Amateur PHOTOGRAPHER...
මේක ටිකක් පරණ කතාවක්... අපේ අසහාය විකට නළු, ප්‍රවීණ මාධ්‍යවේදී Janaka Nawalage ශිල්පියාට උපහාර පිණිස පොඩි ලුණු ඇඹුල් ටිකක් ආයෙත් දාලා නැවත පළකරන්න කියලා හිතුවා...
Amateur PHOTOGRAPHER...
******************************
අපේ ජානක නාවලගේ කියන්නේ කළාවට උපන් හපන්කම් දක්වන ශිල්පියෙක් වගේම අපිට හිටිය හොඳ Photographer කෙනෙක්... මේ සිද්ධිය උනේ ජානක Photography වල අයන්න ආයන්න කියලා අත්පොත තියෙන කාලේයි...
ජානක උසස් පෙළ විභාගේ එහෙම කරලා ජොබ් කට්ටකට යන්න හීන මවමින් නිකං ඉන්න කාලේ, ජානකට හිතුනලු Photography පොඩ්ඩක් ඉගෙන ගෙන පොඩි පොඩි ඉවෙන්ට්ස් ටිකක් කවර් කරල අමතර ආදායම් මාර්ගයක් හදාගත්තොත් හොඳයි කියලා... ඉස්සර කාළේ ඉතිං ඔය දැන් වගේ Photography ඉගෙනගන්න කොහෙවත් පන්ති තිබුණෙත් නෑනේ...
කොහොම හරි උපන් හැකියාවයි... හිතේ හයියයි... Talant එකයි... යාළුවන්ගේ සහයෝගයෙනුයි... පුරුෂ ශක්තියයි... තරුණ ජවයයි... මේ කියන මේ ඔක්කොම එළියට දාලා ජානක වැඩේට බැස්සා... ඒ කාළේ Narada Bakmeewewa ළග හොඳ කැමරාවක් තිබුණා... ඉතිං හොඳම යාළුවා නිසා යට ඇදුම් ඇරුණුකොට නාරද සතු හැම දෙයකම අයිතිවාසිකම පරම්පරාගතව තමන්ටත් උරුමකමක් තියෙනවා කියලා හිතපු ජානකට මේ හොඳ කැමරාවද අතපත ගාලා ඉගෙන ගන්න වගේම පාවිච්චි කිරීමේ අවස්ථාවද නොමිලේම ලැබුණා... ඒ වගේම නාරදත් ගුරු මුෂ්ටියක් නැතුව සියළු ශිල්ප ජානක වෙත අඩුවක් නැතුව මුදා හැරියා...
හැබැයි ඉතිං මේ කැමරාවත් දැන් තියෙනවා වගේ Digital කැමරාවක් නං නෙවෙයි... ඉස්සර තිබුණ (SLR) පින්තූර 36ක් විතර ගන්න පුළුවන් Film Rolls ලෝඩ් කරලා Photos ගන්න හොඳ කැමරාවක්...
ඔන්න ඉතිං ඔහොම කාලයක් ජානක මේ කැමරාවෙන් Photography ඉගෙන ගනිමින් ඉන්නකොට හා හා පුරා කියලා අවුරුදු මාසේ අපේ ජානකට පළවෙනි වැඩේ සෙට් වෙනවා... මොකක්ද දන්නවද වැඩේ... ජානකලගේ ගමේ තියෙන අවුරුදු උත්සවයේ ප්‍රධානම ඉවෙන්ට් එක වන බයිසිකල් රේස් එකේ එක තැනක ඉදලා Photos ටිකක් ගන්න එක තමයි ජානකට පැවරෙන්නේ... ජානකත් ඉතිං හම්බවෙච්ච පළවෙනි වැඩේ නිසා මේක එක පයින් සතුටින් බාර ගන්නවා... ඔන්න ඉතිං බයිසිකල් රේස් එකත් වගේම ජානකගේ කුළුදුල් Photography වැඩේ කරන දවසත් උදාවෙනවා...
ඉතිං ඔන්න වැඩේ කරන දවසේ අනික් හැම දේටම කළින් ජානක හොඳ ඇදුමකින් සපත්තු දෙකකින් සහ කැප් තොප්පියකින් සන්නද්ධව ලංකාවේ ඉන්න හොඳම කැමරාකාරයා තමන් බව ගමේ මිනිස්සුන්ට අඟවන්නත් එක්ක කිට මරා ගන්නවා... ඊට පස්සේ නාරදගෙන් ඉගෙන ගත්ත විදියට දන්න වැඩ ඔක්කොම දාලා Film Roll එකක් කැමරාවට ලෝඩ් කරලා ඔන්න දැන් වැඩේට සෙට් වෙනවා...
කියපු වෙලාවටම බයිසිකල් රේස් එකත් පටන් අරගෙන ඔන්න දැන් ජානක කැමරාව අටවගෙන ඉන්න පැත්තට රේස් එක එනවා... වට ගානක් රේස් එක යන නිසා එක එක තරඟ කරුවාගේ එක පින්තූරයක් ගානේ ගන්න තමයි මෙයාට උපදෙස් ලැබිලා තිබුණේ. ඔන්න ඉතිං ජානකත් ඉගෙන ගත්තු සියළුම ශිල්ප ප්‍රයෝජනයට අරගෙන දෙවියන් බුදුන් සිහිකරගෙන දන්න වැඩ කෑලි ඔක්කොම දාලා රේස් කරුවන්ගේ එක එක පින්තූර ගන්නවා... ඔහොම ගිහිල්ලා ගිහිල්ලා දැන් රේස් එකත් එක්කම ජානකගේ වැඩෙත් ඉවර වෙනවා... ජානකටත් දැන් හරිම සන්තෝසයි, කියපු විදියටම, හිතපු විදියටම සහ ඉගෙනගත්ත විදියටම නියමෙටම වැඩේ කෙරෙනවා...
ඒ උනත්, වැඩේ හොඳටම කෙරුනත්, දැන් කාලේ වගේ ගත්ත පින්තූර එවලෙම බලන්න ඒ කාලේ තාක්ෂණයක් තිබුණේ නෑනේ... රීල් එක ඉවරවුනාම ඒක ගලවලා ස්ටූඩියෝ එකකට දීලා පින්තූර Print වෙලා එනකම් සතියක් විතර බලාගෙන ඉන්න ඕනි...
ඉතිං ඔන්න ඔහොම බයිසිකල් රේස් උණුසුමයි, අවුරුදු උත්සවයේ උණුසුමයි ටිකෙන් ටික පහවෙලා ගියා...
සතියකට විතර පස්සේ ජානක Print කරපු පින්තූර ටික ගන්න හංදියේ ස්ටුඩියෝ එක පැත්තට යනවා... කියපු විදියටම වැඩේ හරි පින්තූර ටික Print වෙලා ඉවරයි කියලා, පින්තූර ටික දාපු බෑග් එක ජානකගේ අතට හම්බවෙනවා... ජානක කවරයේ තියෙන පින්තූර ටික අරගෙන බලන්න පටන් ගන්නවා... පින්තූර 36යේ Reel එකක් ලෝඩ් කළාට පින්තූර 38ක්ම Print වෙලා කියලා සඳහන් වෙලා තියෙනවා මෙයා දකිනවා... ඔන්න ඉතිං නියමිත ගානත් ගෙවලා බිල ලියලා දෙනකං මෙයා Photos බලන්න පටන් ගන්නවා...
ජානක අරන් තිබුණු පළවෙනි පින්තූරයේ තිබුණේ ප්‍රධාන පාරට මුහුණලා තියෙන ලස්සන කෙසෙල් කඩයක්... කඩේ මුදලාලියි, කඩේ ගෝලයයි කැමරාවට හිනාවක් දාගෙන ඉන්නවා... පාර අයිනේ තව මිනිස්සු දෙතුන් දෙනෙක් පාර දෙපැත්ත බලාගෙන ඉන්නවා... තව මිනිහෙක් බාල්දියක් අරගෙන කඩේ ඇතුළට දුවනවා... කඩේ අයිනේ නකුටු වයසක බල්ලෙක් නිදාගෙන ඉන්නවා... හොඳට ඉදුණු වගේම ඉදුණු නැති ආනමාඑ, කෝලිකුට්ටු, ඇඹුල් කෙසෙල් සහ සීනී කෙසෙල් කැන් ලස්සනට කඩේ එල්ලලා තියෙනවා... පළවෙනි පින්තූරය නියමෙට ඇවිල්ලා තියෙනවා... Exposer, Composition ඔක්කොම නියමෙටම සෙට් වෙලා... ඉස්සෙල්ලාම Test කරන්න ගත්ත එක උනත් නියමෙටම ඇවිල්ලා තියෙනවා...
ඊට පස්සේ දෙවෙනි එකත් බලනවා... තුන්වෙනි එකත් බලනවා... හතරවෙනි එකත් බලනවා... ඔය අතර පින්තූරවල ඉතුරු සල්ලියි, බිලයි Studio එකේ ගෑණු ළමයා ජානකට ගෙනත් දෙනවා... සල්ලියි බිලයි බලන්නෙවත් නැතුව ගුලි කරලා සාක්කුවට දාගෙන හදිසියෙන් ඉක්මනින් අනික් පින්තූර ටිකත් බලනවා...
මාර වැඩේ ඔක්කොම පින්තූර 38ටේම තියෙන්නේ අර ඉස්සරහා තිබුණ කෙසෙල් කඩේ පින්තූර... ජානක අර ගෑණු ළමයට කියලා පින්තූර Print කරපු ස්ටූඩියෝවේ අයියව ගෙන්න ගන්නවා...
" අයියේ ඔයා පළවෙනි Photo එක විතරනේ මුළු කොපීස් 38ම Print කරලා තියෙන්නේ... මේ බලන්න... මේ...මේ... ඔක්කොම Print 38ටේම තියෙන්නේ පළවෙනි Photo එක..."
" වෙන්න බෑ මල්ලී... කෝ බලන්න..." ස්ටුඩියෝවේ අයියත් ඔක්කොම පින්තූර ටික බලනවා...
" නෑ මල්ලී ඔයා ඔක්කොම Photos 38ම අරන් තියෙන්නේ මේ කෙසෙල් කඩේ පින්තූර තමයි..."
" පිස්සුද අයියේ මම ඔය කඩේ පින්තූර ගත්තේ නෑ... මම ඔය කඩේ ඉස්සරහා පාරෙන් එහා පැත්තේ ඉදන් බයිසිකල් රේස් එකේ Photos නේ ගත්තේ... ඔයා මේ පළවෙනි Photo එක විතරක් 38 වතාවක් Print කරලා..."
ස්ටූඩියෝවේ අයියා ආයෙත් පින්තූර ටික බලන්න පටන් ගන්නවා... නෙගටිව් කාඩ් එකත් බලන්න ගන්නවා.... ස්ටූඩියෝවේ අයියාගේ මූණට පොඩි හිනාවක් එනවා...
" නෑ මල්ලී මේ නෙගටිව් කාඩ් එක බලන්න මේකේ තියෙන ඒවා තමයි ප්‍රින්ට් වෙලා තියෙන්නේ... මේ පින්තූර එකම උනාට මේ හැම Photo එකකම එකින් එකකට පොඩි පොඩි වෙනස්කම් තියෙනවා...මේ බලන්න..."
ජානක ආයෙත් පින්තූර එකින් එක බලනවා... වැඩේ ඇත්ත... එකම කඩේ පින්තූර උනාට ඒවා එකින් එකකට වෙනස්... වෙනස්... විදියට වැදිලා තියෙනවා... මොකක්ද යකෝ මේ හරුපේ..? ජානක උඩ බිම බලන්න පටන් ගත්තා...
ස්ටූඩියෝවේ අයියට වෙලා තියෙන වැඩේ තේරුම් යනවා...
" මේකනේ මල්ලී වෙලා තියෙන්නේ... ඔයා බයිසිකල් රේස් එකක් නේද කවර් කළා කිව්වේ...? මට දැන් තේරෙනවා Photos වලට වෙලා තියෙන දේ... ඔයා රේස් එකේ යන බයිසිකලය Click කරාට ඔයාගේ Click එකට වඩා ඉක්මනට බයිසිකලේ Photo Frame එකෙන් අවුට්වෙලා ගිහින්... ඒකනේ මේ හැම Photo එකකම Background එකේ පාරෙන් එහා පැත්තේ තියෙන කෙසෙල් කඩේ විතරක් වැදිලා තියෙන්නේ... මෙතන ඔයාගේ ෆොටෝ එක ගන්න යන Timing වල ප්‍රශ්ණයක් තමයි වෙලා තියෙන්නේ..."
වෙලා තියෙන දේ ජානකටත් තේරුණා... තනි තනිව රේස් එකේ යන බයිසිකල් Click කලාට Click කරන වේගෙට කළින් බයිසිකලේ Frame එකෙන් ගිහින්... ලස්සනට ඉස්සරහා තිබුණ කෙසෙල් කඩේ විතරක් පින්තූරවලට ඇවිල්ලා තියෙනවා... දැන් ඉතිං මොනා කරන්නද..? වස ලැජ්ජාව කෙසේ වෙතත් ජානකට මුඑ Photography Carrier එකම එපා උනා...
කෙසෙල් කඩේ පින්තූර ටිකත් අරගෙන, කලිසම් සාක්කුවට අත දාලා ගුලි වෙලා තිබුණ ඉතුරු සල්ලිටිකත් දිග ඇර ඇර... අර කෙසෙල් කඩේ මුදලාලිටවත් පින්තූර ටික විකුණනවා කියලා හිතාගෙන යන්න ගියා....
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...

Comments
Post a Comment