ඩැනී ගෝත්‍රික මමී...


ශතවර්ෂ ගණනක් පැරණි ඩැනී ගෝත්‍රික නායකයෙකු වූ සිය මුතුන් මිත්තෙකුගේ මමියක් ඔසවාගෙන සිටින වත්මන් ගෝත්‍ර නායක 'එලී මේබල්'... 

මෙලෙස තම නායකයන් සහ ගෝත්‍රික විරුවන් මියගිය පසු ඔවුන්ගේ සිරුරු මමියන් ලෙස කල්තබා ගැනීම ඉන්දුනීසියාවේ නිව් ගිනියා දූපතේ පැපුවාන් මධ්‍යම කඳුකරයේ ඩැනී ගෝත්‍රික ජනතාව අතර පවතින පුරාණ සම්ප්‍රදායකි. වත්මන් ගෝත්‍රික නායකයා උසුලාගෙන සිටින මෙම හැකිලුණු, කළු පැහැති මනුෂ්‍ය ශරීරය මීට වසර 250 කට පමණ පෙර ඉන්දුනීසියානු පැපුවාන් හි මෙම දුෂ්කර ගෝත්‍රික ගම්මානය පාලනය කළ අධිපතියෙකු වූ 'අගත් මාමෙට් මාබෙල්' ගේ බව ඔවුන් පවසයි.

ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ එම ශරීරය එම්බාම් කර කාලයෙන් කාලයට සත්ව තෙල් ආලේප කරමින් සහ දුම් අල්ලමින් වියලා ආරක්ෂා කිරීම ගෝත්‍රික ජනතාවගේ එක් සම්ප්‍රදායක් විය. නමුත් ඩැනී ගෝත්‍රික ජනතාව විසින් මෙසේ මෙම ගෞරවය ලබාදෙනු ලබන්නේ ගෝත්‍රයේ වැදගත් වැඩිහිටියන්ට සහ ප්‍රාදේශීය වීරයන්ට පමණක් බවද සඳහන් වෙනවා.

වත්මන් ගෝත්‍රික නායකයා වැඩිදුරටත් කියා සිටින්නේ 'අගත් මාමෙට් මාබෙල්' නම් මෙම පුරාණ ගෝත්‍රික නායකයාගේ වයස හරියටම තමන් නොදන්නා බවත් එවැනි ගෞරවණීය අවමංගල්‍යයක් ලැබූ ගමේ අන්තිම නායකයා ඔහු වන අතර ඔහුගේ මුතුන් මිත්තන් අතර තිබූ දුම් එම්බාම් කිරීමේ චාරිත්‍රානුකූල ක්‍රමය තවදුරටත් ගෝත්‍රය තුළ ක්‍රියාත්මක නොවන බවයි.

ඉන්දුනීසියාවේ නිව් ගිනියා දූපතේ පුරාණ ඩැනී ගෝත්‍රිකයන් 20 වන සියවස දක්වාම බාහිර ලෝකයෙන් සැඟවී හුදකලාව ජීවත් වීමට ප්‍රධානම හේතුව වූයේ ඔවුන්ගේ ජනපද එම දූපතේ බාලීම් නිම්නයේ දුෂ්කර කඳු පන්තීන් සහ උස් ඝණ වනාන්තර වලින් සමන්විත පරිසරයක පිහිටා තිබූ නිසාය.

අද වන විට මෙම දූපතේ බොහෝ ගෝත්‍රිකයන් සංචාරක කර්මාන්තය මත තම ජීවනෝපාය රඳා පවත්වාගෙන යන අතර ඔවුන්ගේ සුවිශේෂී සිරිත් විරිත්, සාම්ප්‍රදායික ඇඳුම් පැළඳුම් හා චාරිත්‍ර වාරිත්‍රවලින් මෙම ගම්මාන වෙත සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට සමත්වී ඇත.

- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...