ලෝන් එක...

ඇමරිකාවේ වෙසෙන ඉන්දියානු සම්භවයක් ඇති වැදගත් මනුස්සයෙක් නිව්‍ යෝර්ක් නගරයේ පිහිටා තිබෙන නිව්‍ යොර්ක් සිටි බැංකුවට ඇවිත් ණය පහසුකම් ලබා දෙන නිලධාරියා මුණ ගැහෙනවා.

තමාගේ ගිණුමක් මේ බැංකුවේ ඇති බවත් තමා හෙට සති දෙකක කාළයකට ඉන්දියාවේ ව්‍යාපාරික කටයුත්තක් සඳහා පිටත්ව යන බවත් ඒ සඳහා තමන්ට ඇමරිකන් ඩොලර් 5000 ක ණය මුදලක් අවශ්‍ය කරන බවත් ණය අංශයේ නිලධාරියාට ඔහු පවසා සිටිනවා.

නිළධාරියා ඔහු ලබාදුන් ගිණුම් අංකය සඳහන් ඔහුගේ ගිණුම පරික්ෂාකර බලා ඔහුට මදක් ඉන්නැයි පවසා බැංකු කළමණාකරු හමුවීමට යනවා. ටික වෙලාවකින් පසු අර නිළධාරියා නැවත පැමිණෙනවා. මෙම ගිණුම අනුව ඔබට ඩොලර් 5000 ක ණය මුදලක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ හා සමාන කිසියම් දෙයක් ඇපයට තැබිය යුතුයැයි නිළධාරියා විසින් ඔහුට පවසා සිටිනවා.

ඔහු එයට එකඟ වෙනවා. 

" හරි... මම මගේ වාහනය ඒ සඳහා ඇපයට තබන්නම්..." ඔහු පවසනවා. 

" හොදයි මට ඔබේ වාහනයේ ලියකියවිළි දෙන්න..." බැංකු නිලධාරියා ඔහු දෙන ලියකියවිළි පරික්ෂා කරනවා. 

ඔහුගේ ඇස් උඩ යනවා. ඩොලර් 750,000 පමණ වටිනා අළුත්ම ෆෙරාරි රථයක් ඇපයට තියලා ඩොලර් 5000 ක ණයක් ගන්න මේ මනුස්සයාට පිස්සුද? නිළධාරියා සහ මැනේජර් මේ ගැන හිතලා පුදුම වෙනවා. ඒත් ඔවුන් ඒ වගක් මොහුට පෙන්නුම් නොකර සියළුම ලියකියවිලි සකස් කර, අත්සන් කරවාගෙන, කාරයේ යතුරත් රැගෙන ඩොලර් 5000 ණය මුදල ඔහුට ලබා දෙනවා.

බැංකුවේ සේවකයෙක් ගොස් බැංකුව අසළ නවතා තිබෙන ෆෙරාරි රථය පදවාගෙන ගොස් බැංකුවේ පහළ මාලයේ තිබෙන ගරාජයේ සුරක්ෂිතව නවත්වා දොරගුළු දා කාරයේ යතුර මැනේජර්ට ගෙනත් දෙනවා.

හරියටම සති දෙකකින් පසු අර ඉන්දියානුවා නැවත බැංකුවට පැමිණෙනවා. ණය අංශයේ නිළධාරියා හමුවී ඔහු ලබාගත් ඩොලර් 5000 ණය මුදලද, ඒ සඳහා අයකරණ පොලි මුදල වන ඩොලර් 15.41 මුදලද එකවර ගෙවා දමනවා. ලියකියවිලි සියල්ල නිමවා අවසන්කර නැවත ඔහුට ඔහුගේ ෆෙරාරි කාරයේ යතුර භාරදෙන ගමන් නිළධාරියා මෙසේ පවසනවා.

" සර් අපි එක්ක කළ මේ ගණුදෙනුව ගැන අපි, අපේ බැංකුව විදියට ගොඩාක් සතුටු වෙනවා... මෙම ගණුදෙනුව ඉතාමත් හොදින් විනිවිද භාවයකින් යුක්තව සිද්ධ උනා. ඔබ වගේ ගණුදෙනු කරුවෙක් අපත් සමඟ සිටීම ගැන අපි ආඩම්බර වෙනවා..."

" ඒත් සර් අපිට විසදා ගතයුතු ප්‍රශ්ණයක් තියෙනවා... එදා ඔබ මුදල් රැගෙන ගිය පසු අපි තවදුරටත් ඔබ ගැන පරීක්ෂා කර බැලුවා... අපි දැනගත්තා ඔබ මේ ලොකේ ඉන්න ඉහළ කෝටිපතියෙක් කියලා... අපිට ප්‍රශ්ණය තියෙන්නේ සර්... ඔබට තියෙන ඔබේ වත්කම් අනුව, ඇයි මේ ඩොලර් 5000 ක් වගේ සුළු මුදලක් ණයක් විදියට ලබා ගත්තේ..? ඇයි ඒකට මෙච්චර කරදර උනේ..?"

එතකොට අර ඉන්දියන් මනුස්සයා කියනවා.

" ඒක ඇත්ත... මම පදිංචිවෙලා ඉන්නේ නිව්‍ යෝර්ක් නගරයෙන් ටිකක් ඈත... මම ඉන්දියාවට යන්න මගේ කාර් එකෙන් ඇවිල්ලා, මම මේ ආසා කරන මගේ වටිනා කාර් එක ඩොලර් 15.41 වගේ පොඩි ගානකට, සති දෙකකට, මම නැවත එනතුරු ආරක්ෂාකාරීව නවත්තලා යන්න මට මීට වඩා හොඳ වෙන තැනක් තියෙනවද..?"

මෙම සිදුවීම 'විජය මල්ලයා' නම් ඉන්දියානු කොටිපතියා සම්බන්ධයෙන් ගෙතූ කතාවක් වන අතර මෙය ලොවපුරා මහත් ජනප්‍රිය උනත් ව්‍යාජ කතාවක් බව සඳහන් වෙනවා... 


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga..

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...