මියගිය ඥාතින්ගේ මළකඳන් ගොඩ ගැනීමේ චාරිත්‍රය...

ඉන්දුනීසියාවේ එක්තරා ගම්මානයක වෙසෙන ගම්වැසියන් විසින් ඔවුන්ගේ මියගිය ඥාතින් සිහිකිරීම සඳහා වසරක් පාසා හරි අපූරු උත්සවයක් පවත්වනවා. 

අපේ රටේ නම් අපේ ඥාතියෙක් මියගියාම අපි කරන්නේ දවස් හතේ බණ කියලා දානයක් දීලා ඊට පස්සේ තුන් මාසේ බණ හෝ පිරිත් කියලා දානේ දීලා ඊළගට අවුරුද්දේ සැමරුමත් ඒ විදියටම කරලා ඉන්පස්සේ අවුරුද්දෙන් අවුරුද්ද පන්සලට දානේ පිරිනමන එකනේ.

නමුත් ඉන්දුනීසියාවේ ටොරාජා ගමේ පදිංචිකරුවන් තම මියගිය ඥාතින් සිහිකිරීම සඳහා අවුරුද්දකට සැරයක් පවත්වන මේ උත්සවයට මියගිය ඥාතින්ගේ මළකඳන් නැවත ගොඩගැනීම කරනවා. මෙසේ සොහොන් ගෙවල් වලින් ගොඩ ගන්නා මළකඳන් ඔවුන්ගේ නිවෙස් වලට අරගෙන යනවා. ඉන් පස්සේ මේ මළකඳන් පෙට්ටිවලින් ඉවතට ගෙන හොදින් සෝදා පිරිසිදු කර ඒවාට අලුත් ඇඳුම් අන්දවනු ලබනවා.

ඉන්පස්සේ ඔවුන්ගේ ඥාතියන් ජීවත්ව සිටියදී ආසාකරපු සියළුම කෑමබීම වලින් සමන්විත පූජාවන් මෙම මළකඳන් සඳහා පැවැත්වීම ප්‍රථමයෙන් සිදුකරනවා. මේ අතර සමහර මළකඳන් වලට මධ්‍යසාර පෙවීම, සිගරට් පෙවීම ආදියද සිදුකරනවා. 

ඔවුන් මෙසේ සිදුකරනු ලබන්නේ මියගිය මෙම මළසිරුරු තුළ තම ඥාතින්ගේ ආත්මයන් රැදී පවතින බවටත්, එම ආත්මයන් රැකගැනීම ඔවුන් විසින් කල යුතු ඔවුන්ගේ යුතුකමක් විදියටත් ඔවුන් සලකන නිසයි.

ඉන්පස්සේ පවුලේ සියළුදෙනා එකතුවී මළකඳන් සමඟ එකට විවිධ ඉරියව්වලින් සිට ඡායාරූපද ගනු ලබන අතර පසුව මළකඳන් සමඟ පවුලේ සියළුදෙනා එකතුවී ජීවත්ව සිටි කාළයේ එම ඥාතින්ගේ විවිධ ගුණ කතා කරනවා. ඊට අමතරව විහිළු තහළු කිරීම, කතන්දර හුවමාරු කරගැනීම, ගීත ගායනය ආදිය අවසන් වශයෙන් කරනවා. එසේ කිරීමෙන් ඔවුන්ගේ ආත්මයන්ට විශාල ගෞරවයක් ඇතිවන බව ඔවුන් විශ්වාස කරනවා.

අවසානයේ නැවත මළසිරුරට බෙහෙත් ගල්වා අලුත් පෙට්ටියක බහා නැවතත් වල දමනවා. ටොරාජා ගමේ පවත්වන මෙම උත්සවය 'මානේනේ' (ma’nene) ලෙස හඳුන්වනු ලබන අතර අවුරුද්දක් පාසා පවත්වන මෙම උත්සවය සඳහා ගමෙන් විසිරී ඉන්දුනීසියාවේ විවිධ පළාත්වල ජීවත්වන මේ ගමේ සියළු පිරිස් තම පවුල් සමඟ එදිනට එකතු වෙනවා.

- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga... 13/06/2020









 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...