ජයරත්න - ජයරත්න නම් මල්" , "දාසගේ ඩියුරෝ" ඔයවගේ ඒවා තමයි ඒ දවස්වල ගිය වෙළද දැන්වීම්...

ඔන්න 1980 - 1981 විතර වෙනකොට බදුල්ලේ තිබුණ කඩ දෙකතුනකට ටෙලිවිෂන් විකුණන්න පටන් අරගෙන තිබ්බා. පුළුවන් පුළුවන් කට්ටිය දැන් ටෙලිවිෂන් මිළදී ගන්න පටන් ගන්නවා. කොහොමහරි අපේ ගෙදරටත් ගන්නවා අගල් 17 GoldStar කියලා B&W එහෙම නැත්තං කළු සුදු ටෙලිවිෂන් එකක්. ඒකත් එක්කම National Panasonic Stereo කැසට් රෙකෝඩරයකුත් ගන්නවා. දැන් ඉතිං ගෙදර තියෙන වටිනාම බඩු දෙක මේ දෙක තමයි. මේ දෙක ඇස් දෙක වගේ තමයි බලාගන්නේ.

හැබැයි ඉතිං ටෙලිවිෂන් එක තිබ්බට ඒ කාලේ මේකේ එක දිගට බලන්න වැඩසටහන් නම් මොකක්වත් තිබ්බේ නෑ. ඒ කියන්නේ රූපවාහිණී, ITN පටන් ගන්නත් පෙර කාලේ. TV එක ඔන් කරපු වෙලාවට නිතරම ඉතිං දකින්නේ අර කළු සුදු ඩොට්ස් ටික තමයි. ඉදලා හිටලා ඔන්න බීප් සද්දෙත් එක්ක කළු සුදු පටි ටිකක් පේන්න ගන්නවා. (පස්සේ තමයි දැනගන්නේ බීප් සද්දේ කියන්නේ Call tone එක, කළු සුදු පටිවලට කියන්නේ Color Bars කියලා ඇත්තටම මේවා පාට තීරු) ඔන්න ටිකක් වෙලා යනකොට රුසියාවේ නිෂ්පාදනය කරපු කාටූන් දෙකක් විතර පෙන්නනවා. ඊට පස්සේ ඉතිං ආයෙත් කළු සුදු ඩොටස් ටික තමයි. ඊළගට පෙන්නන්නේ මොනාද, පෙන්නන්නේ කීයටද කියලා කිසිදෙයක් කවුරුත් දන්නේ නෑ. මම හිතන්නේ මේ කාලේ තමයි ලංකාවේ Television Transmission check කරන කාලේ. ඒ නිසා ඉතිං උදේ නැගිටපු වෙලාවේ ඉදලා රෑ නින්දට යනකම් ගෙදර TV එක ඔන් එකේ තමයි තියෙන්නේ. ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලත් නිවාඩු දවස්වලත් දැන් ඉතිං මේ TV එකත් එක්ක ඔට්ටු වෙන එක තමයි කරන්නේ. දවසම අර ඩොට්ස් දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නවා. සමහර වෙලාවට එක දිගටම ඩොට්ස් දිහා බලාගෙන ඉන්නකොට එක එක්කෙනාට එක එක රූප ඒ අතරින් පේනවා කියලත් කෑගහනවා. ඒක බොරුවක් කියලා පස්සේ තේරෙනවා.වෙනදට ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා ගමේ කොල්ලෝ කුරුට්ටෝ එකතුවෙලා කරන සෙල්ලම් කිරීම, ගඟේ නාන්න යාම, හොරෙන් වතුවලට පැනලා ගෙඩි කඩන ඒවා ඔක්කොම දැන් නවතිනවා. ඔක්කොම කොල්ලෝ කුරුට්ටෝ අපේ ගෙදර. කට ඇරගෙන අර ඩොටස් දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ Color Bars එනවා. කාටූන් පෙන්නනවා.මේ වගේ ඉතිං දවසට හතර පස් වතාවක් විතර අර රුසියානු කාටූන් ටික යනවා. ඒවා බලනවා.

දැන් ඉතිං කට ඇරගෙන මේවා දිහා බලාගෙන හිටියට මේකේ පෙන්නන පින්තූර නම් එච්චර පැහැදිලියට පේන්නේ නෑ. ඉතිං ඊළග යුද්දේ තියෙන්නේ මේ පෙන්නන කාටූන් ටික පුළුවන් උපරිමයෙන් හොදින් බලාගන්න එකයි. ඔහොම බලාගෙන ඉඳලා ඉඳලා අර Color Bass දාන වෙලාවට ඇන්ටනාවත් එක්ක යුද්දේ පටන් ගන්නවා. කොහොමත් අපේ පළාතේ මේ පින්තූර හරියට නොපෙනෙන ප්‍රශ්නය නිසා ඇන්ටනාවත් එක්ක මීටර් 20ක 30ක විතර දිග කේබල් රෝලකුයි, බූස්ටරයකුයි
වෙනමම අරගන්න වෙනවා. ඒත් එක්කම අඩි 20ක් විතර දිග යකඩ බටයක ඇන්ටනාව ගැට ගහලා තියෙන නිසා අර Color Bars තියෙන වෙලාවට මේක දෙන්නෙක් විතර උස්සගෙන ගේ වටේ දුවනවා... වහලේ උඩ ඉදන් එක්කෙනෙක් කේබල් එක දෙනවා... ඔන්න තැනක තියෙනවා... හිමිහිට වටයක් කරකවනවා... "හරිදෝ.." එතකොට ගේ ඇතුලෙන් " තාම නැතෝ" ඉතිං ආයෙත් උස්සගෙන දුවනවා... කරකවනවා... "දැන් හරිනං කියන්ඩෝ" ගේ ඇතුලෙන් "තාම නැතෝ... කරකවන්ඩෝ.." "හරිදෝ..." "නැතෝ" ඔන්න ඉතිං ආයත් උස්සගෙන දුවනවා ඔහොම ගිහිල්ලා ගිහිල්ලා එක තැනකට ආයෙමත් තියෙනවා... "දැන් නං පොඩ්ඩක් හරි වගේ... පොඩ්ඩක් කරකවන්ඩෝ..." "කරකවනවා බලන්ඩෝ..." ඔහොම තියන්ඩෝ... පොඩ්ඩක් පස්සට කරකවන්ඩෝ..." "දැන් හරිදෝ..." "හරි... හරි... තව පොඩ්ඩක් අනික් පැත්තට..." "දැන් හරි ඔහොම තියන්ඩෝ..." හම්මේ ඇති යන්තං කියලා පොඩ්ඩක් වටපිට විපරං කරලා බලද්දී ගේ වටේම මේ ඇන්ටනාව උස්සන් ගිහිල්ලා ආපහු හිටපු තැනටම ඇවිල්ලා කළින් තිබ්බ තැනටම ඇන්ටනාවත් සෙට්වෙලා, ඉස්සරවෙලා හැරිලා තිබ්බ පැත්තටම ඇන්ටනාවත් හැරිලා තියෙනවා...
කොහොමත් ඉතිං මේ අන්ටෙනා යුද්දේ ඉවරවෙනකම් අර Color Bars එක්ක Call tone එක පැය භාගයක් විතර තියෙනවා. ඊට පස්සේ ඔන්න ඉතිං කාටූන් පටන්ගන්නවා. ඒක විනාඩි 20ක් පැය භාගයක් විතර යනවා. ඉවර උන ගමන් ආයෙත් ඩොට්ස් ටික වැටෙනවා... ආයෙත් කට ඇරගෙන බලාගෙන ඉන්නවා ඒ අතර අර Color Bass වැටුන ගමන් ආයෙත් වෙන කොහේටහරි ඇන්ටනාව උස්සන් යන්න වෙන දෙන්නෙක් සෙට් වෙනවා.
මේ එක්ස්පීරියන්ස් එක ඔයාලටත් ඇති... තියෙනවනං ලියාගෙන යන්න... දැනට ඔච්චරයි...

- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...


 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...