සාඩින් මසුන්ගේ නර්ථනය...
මුහුදු රළ මත ක්‍රීඩා කරන සර්ෆස්වරුන් සහ ස්කූබා කිමිඳුම් කරුවන් සාගර සංරක්ෂණය සඳහා ප්‍රබලම උපදේශකයින් වන බවත් ඔවුන් නිරන්තරයෙන්ම සාගරයේ හා ඒ අවට පරිසරය තම ජීවිතය කර ගෙන ඇති නිසා, ඔවුන් අපේ ග්‍රහලෝකයේ සුන්දරත්වය, අස්ථාවරත්වය වගේම පිරිහීම පෞද්ගලිකව දැක එය පළමුවෙන්ම අත්විඳින පිරිස බවත් සිල්වියා අර්ල් නැමති ඇමරිකානු පරිසර විශේෂඥවරිය පවසා තිබෙනවා...
සාගරයේ ඇති සුන්දරත්වය ගැන ඇයගේ එම කියවීම සනාත කිරීමට පිලිපීනයේ සෙබු දිස්ත්‍රික්කයේ මොල්බෝල් වෙරළ ආසන්නයේ මුහුදු අභ්‍යන්තරයේ දක්නට ලැබෙන දර්ශණීය සාඩින් මසුන්ගේ නර්ථන ධාවනය මෙයට හොඳම උදාහරණයක් විදියට දක්වන්න පුළුවන්.
ලෝක ප්‍රසිද්ධ පිලිපීනයේ මෝල්බෝල් මුහුදේ සාඩින් නර්ථනය නැත්නම් සාඩින් මසුන්ගේ ධාවනය ලෙස හැඳින්වෙන මෙම සිද්ධිය, වසර පුරා එම කළාපයේ දකින්නට ලැබෙන ඇදහිය නොහැකි විශ්මයජනක ස්වාභාවික දර්ශනයක් ලෙස සැළකෙනවා. මෙහි විශේෂයක් වන්නේ එක පොකුරට විශාල ස්කන්ධයක් විදියට එකට එකතුවී එකම දිසාවකට චලනය වන සාඩින් මසුන් මිළියන ගණනක්, ගැඹුරු මුහුද පතුළේ සිට ඉහළට ගොස් විවිධ දර්ශණීය නර්ථන රටවන් නිර්මාණය කිරීමයි. මෙම දැවැන්ත මසුන් ප්‍රවාහය ඉතා හොඳින් සංවිධානය වී ඇතිවා වාගේම ඉතාමත් හොඳින් නර්තනයද මෙම සතුන්ට නිරායාසයෙන්ම පිහිටා ඇති ආකාරයක් දැකගන්න පුළුවන්.
ඒ වගේම මෙම මසුන් ප්‍රවාහයේ සම්පූර්ණ දිග බොහෝ විට කිලෝමීටර ගණනක් ඈතට විහිදී යන අතර සෑහෙන පළලකින්ද යුක්ත වෙනවා. සමහර වෙලාවට මොවුන් දිය යට ගමන් කරන මුල් පොකුරේ මුහුණත ස්පොටර් කිමිඳුම් යානාවක් වගේ දිස්වෙනවා. ඒ වගේම මෙම මසුන්ගේ නර්ථනාකූල අධිවේගී ගමන් කිරීම රෑනේ මුළ සිට අග දක්වා බලා සිටිනවිට එය සම්පූර්ණයෙන්ම අවසන් වීමට සාමාන්‍යයෙන් මිනිත්තු 10 - 15 ක පමණ කාළයක් ගතවන බවද පැවසෙනවා.
තවද මෙම සාඩීන් මසුන්ගේ නොනවතින නර්ථන ධාවනය ඩොල්ෆින්, මෝරුන්, මුහුදු සිංහයන්, තල්මසුන්, කේප්, ටර්න්ස් වැනි සියලු විලෝපිකයන් මෙම මුහුදු සීමාවන්ට ආකර්ෂණය කර ගැනීමටද සමත්වී තිබෙන අතර ඇල්බට්‍රොස් සහ කෝමොරන්ට්ස් කුරුල්ලන්ගේ සාඩින් දඩයමද ඊට දෙවෙනි නොවන ආකාරයට එම වෙරළ කළාපයට තවත් සුන්දරත්වයක් එක්කරනවා.
ඉතිං පොඩ්ඩක් හිතලා බලන්න... අපේ රට වටේටම මේ වගේම සුන්දර මහා සාගරයක් තිබුණත් මේ වගේ සුන්දර දර්ශණයක් දකින්න, ඒ වගේ අත්දැකීමක් ලබන්න, එවැනි මසුන්ට ජීවත්වෙන්න පුළුවන් වෙන්න තරම් හොඳට අපි අපේ මුහුද ආරක්ෂා කරගෙන ඉන්නවද..?
මම හිතන විදියට අපේ රටේ බොහෝදෙනා මුහුද කිව්ව්හම දන්නේ සති අන්තයට මුහුදු වෙරළට ගිහිල්ලා රැළ්ල පොඩ්ඩක් පාගලා , නාලා පොඩි ආතල් එකක් ගන්න එකයි, යටට වීදුරුව දාපු බෝට්ටුවකින් ගිහිල්ලා කොරළ් පර ටිකක්, ලස්සන මාළු දෙතුන් දෙනෙක් බලන එකයි, කැස්බෑවුන් ඇවිල්ලා රෑට බිත්තර දාන එක බලන එකයි, මිරිස්සට මීගමුවට ගිහිල්ලා තල්මසුන්, ඩොල්ෆින්ලා බලන එකයි, ඉර නඟින, ඉර බහින එක කට ඇරගෙන බලාගෙන ඉඳලා ෆොටෝ එකක් ගහන එකයි, ධීවරයෝ අල්ලගෙන එන මාළු ටික ඇඹුල්තියල් දාලා ඩෙවල් දාලා කන එකයි කියලා...
නෑ... මුහුද කියන්නේ අපේ ගොඩබිමට වඩා හිතාගන්නවත් බැරි සුන්දරත්වයක්, පෘතුවියට ජීවයක් ජෛව විවිධත්වයක් රඳවාගෙන ඉන්න, හිතාගන්නවත් බැරි තරම් සුන්දර ලෝකයක්... අපිට ජීවත්වෙන්න, අපිට නිදහසේ හුස්ම ගන්න, අපේ ලෙඩවලට බෙහෙතක් හදාගන්න අමුද්‍රව්‍ය සපයන,ඒ වගේම වටිනාකම මෙතෙක් කියලා නිම කරන්න බැරි සම්පත් ආකරයක්... ඒ සම්පත විනාශ කරන එක, බළධාරීන්ගේ වැරදි නිසා අහක යන නැව් ගෙන්නලා වස විස එක්ක අපේ මුහුදේ ගිල්ලවලා අපේ සම්පත අපිම විනාශ කර ගන්න එක අපි අපිටම කර ගන්න හානියක් වගේම පාපයක්... මේක අපි සියදිවි හානි කර ගන්නවා වගේ වැඩක්... ඒ නිසා මුහුදත් එක්ක ජීවත් වෙන්න... මහා සාගරයට ආදරය කරන්න... රටක් විදියට ඒක රකින්න උදව්වෙන්න... සාගරය විනාශ කරන මිනිස්සුන්ව හෙලාදකින්න...
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...




Comments
Post a Comment