කුකුල් මස්...

මැදිවියේ කාන්තාවක් නගරයේ තියෙන කුකුළ් මස් කඩේකට ගොඩ වෙනවා. ටිකක් හවස් වෙලා නිසා වෙළදාම් කටයුතු හමාර කරලා මුදලාලි කඩේ වහන්න ලෑස්තිවෙලා ඉන්නකොට තමයි මෙම කාන්තාව කඩේට ඇතුළු වෙන්නේ. 

" මුදලාලි කුකුළ් මස් තියෙනවද..?" කාන්තාව මුදලාලිගෙන් අහනවා.

මුදලාලි ගොස් තමන්ගේ අධි ශීතකරණ දෙක තුනක්ම ඇරලා බලනවා. කුකුළ් මස් සියල්ල විකිණී හමාරයි. ඔහු ගොස් ඔහුගේ අන්තිම අධි ශීතකරණයත් අරිනවා. හොඳ වෙලාවට එකම එක කුකුළෙක් එහි තිබෙනවා ඔහු දකිනවා. එය ශීතකරණයෙන් රැගෙන ඇවිත් තරාදිය මත තබනවා. එම කුකුළාගේ බර කිලෝ එකහාමාරක් බව දෙදෙනාම දකිනවා.

" මීට වඩා ටිකක් ලොකු කුකුළෙක් නැද්ද මුදලාලි..?" කාන්තාව මුදලාලිගෙන් අහනවා.

කුකුළ් මස් ඉවරයි කියලා කියන්නෙත් නෑ. මේ අන්තිම කුකුළා කියලා කියන්නෙත් නෑ. මුදලාලි අර කුකුළා අරගෙන ආයෙත් අධි ශීතකරණය වෙත යනවා. අතේ තිබුණ කුකුළා ආපහු ශීතකරණයට දාලා ආයෙත් ඒ කුකුළාම අතට අරගෙන ඇවිත් ආයෙත් තරාදියේ තියෙන ගමන් තමන්ගේ මාපට ඇඟිල්ලෙන් තරාදිය පොඩ්ඩක් තද කරනවා. දැන් මේකේ බර කිලෝ දෙකක් විදියට පෙන්නුම් කරනවා.

" හරි නියමයි මට මේ කුකුළා දෙන්න... එත් එක්කම අර කලින් කිරපු කුකුළත් දෙන්න..." 

පොඩ්ඩක් මේ ගැන හිතලා බලන්න... 

ඔබ මේ කුකුළ් මස් කඩේ මුදලාලි නම් මේ අවස්ථාවේ ඔබ කරන්නේ කුමක්ද..? 

නගරයේ සිටින කීර්තිමත්ම, විශ්වාසවන්තම මුදලාලියා ලෙස ඔබ නගරයට එන මිනිසුන් අතර ජනප්‍රිය වී සිටිනවා...

ඔබට ඔබේ තත්වය සහ කීර්තිය දිගටම රැකගත යුතුව තිබෙනවා...

නමුත් ඔබ දන්නවාද... 

අර මුදලාලි තාමත් අර එයාගේ ගැඹුරු අධි ශීතකරණයට මූණ ඔබාගෙන ඔහු පළවෙනියට ගත්ත කුකුළාව තාම හොයනවා...

- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...