1900 ඉපඳුණු අයෙක් නම්...

පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබ 1900 වර්ෂයේ උපන් අයෙක් නම් පහත සඳහන්වන මේ ලෝක සිද්ධීන් ඔබගේ ජීවිත කාළය තුළ ඔබට අත්දැකීමට සිදුවෙනවා...

එය එසේනම් ඔබට අවුරුදු 14ක් වනවිට ඒ කියන්නේ 1914 වසරෙදී පළමුවන ලෝක යුද්ධය ආරම්භ වෙනවා... ඊට අවුරුදු හතරකට පසු ඒ කියන්නේ 1918 වසරෙදී, ඔබට අවුරුදු 18 වනවිට එය නිමාවට පත්වෙනවා. එහිදී ලෝක ජනගහණයෙන් මිලියන 22ක් මිනිසුන් මියයනවා. 

ඊට පස්සේ ඉන් අවුරුදු දෙකක් ගතවන විටම  ඒ කියන්නේ 1920 වසරෙදී (Spanish Flu) ස්පාඤ්ඤ උණ නැමති ගෝලීය වසන්ගතය පැතිරී යනවා. ඉන් මිනිසුන් මිලියන 50ක් මිය යනවා. එතකොට ඔබට වයස අවුරුදු 20ක්. 

ඉන්පසු ඔබට හරියටම අවුරුදු 29ක් වනවිට ඒ කියන්නේ 1929 වසරෙදී නිව්‍ යෝර්ක් කොටස් වෙළඳපොල කඩාවැටීමත් සමඟ ආරම්භ වූ ගෝලීය ආර්ථික අර්බූදය නිසා ඇතිවූ උද්ධමනය, විරැකියාව සහ සාගතයට මුහුණ දීමට මිනිසුන්ට සිදුවෙනවා... 

එයින් පසු හරියටම ඔබට අවුරුදු 33ක් වනවිට ඒ කියන්නේ 1933 වසරේදී නාසීන් විසින් යුරෝපයේ යම් කොටස්වල බලය අල්ලා ගන්නවා...

ඉන්පසු ඔබට වයස අවුරුදු 39 ක් වන විට වසර 1939 දී, දෙවන ලෝක යුද්ධය ආරම්භ වී එය අවසන් වන්නේ ඔබේ වයස අවුරුදු 45 ක් වන විටයි ඒ කියන්නේ 1945 දී. දෙවන ලෝක යුද්ධයෙන් මිනිසුන් මිලියන 60 ක් මිය යනවා. ඒ එක්කම නාසින් විසින් කරනු ලබන සමූල ඝාතන සමයේදී යුදෙව්වන් මිලියන 6 ක් ඊට කළින් මිය යනවා...

ඉන්පසු ඔබට වයස අවුරුදු 52 ක් වනවිට වසර 1952 දී කොරියානු යුද්ධය ආරම්භ වෙනවා...

ඔබට වයස අවුරුදු 64 ක් වන විට ඒ කියන්නේ 1964 වසරේදී වියට්නාම් යුද්ධය ආරම්භ වී එය ඔබේ වයස අවුරුදු 75 වනවිට වසර 1975 දී අවසන් වනවා...

දැන් මොහොතක් මෙහෙමත් සිතන්න... ඔබ 1985 වසරේදී උපත ලැබූ දරුවෙකු නම්, ඔබේ ආච්චිලා සීයලා එම රටවල ජීවත් වුවානම්, එම කාළයන් වල ඔවුන්ගේ ජීවිතය කෙතරම් දුෂ්කර එකක් වන්නට ඇතිද..? ඒ දුෂ්කර කාළයන් ගැන ඒ කාළයන්වල ඔවුන් ජීවත්වූ ආකාරයන් ගැන ඔබ නොදන්නා නමුත් ඔවුන්ගෙන් සමහරක් එවකට පැවති යුද්ධ හා ව්‍යසන වලින් පණ බේරාගෙන පසුව ජීවත්ව ඉන්නටත් ඇති...

ඒත් අද තත්වය හාත්පසින්ම වෙනස්... නව ලොවක සැප පහසුකම් සහිතව ජීවත්වන අපට දැන් නව කොරෝනා වසන්ගතයකට මුහුණ දෙන්නට සිදුවී තිබෙණවා. මේ කාලේ මිනිස්සු කෑගහන්නේ මාසයක් දෙකක් ගෙදරට වෙලා එකතැන ඉන්න එක අමාරුයි කියලයි. බලන්න දැන් අපි ගොඩක් දෙනෙකුට ජලය, විදුලිය, ජංගම දුරකථන, ආහාර සමහරුන්ට අවශ්‍ය නම් උණුවතුර, හිසට සෙවනක් ආදී මූලික පහසුකම් ටිකවත් සපයා ගැනීමට හැකිවී තිබෙනවා. 

ඒත් ඒ කාලේ මේ කිසිවක් ඔවුනට තිබුණේ නෑ. ඒත් මිනිස්සු ඒ ව්‍යසනයන්ට මුහුණදීලා ඒ තත්වයන්ගෙන් බේරිලා ජීවත්වුනා. ඒ එක්කම කාළාන්තරයක් තිස්සේ පැවති කරදර අතරින් බේරී, තමන්ගේ ජීවිතය අහිමි නොවී, තවමත් ජීවතුන් අතර සිටීම ගැන හා තමන්ගේ මනුෂ්‍යත්වයන් රැකගැනීම ගැන සතුටක් ඔවුන්ට තිබුණා... ඒ සතුට ඔවුන් බුක්තිවින්දා...


- ධම්මික සමරතුංග -

#DhammikaSamaratunga...

 

Comments

Popular posts from this blog

BMW රථයක අවසන් ගමන් යාම...

සයුරේ රළ සේ...

රිටි පන්න...