අත්සන...

ඔන්න එකමත් එක රටක ඉගෙන ගත්තේ නැති, කුලී වැඩක් කරගෙන ජීවත්වෙන මැදිවියේ මනුස්සයෙක් ඉන්නවා. මෙයා තනිකඩයා උනාට බොහෝම අමාරුවෙන් තමයි ජීවිතය ගැටගහගෙන යන්නේ. හැමදාම කියලා මෙයාට කුලී වැඩ සෙට් වෙන්නේ නෑ. මේ ගැන කල්පනා කර කර ඉන්නකොට මිනිහට ආරංච් වෙනවා නගරසභාවේ කුණු ට්‍රැක්ටරය එලවන්න ඩ්‍රයිවර් කෙනෙකුට පුරප්පාඩුවක් තියෙනවා කියලා. මේ මනුස්සයට ඩ්‍රයිවින් එහෙමත් පුළුවන්, ලයිසනුත් තියෙනවා, ඒ නිසා හොදට දන්න කියන ලියන මහත්තයෙක් ලවා අයදුම්පතක් පුරවලා මේ පුරප්පාඩුවට ඉල්ලුම් කරනවා.

ඔන්න ඉතිං මේ මනුස්සයාගේ ඩ්‍රයිවින් එහෙම හොඳ නිසා සම්මුඛ පරීක්ෂණයෙන් ඉහළින්ම මෙයා සමත් වෙනවා. ටික දවසකින් වැඩ බාර ගන්න මෙයාට කැඳවීමත් ලැබෙනවා. මනුස්සයා වැඩ භාරගන්න යනවා. අලුත්ම අලුත් ට්‍රැක්ටරයක් එක්ක ඒකට අදාල බඩු බාහිරාදිය භාරගන්න මෙයාට ලියකියවිලි වගයකට අත්සන් කරන්න වෙනවා. මාර වැඩේ මනුස්සයට අත්සනවත් ගහගන්න බෑ. ඇඟිළි සළකුණ තියන්නද කියලා අහනවා. එතකොට එවපු අයදුම්පතේ අත්සන ගැහුවේ කොහොමද කියලා අහනවා. මිනිහට කට උත්තර නැතිවෙනවා. ඒක ගහලා තියෙන්නේ ඒක පුරවපු ලියන මහත්තයා බව එළිවෙනවා. ඉතිං මේ හුටපට වංචාවල් නිසා මේ මනුස්සයට ඒ රස්සාවත් නැතිවෙනවා.

ඉතිං ඔහොම ටික දවසක් වේලි වේලි ඉන්නකොට මිනිහට හංදියේ ඇපල් කඩේ මුදලාලි ළඟ වැඩකරන්න හම්බවෙනවා. මේ මනුස්සයා ඒ වැඩේ ඉතා හොදින් කරගෙන යනවා. මේ මනුස්සයගේ දක්ෂකම නිසා අර මුදලාලිගේ බිස්නස් එකත් දියුණු වෙනවා. මුදලාලි හිටියටත් වඩා හොඳ සල්ලිකාරයෙක් වෙනවා. මුදලාලිත් ඉතිං මේ මනුස්සයට හොඳට සලකගෙන හොඳ ගෙවීමකුත් කරනවා.

ඉතිං ඔන්න ඔහොම ටික කාළයක් ගියාට පස්සේ මේ මනුස්සයා මේ මුදලාලි ළගින් අයින්වෙලා වෙන නගරයකට ගිහිල්ලා එකතු කරගත්ත සල්ලි වලින් මෙයාම අළුතෙන් ඇපල් බිස්නස් එක පටන් ගන්නවා. මේකත් මෙයා නොහිතපු විදියට මිනිහගේ තියෙන දක්ෂකම නිසා දියුණු වෙනවා. දැන් මේ මනුස්සයත් හොඳ සල්ලිකාරයෙක් වෙනවා. කඩවල් මිලදී ගන්නවා, ගෙවල් මිලදී ගන්නවා කොටින්ම කියනවානම් රටේ නමගිය කෝටිපතියෙක් වෙනවා. දැන් මේ මනුස්සයා රටට ඇපල් ගෙන්නනවා විතරක් නෙවෙයි, වෙන වෙන රටවල්වල ඇපල් වතු පවා මිනිහට දැන් තියෙනවා.

ඉතිං මේ මනුස්සයා දැන් නිතරම පිටරටවල සංචාරය කරනවා. දවසක් මෙහෙම පිටරටකට යන අතර මෙයාට හදිසියේම ගුවන් තොටුපලේදී යම්කිසි ලියකියවිලි ටිකකට අත්සන් කරන්න සිදුවෙනවා. දන්නවනේ ඉතිං මෙයාට අත්සන් කරන්න දන්නේ නෑ කියලා. මෙයා මේ ලියකියවිලි වලට ඇඟිළි සළකුණු තියන්නද කියලා එතන ඉන්න නිලධාරියාගෙන් අහනවා.

" ඇයි සර්... අත්සන් කරන්න බැරි... සර්ගේ අතට මොනවාහරි වෙලාද..." නිලධාරියා අහනවා...

" නෑ ඕයී... අත්සන් කරන්න පුළුවන් උනානං... මම තාම අර නගර සභාවේ කුණු ලොරිය එලවනවා..."

කියලා ඇඟිළි සළකුණු ලියකියවිලි වල තියලා මේ මනුස්සයා යන්න යනවා...

- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...